Monday, 4 June 2018

මයිනාගෙ කථා ... 11 පොලිස් ජෝක්

මයිනාගෙ කථා ... (11)... පොලිස් ජෝක්

ස්තීරෙට  වැඩක්  පලක්  නොතිබිච්ච  මයිනයි  නසරාණි  රැළයි  පංතියක්  ඉස්කෝලයක්  නැති  වෙලාවට කොතන  හරි  හංදියක  පාරක් අයිනක  මුහුදු  වෙරළේ  කොතන  හරි තමා  කාලය  භක්ෂණය  කරෙ.   ඉඳ හිට  ගාළුපාර  අයිනෙ  යාළුවෙක්  ඉන්නව  උංගෙ  ගෙවල්  පැත්තට  ගිහින්  පාරෙ  අනිත්  පැත්තෙ  මුහුද අයිනෙ  දාපු  ගල්  උඩට  වෙලා  කයියක්  දාගෙන  ඉන්නව  හැන්දෑවට.   

සැඳෑ  අඳුර  ලොව  ගලන  වෙලාවට මුහුදේ  ඉර  ගිලිලා  සඳ  නැගෙන  කම් වල් පල්  කෙතා  කර කර ඉන්නව.  දේශපාළනය, සාහිත්‍ය, ක්‍රිඩාව, ඉතිහාසය ඇතුලු   හරබර   සංවාද   විවාද  මේ  අස්සෙ  නැතුව  නොවෙයි.
සමහර   දවසක   ගාළු   පාරෙ  පාළමයි  රේල්   පාරෙ  පාළමයි  අතරෙ  නවත්තලා  තියෙන  ඔරැවක්  උඩට වෙලා  මියුරැ  සංගීත  සැඳෑවන්  එහෙමත්  තියෙනව.  ඒ  වගෙම   තමා  ඒ  අතරට  කෙරෙන  නස්කූණි  වැඩ.


 මේ  වගෙ  තවත්  එක් සැඳෑවක  ගාළු  පාර  අයිනේ  මුහුදු  හුළං  වැදි වැදි  ඉර  සිනීගම  දේවාලෙ  පහු  කරන් ගිහින්  මුහුදේ  ගිලිලා  නැති  වෙලා  යනවා  බලන් හිටියා. 




 මයිනට මතක්  උනා  තවත්  අම්මා  මයිනා  වෙනුවෙන් කියන   කියමනක්.
"තොට ඉර හඳ පායන්නෙ අනිත් එවුන්ට ඉර හඳ පායන හංදා"
ඕං එහෙමයි ගෙදර ඇත්තෝ අපිට නම්බු නාම දුන්නෙ.

ඕං මේ කියන දවසෙත් ඉර මල්ලි තමංගෙ රාජකාරි කටයුතු ඉවර කරලා සිනීගම දේවාලේ පැත්තෙන් ගිහින් 
මුහුදට පල්ලං බැස්සා. එයා ඩියුටි එක ඕෆ් උනා අරයා ඩියුටියට එන්ටර් වෙනවා. අරයා කිව්වෙ අනේ සැඳෑ කළුවර. ඕං ඉතිං එයා කුර ගගා එනවා. එහෙම සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට සමහර එවුන්ට එක එක විපරියාස වෙනවා.

ආං එහෙම නස්කූණියෙක් ගලක් අරන් පාරෙ යන කන්ටේනරේකට ගැහුව්වා. අමුතු සද්දයක් එක්ක ස්රාංංංංංංං ගාලා කන්ටේනරේ ගියා. දැං ඉතිං එතන හිටපු හය හත් දෙනාම චුටි චූටි ගල් කැට අරන් පාරෙ යන බස්, ලොරි, වගෙ ලොකු වාහන වලට ගහනවා. අඳුර අවට පැතිරිලා කෙනෙකුගෙ මුහුණ හරියට පේන නොපෙනන ගාන. එක ගල් ඉබ්බෙක් අතට අහුවෙන තරමෙ ගලක් අරන් දුන්නා ආපු පෙජරෝ   එකකට. පෙජරෝ  එක  ගැහුව්වා  බ්‍රේක්  පාරක්  මීටර්  20ක්  30ක් ඈතට වෙන්න. පැන්නා එළියට පස් හය දෙනෙක් T-56 යේ ඒවත් අරගෙන.




"දුවපං ##තෝ පොළිසියෙන්" කියනව ඇහුනා.  හිටපු ඈයෝ කොහෙද නෑ.



පළවෙනි එකා
ඌ හිටියෙ සරමක් ඇඳන් උඩුකය නිරුවත්ව. ඌගෙ ගේ තමා පාරෙන් එහා පැත්තෙ තිබුනු ගේ. ඌ එහෙම්ම මුහුද අයිනෙ තිබුනු ගලක් පල්ලට බැහැලා සරමත් උස්සන් බොක දාන නියාවෙන් ඉන්නවලු. එතනට ආපු පොලිස්කාරයා සිවිල් පිට
පොලිස්කාරයා:- "කවුද ඔතන"
අපේ එකා: - "රෙන්න දීලා පලයං වහෙ"
පොලිස් කාරයා: හරි හරි තමුසෙගෙ වැඩේ කර ගන්නවා.

දෙවනි එකා

කුස්සිය පැත්තෙන් යාළුවගෙ ගෙට රිංගලා. බත් හට්ටිය බාලා පරිප්පු එක ලිපේ තිබ්බා විතරයි. ඌ උණු බත් උඩට අමු පරිප්පු දාගෙන අනනවලු.
පොලිස්කාරයෙක්: මෙතනින් කවුරැ හරි දිව්වද?
දෙවනි එකා (අමු පරප්පුයි බතුයි කන ගමං) : - දෙතුන් දෙනෙක් දිව්වා සර් ඇයි කුඩුකාරයෙක්වත් පැනලද?

පොලිස්කාරයෙක්:  බැල්ලිගෙ පුතාලා වගයක් ජිප් එකට ගල් ගහලා දිව්වා %ට දෙකෙන් එල්ලලා හම ගහන්නෙ.
ගෙදර ආච්චි:- මූට පිස්සුද බොල අමු පරිප්පුයි බතුයි කන්නෙ. මර හඬට ගෙදර උන් ඌට වලිය.

තුන්වෙනි එකා

ඌ දුවලා තියෙන්නෙ බේකරියට දුවපු ගමන්ම බේකරියෙ හිස් තැටි ටික ගොඩ ගහනවලු. බේකරියේ එකා බලං ඉන්නවලු මුගෙ දිහා. දර පොරණුව ගිණි දාලා ඇතුලට මොනව හරි දැම්මම අයෙමත් පෝරණුව ඇරලා බලන වෙලාවක් තියෙනව නේ.
පොළිස්කාරයෙක් :- මෙතනින් කවුරැ හරි ගියාද?
තුන්වෙනි එකා (පාං බාන දිග පොල්ලත් අතේ තියන්) : - කොල්ලො දෙන්නෙක් දිව්වා සර් ඇයි කුඩ්ඩොද?
පොලිස්කාරයා : අහුනොත් ඇහෙ ඉදං පට්ට ගහන්නෙ අවජාතක බල්ලො සහ තවත් බොහො දේ...
තුන් වෙනි එකා ඇරපි පෝරණුවෙ දොර බේකරියෙ එකා දීපි අරැට කනේ පාරක් අම්මගෙන් බීපු කිරි මතක්  වෙන්න.


හතරවෙනි එකා
😂😂 ඔව් ඔව් ඌ තමා කොහොමත් පුරැදු ගස් නැගිල්ල නෙ. ගෙදරක පිටි පස්ස පැත්තෙ තිබුනු පොඩි පහෙ තැඹිලි ගහකට නැග්ගා. ගහ මුදුනට වෙලා පාඩුවෙ හිටියා පොලිස් මෑන් එහෙට මෙහෙට දුවලා බැළුවා
ආයෙමත් ගියා. තව විනාඩි 10ක් විතර ගහෙම ඉඳලා බහින්න හදද්දි ඒ ගෙදර ඉන්නව කෙල්ලෙක් ආවා තැඹිළි ගහ මුලට ගවුමත් උස්සන් වාඩි උනා සුළු දිය පාර දානව. අනේ ඉතිං මයිනට හුචස් ගාලා පැන්නා    හිනාවක්.
"තාත්තෙ....... කුඩුකාරයෙක් තැඹිළි ගහෙ" 
කියලා දැම්මා සද්දයක් හම්මෙ ඉතිං පැන්නා අඩි 7- 8 ක් විතර ගහ උඩ ඉඳං බිමට කාල් ලුවිස්ලා මොක්කුද මේ  මයිනා එක්ක.

පස්වෙනි එකා…

ටී සර්ට් එක විසී කරලා ළිඳකින් හෝ ගාලා නානවලු සබනුත් නැතුවම.
එතනට ආපු පොලිස්කාරයත් හැරිලා ගිහිල්ලා.

හයවෙනි එකා....

නැත..... ආයෙමත් 8 විතර වෙලා සියළු දෙනා හොයනව ඌ නැත..... ඌ ගෙදරත් නෑ. පොලිසියෙන් කවුරැත්  අල්ලන් ගියෙත් නෑ හෙන අවුළ් දැං හැමෝටම. රෑ නමයට විතර සද්දයක් ඇහෙනවා එකෙක් ළිඳට වැටිලා කියලා. බැලින්නං අරූ පොලිසියට බයෙ දුවද්දි ලිඳක් තියෙනව ඒකට උඩින් දුවන්න ගිහින් ලිඳට වැටිලා. මූ සද්ද නැතුව ඉඳලා පොලිසියට ඇහෙයි කියලා. ලිඳේ හිටපු එකාව ගොඩට අරන් ඊළඟ දවසෙ උදේ පාන්දර ඒ ගෙදර එවුන්ට ලිඳ ඉහලා දුන්නා.

එදා පොලිසියට මාට්ටු උනා නම් ආයේ ලොවෙත් නැතිවෙන්න කන්න වෙනවා. පොලිසියට වෙට්ටු දාපු සීන් 
එකට නම් ගෙදරින් කෑවා කෑමක් මදි නොකියන්න.
හැන්දෑවෙ 9ට විතර ගෙදර ආවේ එදා. දන්නවනෙ ගෙදර එන ක්‍රමේ..  මගදිම  ගලව  ගන්නවා  ටී  සර්ට්  එක. ඒක ඔළුවෙ  හරි  ඉනේ  හරි  ගැට  ගහ  ගන්නව..  පාර  දිගෙ  බල්ලො කුලප්පු කර කර එනවා. ඈත  මයිනා  එද්දි  අහල  පහල  ඈයෝ  ගෙදර  ඈයෝ  හැමෝම දන්නවා  බල්ලන්ගෙ සවුන්ඩ් එකෙන්.

ගෙට ගොඩ වෙන්න ලැබුනේ නෑ පිය රජානෝ ගැහුව්වෙ ඉදලෙන්. ඉදල් මිටට තිබුනෙ කුරැඳු පොල්ලක් ඒක 
කැඩෙනකම් ලැබුනා.  මෑණියන් වහන්සෙ සැළකුවෙ කොස්සෙන්. ඒ වැදුනු පාරවල් වලට හිතයි ගතයි දෙකම රිදුනා. ඊළඟට හැමෝම ගහන අස්සෙ අක්කත් ලිපේ දාන්න ගෙනාපු දර පොල්ලකින් පාරවල් කිහිපයක් දුන්නා. තාත්තා ගහපු පාරවල් වලට ඇඟපත තැළිලා ඉඳ ගන්නත් බෑ හිට ගන්නත් බෑ ඇවිදින්නත් බෑ. අම්මා ගහද්දි කොස්සෙ මිට පැළුනා පැළුනු මිටෙන් ගහද්දි පිට පැළිලා ඇඟ දනවා. අක්කා ගහපු පාරවල් වලට
කකුල් දෙක රිදෙනව. දැං ඉතිං පට්ට දුකයි තාත්තා මට ලේසියකට ගහන්නෙ නෑ. 

කල්පනා කරා මොකද කරන්නෙ කියලා අවසාන තීරණේ ගත්තා ගෙදර ඉන්නෙ නෑ. පනිනවා කෝච්චියකට කියලා. රෑ දෙතුන් සැරෙකට ට්‍රයි කරා ගෙදරින් පනින්න.. හරි ගියෙ නෑ. තාත්තා සාලේ පුටු සැටියට වෙලා නිදි.
උදේ 5ට අම්මා රේඩියො එකේ පිරිත් දාලා කුස්සිය පැත්තෙ දොර ඇරලා ලිඳට යනව වතුර ගන්න. පැන්නා පිටි පස්සෙ දොරෙන් එළියට ඇඳන් හිටපු ටි ෂර්ට් එක ගලවන්න බැළුවා ගලවන්න බෑ. පිටේ තුවාල වලට ටි ෂර්ට් එක ඇලිලා.  වැලේ තිබුනු කළිසමකුත් ඇඳගෙන ඇඳන් හිටි ටි ෂර්ට් එකට උඩින් වැලේ තිබ්බ ටි සර්ට් එකකුත් ඇඳන් ගියා යන්න. එක්කො මැරෙනවා නැත්තං ගෙදරින් පැනලා කොහෙ හරි යනව කියලා හිතන්.  පාර දිගෙ  දුවල දුවලා ආවා එළිය වැටුනොත් කවුරු හරි දකින නිසා. රේල් පාර දිගෙ ඇවිත්  ස්ටේෂන් එකට ගොඩ උනාම   සමුද්‍ර දේවිය කොළඹ යනව. නැග්ගා ඒකට. 

අරමුණක් යන තැනක් නෑ. ටිකටුත් නෑ. අතේ සල්ලිත් නෑ. කෝච්චිය   බළපිටිය පහු වෙද්දි විතර මතක් උනා චෙකර්ලා ආවොත් කෙළවෙනවා නේ දැං මොකද කරන්නෙ කියලා. හිතේ තිබුනු බයට බෙන්තොට ස්ටේෂන් එකෙන් බැස්සා. වෙලාව උදේ 6.15ට විතර ඇති දැන් ස්ටේෂන් එකේ  කොනකට වෙලා වැටකෙයියා ගහක් මුළ වාඩි වෙලා ඉන්නවා. රෑ ගෙදරින් ගහපු සිද්ධිය මතක් වෙද්දි නොදැනිම කඳුළු ගලනව. කොළඹට ගියා නම් හරි කියන සිතුවිල්ලෙන් තමා ඉන්නෙ. 
නෑදෑ වෙන කෙනෙක් ඉන්නව සේදවත්තෙ හැබැයි යන බස් එක හරියටම නිච්චි නෑ. ඒත් 138 බස් එක්ක ගිහින් කැළණි පාලම ලඟ බැහැලා පයින් යන්නත් පුළුවන් කියලා මතකයි. ස්කෝලේ නිවාඩුවකට මයිනා එහෙ හිටියා ටික දවසක්. එයාලගෙ බේකරියක් තිබුනා පෑළියගොඩ ඒකත් මතකයි.

බෙන්තොට ස්ටේසන් එකේ නවත්තන්නෙ ස්ලෝ ට්‍රේන් විතරයි. හැබැයි ගම් පැත්තෙ එවුන් එකෙක් හරි මාව  දැක්කා කියන්නෙ අළුත්ගමින් බැහැලා ඇවිත් හරි මාව ගෙදර අරන් යනව. හිතුවා මූදේ පනින්න. වැඩක් නෑ. පීනන්න පුළුවන්නෙ. ඒක නිසා ඒක හරි යන්නෙ නෑ. ආයෙමත් හිතුවා ඊළඟට එන ට්‍රේන් එකට බෙල්ල තියනවා  දෙකක් නෑ කියලා.    වැටකෙයියා ගහ මුලට වෙලා ඔළුවත් පහත් කරගෙන ඉන්දැද්දි නිකම්ම ඉකි ගැහෙනව.

අනේ ඉතිං එතනින් ගියපු සත් ගුණවත් සුදු මහත්තයෙක් ග්‍රොසරි බෑග් එහෙක දාපු මාළු පාං එකකුත් අතට 
දීලා රුපියල් 50කුත් දීලා ගියා. රෑටත් බඩගින්නෙ හිටපු මයිනට සෝමාලියාවට පාං නැවක් ආවා වගෙ.
 අනේ අර සුද්දට හදපතුලෙන් පිං දෙද්දි එතනින් ගිය තව සුද්දෙක් රුපියල් 20ක් දුන්නා. රුපියල් 70ක් අතේ තියෙනව කියන්නෙ කොළඹ යන්න පුළුවන්. මාළු පාං එකත් කාලා ස්ටේසන් එකෙන් වතුර ටිකකුත්  බිලා  කොළඹට ටිකට් එකකුත් අරන් එතන ඉඳන් අළුත්ගමට ස්ලෝ ට්‍රෙන් එකකින් ගිහින් අළුත්ගම ඉඳන් කොටුවට  යන ස්ලෝ ට්‍රේන් එකකට නැග්ගා. 

ඉන්පසු  ජීවිතේ බොහෝ දේ වෙනස් වු බව  විතරක්  කියමි.

7 comments:

  1. අම්මට සිරි ගිිය දුරක්

    ReplyDelete
  2. වැඩිහිටියො ගහපු එකේ කිසි වැ‍රැද්දක් නෑ. කරපු කුප්ප වැඩේ වැරදි වුනත්, ඔය වයසේ මදාවි විසේ තේරුම්ගන්න ඇහැකි.

    කතාව සම්පූර්ණ වෙන්න නම්, ඉතුරු ටිකත් ලියන්නම වෙනවා. මඩොල් දූවෙ ගෙදරින් පැනලා ගිය කතාව වගේ හොඳට තියේවි.

    ReplyDelete
    Replies
    1. ළමා හිංසන්‍ය අනුමත කරන්න එපා බන්

      Delete
  3. ඉතුරු ටිකත් ලියාන්ට

    ReplyDelete