Saturday 9 June 2018

මයිනාගෙ කථා.. 14 සිංදුව

මයිනාගෙ  කථා....14 .... සිංදුව

                                           මයිනා ඇතුළු පිරිසට කාලයක් සංගීත උණ හැදුනා. ඒ උණට බෙහෙත් ගන්න සංගීත සර් කෙනෙක් හොයා ගත්තා ඒත් ප්‍රැක්ටිස් කරන්න බඩු නෑ. මයිනා කරෙ ගිටාර්. අනිත් උන් ඕර්ගන්, ඩ්රම්ස්, ඔක්ටපෑඩ්..... 

ඩ්රම්ස් ගහන එකා නම් එක්ස්රේ කාඩ් වලින් ඩ්රම් සෙට් එකක් හැදුවා. ඒකට අරන් තිබුනේ ආච්චිගෙ පපුවෙ අමාරුවට ගනිපු එක්ස්රේ  කාඩ් දෙකක්. ඊළඟ ක්ලිනික් දිනේට ආච්චිට දොස්තර අරන් එන්න කියපු එක්ස්රේ  එක නැත. ගෙදර ප්‍රතිචාර හිතා ගන්න පුළුවන් නේ. 
ඒ ඩ්රම් එකේ ෆුට් එකට ගනිපු නිල් පාට ලොකු බැරල් එකේ විස්තරෙ දන්නව නම් පිහි පාරක් කන්න වෙනවා. ඒ බැරල් එක කසප්පු පෙරන එකෙක්ගෙ ස්ප්රිට් බැරල් එක. කසිප්පු හලලා බැරල් එක අරන් ඇවිත් අරූ මුළු ගම පුරා හෙව්වා කසිප්පු බැරල් එක උස්සපු එකා. මාට්ටු උනා නම් ඉතිං සුදුකොඩි තමා. ඩ්රමා හරි.

ඕර්ගන් එකක් තිබුනා එකෙකුගෙ ළඟ අම්මා රට ඉඳන් එවලා, ඌගෙ තිබ්බ ගෑස් ෂෙල් ගෑස් එකෙත් නෑ. නිතැතින්ම ඌ නායකයා උනා. ඔක්ට පෑඩ් කරපු එකත් ලී පටි වලින් කොටුවක් හදලා විවිධ සද්ද මතුවෙන විදියට ඒකත් නිර්මාණය කරලා තිබුනා.  ගිටාර් ගහන අපතයො 3 දෙනා මයිනත් ඇතුළුව.   ඉදළ කොස්ස පොල්ල මොක අහු උනත් ගිටාර් ගහනවා.   හැමදාම හවස යාමේ අළුතෙන් හදන ගෙදරක් තියෙනව ඩ්‍රම් ගහපු එකාගෙ බාප්පගෙ.   ඒ ගේ ඇතුලේ ඉතිං සංගීත සැඳෑව තමයි.     හැමෝම වාදකයො හැමෝම ගායකයො. 

අනේ මේ කාලේ ලංකාවේ එක්තරා එෆ්. එම්. නාලිකාවක් තඩි ලොරියක බෆල් එහෙම පටවන් ගමින් ගමට එනවා.     එහෙම ඇවිත් සිංදු කියන්න අවස්ථාවක් දෙනවා තව තව වැඩ කෝටියයි.    සැරින් සැරෙ වරින් වරෙ රෙඩියො එකේ කියනව ගමන් මග.

 එහෙම අපු ලොරි තඩිය අම්බලන්ගොඩට ආවා.  ඊළඟ නැවතුම හික්කඩුව හවස 3ට විතර ලොරියෙ ස්ටේජ් එකේ සිංදුවක් කියන්න හිතන් මයිනත් අපතයො සෙට් එකත් ටවුමට ආවා.    සිංදු කියන ඈයොන්ට පහළ ඉඳන් මයිනගෙ නසරාණි කියන කුපාඩි කතා ඇහෙද්දි මෙතන සිංදු කිව්වොත් වෙන සංගෑඳිය මයිනා දන්නව නෙ.   මෙතන වැඩසටහන ඉවර කරලා ඊළඟට සිංදු ලොරිය යන්නෙ කුමාරකන්ද හංදියට.
        මයිනා ෂේප් එකේ අරැංගෙන් වහාං වෙලා කුමාරකන්දට බයිසිකලෙ පැද්දා පැයට 120 වේගෙන්.   මද අඳුර ගලන හැන්දෑවෙ 6.30 - 7 වගෙ වෙද්දි ලොරිය ආවා.   අනේ ඉතිං  නිවේදක  දෙයියන්ට  කියලා අවස්තාවක් ඉල්ලන්   ලොරි  ස්ටේජ්  එකට නැගලා  සිංදුව පටන් ගත්තා. ඒ කාලේ මයිනගෙ ආසම ගායකයා අතුල ශ්රි් ගමගෙ. පටන් ගත්තා සිංදුව ඇස් දෙක පියාගෙන

"හිම මීදුම් වළාකුලේ
මගෙ වේදනා අරන් ගියෙ
දෑසක් හඬවා වත මිළින වෙලා..
මගෙ කඳුලැල් ඇයි ඔබ දෑස දරා
සොයා එන්න මට වරම් නැතේ....."

දෑස පියාගෙන ඒ කොටස ගායනා කර, දෑස් විවර කර ප්‍රේක්ෂකයන් දෙස බැළුවා.   අනේ දෙයිහාමුදුරුවනෙ මෙන්න අපත රැල ස්ටේජ් එක අසලම.


"කමෝන් මයිනා" 

"අඩෝ ගෙදර ආපු ගමන් කලිසම හෝදලා ගෙනෙං" 

"හු හු" ගැන්සියෙ උන් හුරතලෙට කියන නම් සමග තවත් බොහෝ දෑ.   මියුසික් එනවා  සිංදුව නෑ.   මයිනට අර අපත රැළ දැක්කකම සිංදුව මතක නැතුව ගියා. 
පිටුපසින් ඔක්ට පෑඩ් ගහාපු අයියා මල්ලි "පුර හඳ පෑයු" කියලා පොඩි සප් එකක් දුන්නා.  අනේ ඉතිං මොන පුර හඳද?  සිංදුවක්  වෙනුවට  පැල්කවියක්  ගයා  දෙනො දහසකගෙ  හූ  හඬ  මැද  වේදිකාවෙන් අන්තර්දහන උනා. ඊට  පසුදා  සිට  පාරට  බහිද්දි මයිනා  සිංදුවක්  කියමුද කියලා  තමා  තරුණ  බාල   කවුරැත්  කතා  කලේ. 

ඉන්පසු කිසිදින සංගීත පංති නොගිය බවත් මේ දක්වා වැසිකිළයෙ හැර වෙනත් කිසිඳු තැනක ගී ගැයිම නොකර බවත් කියනු කැමැත්තෙමි.    මීට වසරකට පෙර ඤාති නිවසක සාදයකදි යාළු අපතයෙක් මේ සිදුවීම පවසා අනෙක් අපතයන්ගෙ බිරින්දෑවරැද වෙනත් ගෑණු පරාණ ඉදිරියෙදි මයිනාගෙ ගෞරවය බිංදුවට දමා කුරිරු සතුටක් ලැබු හැටිද තවම මතකය.

 අයෙත් එන්නං ඇං..... එතකං තොපිලා ලැට් එකේ සිංදුවක් කියාගෙන හිටහල්ලා.......

7 comments:

  1. හැක්.. කලිසම හෝදගන්නම හම්බවෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ආයේ මොනවද මාස ගාණනක් යනකම් පාරෙ බැස්සෙ බොහොම අමරුවෙන්

      Delete
  2. ඔය් අපත සෙට් එක දැන් සෙට් උනාම කාගෙ කාගෙත් රෙදි නැතුව ඇති

    ReplyDelete
    Replies
    1. එකෙක්වත් සෙට් වෙන තැනකට ගැණිව නම් එක්ක ගෙන එන්නෙ නැ

      Delete
  3. ඔයින් ගියා මදැයි බං, ස්ටේජ් එකට කුණු බිත්තර පාරක් නැතුව !

    ReplyDelete
    Replies
    1. ගමේ තිබුනු එහෙක උනානම් බඩු ලැබේන්වා ෂුවර්

      Delete