Tuesday 3 July 2018

මයිනාගෙ කථා...19 පොලිස් වාර්ථාව

මයිනාගෙ  කථා....19 .... පොලිස් වාර්ථාව
                          
                 යහපත් කල්කිරියාව වැදගත් වෙනවනෙ ගමක ජීවත් වෙද්දි. අපේ ගමේ ග්‍රාමසේවක අපිත් එක්ක පට්ට ෂේප්. ඒත් පන්සලේ ලොකු හිමි අවුල්. ගමේ හිටපු සමහර අම්මණඩිලා අපි පාරෙ දැක්කත් ක්ලේමො බෝම්බ දැක්කා වගෙ තමයි. ඒ සමහර එවුන් ඉතිං ළඟම ඥාති තමයි. 

මයිනගෙ සෙට් එකේ හිටියා මයිනලට වඩා වයසින් වැඩි තුන් දෙනෙක්. අවුරැදු 4ක් 5ක් වගෙ වැඩුමහල්. ඒ අපතයොත් අපිත් එක්කම අපේ නසරාණි වැඩ සමග හවුල් වෙමින් කාළකණ්ණි වෙමින් හිටියා. 
එහෙම හිටපු එකෙකුගෙ ගෙදරින් මූට ෆුල් බර බරෙ. බත් කාඩ් එකත් කැපෙන තැනටම වැඩේ අවුල් වෙලා තිබුනෙ. 
මූ තීරණය කළා රැකියාවකට යන්න. ඒ කාලේ ඉතිං ෂුවර් එකටම යන්න පුළුවන් ආමි, නේවි, ගුවන් නේ. මූ තිරණය කලා එයාර්ෆොර්ස් යන්න. සම්මුඛ පරික්ෂණ සඳහ පැමිණෙන විට ඇඳුම් රැගෙන එන්න. බඳවා ගැනිම එදිනම. ඇඳුම් පැළඳුම් උස්සගෙන මූ ගියා දැං එයාර්පෝස්. අනේ අපි අපත රැළට පට්ට දුකයි. ඒ දුක ඌටත් දැනිලා මූ සතියකට පස්සෙ මහ රෑක ගෙදර ආපි. ගමේ එව්වොත් දන්නෙ මූ එයාර්පොර්ස් ගියා කියල නේ. මුගෙ කොණඩෙත් කොටට කපන් දැන් මූ ආයෙමත් අපත රැලේ. 

මේ විදියට මාස කිහිපයක් ගියාම මේකගෙ මාමා කෙනෙක් වරායෙ ජොබ් එකක් සෙට් කරලා. දැන හැඳුනුම්කම් හරහා සහ යම් කෙනෙකුට මුදලක් දීලා ජොබ් එකට යන්න. ග්‍රාමසේවා සහතික අනිකුත් සහතික සමග පොලිස් වාර්ථාවකුත් ඕනෙ. අපට අයිති අපේ පොලිසියට ගියපු අපේ එකා පොලිස් වාර්ථාව ඉල්ලුම් කරලා ආවා. 
ඊට පස්සෙ ඉතිං පොලිසියෙ සත්ගුනවත් නිළඳාරියෙක් එනව නොවෑ මුගෙ පැටිකිරිය හොයාගෙන ගමට. එහෙම ඇවිත් මුගෙ නැන්දා කෙනෙකුගෙ ගෙදරට ගිහින්. උන්දෑ ඉතිං කරපු නොකරපු සියළු දෑ සමග මූ හමුදාවෙන් පැනලා ඉන්නෙ කියලත් කියලා. පොලෝසියෙ මහත්තයා අළුවා කාලා තේ බීලා ගිහින් ගැහුව්වා රිපොර්ට් එක මු ආමි ඇබ්සන්ට්  කියලා. 
දවස් පහකට පස්සෙ තමයි රිපොර්ට් එක දෙන්න එන්න කියලා තිබුනෙ. පොලිස් රිපොර්ට් එක ගන්න. එන්න කියපු දවසට පහුවෙනිදා ඉන්ටර්වීව් එකට උදේ 10 වෙද්දි ඉන්න ඕනේ. පොලිස් රිපොර්ට් එක ගන්න යද්දි ඉතිං මූගෙ පස්සෙන් බයිසිකල් වල එල්ලිලා අනිත් නසරාණියොත් ගියා. පොලිස් රිපොර්ට් එක ගන්න එකයි ඌගෙ තනියට තව හයයි. දැං කට්ටිය එකටම දැක්කම පොලිසියට හරි කිති. 

අරූ ගිහින් පොලිස් වාර්ථාව ඉල්ලුවා අර ඉන්කොයර් එකට ආපු රාළහාමිත් ඉන්නවා. 
"හා තමුසෙ ආමි එකෙන් පැනලා නේද ඉන්නෙ" කියලා අරූව අල්ලලා දැම්මා කූඩුවට. ඉන්කොයර් එකට ආපු රාලහාමි කියනව. මුන් ගමේ ගැන්සි හදන් ඉන්නෙ.. කෙල්ලෙකුට පාරට බහින්න නෑ. ගංජා ගහනවා හොරෙන් පොල් කඩනවා සහ තවත් බොහො දෑ. හිටියා පඩත්තල S.I. කෙනෙක්. දුන්නා හයදෙනාටම කම්මුල රත් වෙන්න එක බැගින්. අරූ ඇතුලේ අපි එළියෙ බංකුවක වාඩි කරවලා. උදේ 8ට පොළිසියට ගියපු එවුන් හවස 4ටත් පොලිසියෙ. වතුරවත් නැත. ඒ මදිවට පොලිස්කාරයන්ගෙ පක්කිලි වැඩ කරවනවා. වතුර ගේන්න, ඉස්සරහ කඩේට ගිහින් සිගරට් ගේන්න, ප්ලේන්ටි ගේන්න, එකෙකුට පොලිසිය අතු ගාන්න...... 
කොයි ලෝකේ ගියත් දවල් බත් ගෙඩිය ගහන්න ගෙදර එන අපතයො නැති නිසා ගෙදර මිනිස්සුත් හොයලා. පොලිසියට උදේ ගියා කියන ආරංචිය තියෙනව නෙ. අනික හත් දෙනාම එකටම ගියපු නිසා එතරම් අවුලකුත් නෑ. හවස හයට විතර එළියෙ හිටපු එවුන්ට යන්න කිව්වා, කූඩුවට දාපු එකා ccmp එකට බාර දෙනවා කිව්වා. දුකෙන් කේනතියෙන් ආවා. ගෙදර ඇවිත් කූඩුවෙ හිටපු එකාගෙ ගෙදරට විස්තරෙ කිව්වා. ඒ ගෙදර මිනිස්සු පොලිසියට ගියත් වැඩක් උනේ නෑ. 
ඊළඟ දවසෙ උදේ 9ට විතර ගියා කට්ටියම පොළිසියට යාළුව බලන්නත් එක්ක. අරූට ගෙදරින් දීපු කෑම එකයි වතුර එකයි දීලා දැං ඉන්නවා පොලිසියට වෙලා. 10.30ට විතර O.I.C. තැන ජීප් එකකින් ඇවිත් බැස්සා.  අපි කලින් දවසෙ ගියපු හය දෙනයි තව තුන්දෙනෙකුයි. කොල්ලොම ගොඩක් ඉන්න නිසා එතුමා ඇහුව්වා ඇයි ඔය ළමයි කියලා. අනේ ඉතිං අපේ එක අපතයෙක් ඉන්නව හෙණම අහිංසක මූණ. ඒ වගෙම සුපිරි කපටියා රඟපෑම 500%යයි. මූ එකපාර අඬාගෙන කියාපි 
"සර් අපේ අයියට පොලිස් වාර්ථාව ගන්න ආවේ. ඊයෙ අපිට මේ මහත්වරු හොඳටම ගහලා අපේ අයියා කූඩුවට දැම්මා බුදු සර්" කියලා. OIC ලොක්කා කට්ටියම එක්කගෙන ගියා ඔෆිස් එකට. කූඩුවේ හිටිය එකත් අරන් ආවා. උගෙන් ඇහුව්වා ආමි ඇබ්සන් ද? 
ඌ කිව්වා "අනේ සර් මම ආමි ගියෙ නෑ එයාර්ෆොර්ස් ඉන්ටව් එකකට නම් ගිහින් තියෙනවා. මට වරායට යන්න චාන්ස් එකක් ලැබුනා ඒකටයි පොලිස් වාර්ථාව ගන්න ආවේ" කියලා. 
කතා කරා ඉන්කොයර් එකට ගියපු රාළහාමිට. දැං මූ කියනවා මුං ගංජා ගහනවා කෙල්ලෙකුට පාරෙ යන්න නෑ. අරවා මේවා ගොඩයි OIC එක රාළහාමි කෙනෙකුට කිව්වා කොළඹ ගුවන් හමුදා මූලස්තානෙට කතා කරලා තොරතුරු ගන්න කියලා. එහෙන් කිව්වා එහෙම කෙනෙක් නෑ කියලා. දැං ඌ බේරි.
 අර රාලහාමිට OIC බැන්නා බැනිල්ලක් කන් දෙකේ ඇඟිළි ගහගන්න. අර කනට ගහපු S.I. ට කතා කලා ඌට කිව්වා තමුසෙලා තමයි අපරාදකාරයො හදන්නෙ මේ සමාජෙට. 
"නෑ සර් මුං ගමටම වදයක්. ගංජාකාරයො" දැං S.I. රවනවා ඔරවනවා වැඩ ගොඩයි. 
OIC එක රාළහාමි කෙනෙකුට කිව්වා කළුපේ තොටගමුවෙ කවුරු හරි ඉන්නව නම් එක්ක එන්න කියලා. අපේ වාසනාවට වයසක ආත්තම්මා කෙනෙක් ඉන්නවා උන්දෑ පොලිසියට ඇවිත් පැමිණිල්ලක් දාන්න. 
OIC ඇහුව්වා "ඔය අම්මා මේ ළමයි දැකලා තියෙනවද.?" 
"අනේ බුදු මහත්තයො මේ පැටව් ටික තමයි මගෙ වහලේ පොල් අතු ටික බැඳලා දෙන්නෙ, මට නා ගන්න ළිඳක් හාරලා දුන්නෙ, බැරල් දෙකකට මට මේ කවුරු හරි රත්තරං දරුවෙක් බොන්න වතුර එක ගෙනත් දීලා යන්නෙ, මේ පැටව් පාරෙ දෙල් ගෙඩියක් පොල් ගෙඩියක් වැටිලා තිබුනත් මගෙ මිදුළට දාලා යන්නෙ. අනේ මහත්තයො පෙරෙදා මගෙ මිනිහවත් නාවලා මටත් නාන්න වතුර ඇදලා බැරල් එහෙකට පුරවලා දීලයි ගියෙ." හම්මෙ ඉතිං ගුණ කන්දරාවයි. තවත් කාගෙන් අහන්නද. 
දැං ඉතිං OIC මහත්තයගේ  මළ ඕවර්.
 "දැං තමුසෙ පොළිස් වාර්ථාව අතින් ලියලා අරන් එනවා මම අත්සන් කරලා දෙන්නම" I.S. කාරයා නිකං නයා මැරිච්ච අහිකුණ්ඨකයා වගෙ ගියා. 
"පොලිස් වාර්ථාව එපා සර් දැන් වැඩක් නෑ.. අද 10ට තමයි ඉන්ටව් එක තිබුනෙ" කියලා දැන් අර අඬන එකා කිව්වා. 
OIC මහත්තයා එතුමාගෙ නිළ නිවාසෙට එක්කන් ගිහින් තේ පැන් සංග්‍රහයකුත් කරලා අපෙන් අර පොලිස් අපතයන් වෙනුවෙන් සමාවත් අරන් එව්වා.
දැන් අර ඉන්කොයර් එකට ආපු පොලිස්කාරයත් එක්ක බද්ධ වෛරයක් ඇති උනා. අනික තමයි වැදුනු කනේ පාර, කට්ටියම දැන් පොලිස්කාරයට කරන්න ඕන දේ කල්පනා කරනවා. ඒ කතාව එතනින් ඉවරයි ඈං.

ඉස්සරලාම රාළහාමිට අපි ගැන බොරැ කියපු ගෑණි හෙවත් අරෑගෙ නැන්දට ගේමක් සෙට් කරා. දවස් 5කට විතර පස්සෙ මහා රෑ කිතුල් ගහකින් ඉදිලා වැටෙන ඇට සොපින් බෑග් 3ක් විතර ගිහින් වැසිකිළියට වතුර ගන්න බැඳලා තිබුනු ටැංකියට දැම්මා. 
ඉන්කොයර් එකට ආපු රාලාමිට බොරු කියපු එකට ගමේ වැඩිහිටියො කිහිප දෙනෙක් කියලා තිබුනා. දැං ඉතිං පරිස්සමෙන් හිටපන් අක්කෙ කොල්ලො ටික උඹට හොඳ වැඩක් කරයි කියලා. අනේ ඉතිං උදෑසන පුප හේදු ඒ නැන්දයි නැන්දගෙ වැඩට යන දුවයි ස්කොලේ යන කොල්ලයි අපරාදෙ කියන්න බෑ ඉතිං සස සස තමයි. 
ඒ නැන්දා තමා මයිනා සහ පිරිස ගමෙන් ගියාට පස්සෙ කිරිබත් උයන් කෑවේ. ඒ නැන්දට දිගට හරහට වද දුන්නා ඊට පස්සෙ... ඒවත් කියන්නම් පස්සෙ දවසක. 

මේ විදියට කාලය ගෙවුනා මාස එකහමාරක් දෙකක් විතර. ඒ කාලේ ඇතුලත OIC මහත්තයගෙ හොඳම ඉන්ෆොමර්ලා සෙට් එක අපි. ගමෙ කසිප්පු පෙරන, විකුණන හංගන සියළු තැන්, එක පාරක් දාපු වඩි 20ක් විතර ගඟට පෙරලලා බැරල් දඟර එහෙම අරන් ගියා.

දවසක අපේ නසරාණි නඩෙයි තව පොඩි එවුන් සෙට් එකකුයි කජු කඩන්න කියලා කළුපේ කියන ගම පහු කරන් ඇතුලට ගියා රංගල්ල පාළම කිට්ටුවට. ඒ හරිය පාළු පැත්තක්. වාහනයක් ගියත් අහම්බෙන් තමා. ගොනපීනුවල, බේරතුඩුව, අළුත්වල පැත්තට යන කෙටිම පාරත් ඒක. පාළමට මිටර් 500ක් විතර මෙහා තියෙනවා තඩි ගොරකා ගහකට එකෙක් නැග්ගා. ගහට පහළ එවුන් මුට බිම වැටිලා තිබුනු ගෙඩි වලින් ගහනවා. අරූ ගහ මුදුනටම නැග්ගා. ගහ උඩටම ගියාම ඈත පාර දිගටම පේනවා.
ගහ උඩ ඉන්න එකා කෑගැහුව්වා "අන්න අර පොලිස්කාරයා එනවා" කියලා. 
එකෙක් ඉන්නවා යකෙකුටත් බය නැති. ඌ කිව්වා හැංගියව් කියලා හැමොම එතන තිබුනු කුරැඳු ඉඩමට පැනලා හැංගුනා. එතන හරකෙක් බැඳලා තිබුනා තෘණ කන්න. හරකගෙ කඹේ බැඳලා පාරෙන් මේ පැත්තෙ හරකා පාරෙන් එහා පැත්තෙ. 
රාළහාමි මොටර් බයික් එකෙ එනවා හැටට හැටේ. අපේ අපතයා බයික් එක කිට්ටු වෙන්න ඇරලා ඇද්දා හරකගෙ කඹේ. අයේ ඉතිං මොනවද පියඹා යනවා මා ආකාසයෙ තමයි. අනේ ඉතිං ඒ කාලේ තිබ්බෙ CB125 බයික් එකක අවේ රාළහාමිගෙ අතපය දෙරි ගැහිලා බයික් එකත් පෙරලිලා. හරකගෙ කඹේ ඇද්ද එකත් සැනෙන් කුරැඳු ඉඩමට පැනලා හැංගුනා. අර රාළහාමිට නැගිට ගන්න බැරැව පාරෙ පැත්තක වාඩිවෙලා ඉන්නවා. උදව්වක් ඉල්ලන්නවත් ඒ හරියෙ ගෙයක් දොරක් නෑ. 
පැය බාගෙකට විතර පස්සෙ හිකක්ඩුව පැත්තෙ ඉඳලා ආපු ලැන්ඩ් මාස්ටර් එකකට රාළහාමියි බයික් එකයි දෙකම පටව ගෙන බේරතුඩුව පැත්තට ගියා. හිතට සැටිස් දැං රාළහාමිට දීපු පනිස්මන්ට් එකට. 
දවස් 3කට විතර පස්සෙ අර ලෑන්ඩ් මාස්ටර් එකේ එකා අපි දැකලා කියාපි "ඔය මල්ලි එදා ගොරකා ගහ උඩ හිටියා නේ මම දැක්කා. පොලිසියත් එක්ක සෙල්ලම් පරිසමින් මල්ලිලා" කියලා. කට්ටිය බය වෙලා හිටියෙ අවුලක් වෙයි කියලා ඒත් ඉතිං යහතින් හිටියා. 

අර OIC මහත්තයගෙ මුළු නමම තාම මතකයි ඒත් සෙනවිරත්න කෑල්ල විතරක් කියන්නම්. එතුමා අපේ පොලිසියෙන් ඉවත් වෙලා ගිහින් වසර 5කට පස්සෙ වලස්මුල්ල පොලිසියෙදි මට අහම්බෙන් මුණ ගැහුනා. එහිදිත් මාව අඳුනගෙන "මෙහෙ ඉන්න එපා කොල්ලො.. පලයං බන් ගමට" කියලා දුන්නු අවවාදයත් තාම මතකයි. 

කිතුල් ඇට කේස් එක පට්ට සාර්ථකයි. අත්හදා බලන්න යන්න එපා හොඳෙ... එහෙනං එන්නං 

4 comments:

  1. අර වෑසක උන්දැ නිසා බොලා ඔක්කොම කූඩුවෙ වැටන්නැතුව බේරුනා එහෙනං.

    ReplyDelete
  2. අම්මෝ තොපි

    ReplyDelete
  3. මයිනො තොපි සෙට් එක දීල තියන ගේම් අම්මපල්ල ... මේ කිතුල් ඇට ටිකක් වැඩිපුර හොයා ගන්න විදිහක් කියපං මටත් තියනව ඇරියස් දෙක තුනක් කවර් කරන්න :-D

    පොලිසියෙ කටු ලෙව කන එවුන්ගෙ තමයි බන් තියන තරමක් නරි ගෙම්බර් ... ලොක්කොන්ට අඩු ගානේ යමක් කියපුවම උන් උදව් කරන්න බැරි උනත් අහගෙන හරි ඉන්නව.

    අර බොලගෙ හාදය රස්සාව අත ඇරල දැම්මද ඒ පාරත් ?

    ReplyDelete