Saturday 23 February 2019

මයිනාගෙ කතා.... 31 චිමිනිය

මයිනාගෙ කතා.... 31 ... චිමිනිය...

මයිනගෙ ප්‍රතම ප්‍රේමයට බාධක එන්න එන්නම වැඩි වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම මයිනගෙ මව් දේවිය තදින්ම විරැද්ධ වීම නිසා ප්‍රශ්ණ පිට ප්‍රශ්ණ ඉතිං. කුක්කු ඩෝල්ගෙ අප්පත් හෙණහුරා වගෙ හරහාටම හිටපු නිසා ලව් එක රෝමියෙ ජුලියට් සිද්ධියට සමාන වෙමින් පැවතුනා. මයිනගෙ මල්ලි අපතයත් දුෂ්ඨයගෙ චරිතයටම පණ පොවපු නිසා වැඩේ අවුලෙන් අවුළටම ගියා.

                                              වෙනදට හික්කඩුවෙ ස්ටේෂන් එක කොනක හරි පොළ පාරෙ මුල්ලක හරි ආල කතා ප්‍රේමකතා කරපු එකත් නවත්තන්න උනා. පොළ පාරේ ප්‍රේම කතාවක ඉන්න මොහොතක මයිනගෙ මල්ලි දුෂ්ඨයා දැක මව්තුමියට කේළම දෙසා බෑම ඊට ආසන්නතම හේතුව උනා. ඒ පැත්තෙන් කුක්කු ඩෝල්ට දවසට වේලක් කොස්සකින්, ඉදළකින්, පියාණන්ගෙ මුෂ්ටි ප්‍රහාරයකින් සැළකුම් ලැබේනව. මයිනට කියලත් වෙනසක් නෑ ඉතිං පියතුමා නැති වෙලාවක හදිස්සි ප්‍රහාරයක් ඇතිවීම වලක්වන්න බෑ. පොල්කටු හැන්දකින්, කුරැඳු දර පොල්ලකින්,  කොස්සකින්, දමා ගැසිය හැකි කුමන හො භාන්ඩයකින් ඒ ප්‍රහාරය ලැබිය හැක. මයිනත් ඉතිං කොටි පාළන කලාපෙකට ඇතුල් වෙච්ච කමාන්ඩෝ සෙබලෙක් වගෙ පුල් ඇලට් එකේ ඉන්නව. මයිනත් මව්ගෙ දයා අනුකම්පාව ලබා ගන්න නොකර කෙහෙම්මලක් නෑ. දර පළනවා, වතුර අදිනව, පොල් කඩනව අනේද කියන්නෙ මව් නොවෙයි අනුකම්පාවක් පෑවේ. සියල්ල ඉවසා දරා ගත්තත්    "තෝ බාල එකාගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම් වටින්නෑ"     අන්න ඒ වැකිය නම් දිරවන්නෙම නැත. අන්න ඒ වෙලාවට තමයි අරැට වෙඩි තියන්න හිතෙන්නෙ.

                                 ඒ මදිවට වටේ පිටේ හිටපු නෑයෝ උං ඊට හපං, ඇවිලෙන ගින්නට පැට්‍රල් ඉහ ඉහ උනුත් රංජනි අක්කා ෆෝම් කර කර වෙනම ආතල් එකක් ගත්තා. ඒ මදිවට කුක්කු ඩෝල් ගෙ ගෙදරට පේන දුර රේල් පාරේ ගියත් ඒ ගෙදර උන් ඒකිව මරන් කන්න හදන නිසා රේල් පාරෙ ගමන් කිරීමත් නවත්තලා දැම්මා.   රෑ තිස්සෙ ගඟෙ පැනපු සීන් එකෙන් පස්සෙ ඒකිගෙ අම්මත් පාඩම් කරලා ඉවර වෙනකං ඒකි ළඟට වෙලා ඉන්න පටන් ගත්තා. හැම පැත්තෙම තහාංචි වැඩිවෙලා මුරකාවල් තර වෙලා ලව් එක පුල් අබ්ලික් උනා. හැබැයි ඉතිං කුක්කු ඩෝල්ගෙ ලොකු මල්ලි මයිනට මනාපයි. මූනට මූන මයිනා එක්ක කතා නොකලට ඌ ඉතිං අක්කට මයිනා දැක්කම එහෙම ගිහින් කියනව. එතකොට ඌ හිටියෙ 7 වසරේ 8 වසරෙ විතර කොල්ලො වළිය දැම්මාම එහෙමත් මයිනගෙ නම විකුණලා ඌ බේරෙන සීන් එකකුත් තිබුනා. හැබැයි ඌ හොඳ එකා මයිනා එක්ක අවුළක් නෑ වෙන මස්සිනා පැටව් වගෙ.

                                                    රොමියො ජුළියට්ලට වගෙම තමා මයිනලගෙ ලව් එකටත් තහාංචි වැටුනු නිසා හමු විය නොහැක තමා. ඕං ඉතිං එහෙම මෙහෙම වෙලා කුක්කු ඩෝල්ගෙ යාළුවෙකුගෙ ගෙදර එවුන් සියල්ලෝම බැහැරකට යන දවසක යාළුවගෙ තනියට කුක්කු ඩෝල්ට එන්න කියලා. සෙනසුරාදා දවසක් යාළුවට තනියම ඉන්න බැරිකමට වඩා කුක්කු ඩෝල්ට සහ මයිනට හමු වීමට තමා ඒ යාළුවා අවස්තාව හදලා දුන්නෙ. අනේ ඉතිං මයිනා දවල් 10.30ට විතර අර යාළුවගෙ ගෙදරට ගියා තඩියා එක්ක. තඩියට පැය දෙක තුනකින් විතර වරෙං කියලා මයිනා කුක්කු ඩෝල් එක්ක ප්‍රේම ජලාශේ කිමිදෙන්න පටන් ගත්තා.

                                         ආළය අන්ධයි කිව්වට මයිනා හිටියෙ ෆුල් ඇළට් එකේ. අර ගෙදර කාඹරෙ ජනෙල් කූරැ අතරෙන් පේනව කුක්කු ඩෝල්ගෙ අම්මයි නංගියි ලොකු මල්ලියි එනව. මයිනා පැන්නා සාලේට එතනින් කුස්සියට, හුටා කුස්සියෙ දොර ලොක් කරලා යතුරත් නෑ. ඉස්සරහ පැත්තෙන් නැන්දම්මා ගෙට ගොඩ උනා. කුක්කු ඩෝල්ට බනිනව මයිනා මෙහෙ ආවා කියලා.

"අම්මට පිස්සුද මෙහෙ ඇති මයිනෙක් නෑ"

"කාමරෙක හැංගිලා ඇති ඕකා"

"නැන්දට සැක නං නැන්ද ගේ ඇතුලේ බලන්න ඉවරයි නේ"





කාමර අල්මරි ඇඳන් යට ආදි වශයෙන් සොදිසි කරලා නැන්දා ඊළඟට එන්නෙ කුස්සියට. එළියට පනින්න විදියක් නෑ කුස්සයෙ දොර ලොක් කරලා ජනෙල් වලින් යන්න බෑ ග්‍රිල් නිසා. එකම තැනයි හැංගෙන්න තියෙන්නෙ ලිපට උඩින් තියෙන චිමිණිය. බය සහ ත්‍රාසය නිසාම මයිනා රිංගුවා චිමිනිය අස්සට දෙපැත්තට අත් දෙකයි කකුල් දෙකයි තිය තිය. නැන්දම්මා බෝම්බෙ කුස්සියට ඇවිත් බැළුවා දොරත් ලොක් කරලා. සෝදිසි මෙහෙයුමෙන් පස්සෙ මව්තුමිය යන්න හදනව අර ගෙදර කෙල්ල

"නැන්දෙ ඉන්න තේ එකක් හදනකං" කියපි.         හුටා අර චිමිනිය ඇතුලේ මයිනා ඉන්දැද්දි අරකි තේ හදන්න.   දෙයියො මයිනා දිහා බලලා කුක්කු ඩෝල් අම්මට වළිය ඇද්දා.

"දැං පොලීසියෙන් පැනලා වගෙ හෙව්වෙ මෙතන, හම්බ උනාද මයිනෙක්"

"මෙයාලට දෙන්න ඕන තේ එකක් නෑ චනදිමා, කොයි වෙලවෙ හරි මම බොනව වහා ටිකක්"          
                   කුක්කු ඩෝල්ගෙ සද්දෙට අම්මා  පසුබෑමට ලක් වෙලා යන්න ගියා හැබැයි මස්සිනා පැටියා නවත්තලා ගියා. අනේ ඉතිං මයිනා චිමිනිය අසසේ ඉන්දැද්දි අරැං දෙන්නා කතා වෙනවා මයිනා කෝ කියලා.

"කුස්සියෙ දොරත් වහාලා යතුර මේෂෙ උඩ එළියට යන්න විදියකුත් නෑ"

"ඒක තමා මාර වැඩේ කොහෙද මෙයා ගියේ"

"මං මෙහේ ඕයි"        කියාගෙන මයිනා චිමිනියෙන් එළියට ආවා. අරැන් දෙන්නයි මස්සිනා පැටියයි ඒකාට එකා හිනා වෙනවා. අනේ ඉතිං මයිනා අර චිමිණියෙ තිබුනු දුං කළු වලින් නෑවිලා අළව් යකා සේ විරාජමාණ වෙලා. ටික වෙලාවකට පස්සෙ තඩියා ආවා එක්කගෙන යන්න. තඩියගෙ සයිකලෙන් ඇවිත් පර්ස් එකයි කලිසමයි ටී සර්ට් එකයි ඌට දීලා ගඟෙන් පැනලා තඩියලාගෙ ගෙදරට පීනගෙන ගියා. හැබැයි ඉතිං මස්සිනා පැටියා මයිනට අළුත් නමක් දීලා තිබුනා ලිප් බොක්කා කියලා. ඕං ඔහොමයි මයිනා චිමිනි අස්සෙ රිංගුවේ.

3 comments:

  1. හිනස්සලා මරන්න එපා අනේ… :D :D :D

    //කුක්කු ඩෝල්// :D

    //"දැං පොලීසියෙන් පැනලා වගෙ හෙව්වෙ මෙතන, හම්බ උනාද මයිනෙක්"//

    ReplyDelete
  2. එදා නැඳම්මට අහු උනා නම් තාම ගුටී කනව

    ReplyDelete
  3. කුක්කු ඩෝල් nama hadune kohomada mayino

    ReplyDelete