Saturday 24 August 2019

මයිනාගෙ කතා...53 පූස් පැටව්..

මයිනාගෙ කතා...(53) .... පූස්  පැටව්..

         පුසා එහෙම නැත්තං  බළලා ගැන  තියෙනව නොවැ කතා කෝටියක්,ලංකාවේ ප්‍රසිද්දම කතාව නොවැ මයිනලගෙ ගම් පලාතෙන්  ඇස් ඇරැනු පූස් පැටියෙක්වත් ගේන්න එපා  කියන එක.  
                      ඉස්සරම  ඉස්සර කාලේ එක බැළලියෙකුට බැළලි පැටියෙක්  ලැබුනලු.  මේ බැළලි අම්මා කිව්වලු "කවද හරි  මගෙ දුව දෙන්නෙ හිරු දෙවියන්ට තමයි"  කියලා..  හැබැයි ඉතිං මේ කතාව අහපු හිරු දෙවියො හීන් දාඩිය දාලා පරල වෙලා ගියාලු. කාලෙකට පස්සෙ අම්මා පූසි ගිහින් හිරැ දෙවියන්ට කිව්වලු   "හිරු දෙවියනි ඔබ තමයි  මේ ලෝකෙටම බලවත් මගෙ දුව බාර ගන්න" කියලා.. තැනට සුදුසු නුවන තිබුනු හිරු දෙවියො  කිව්වලු "මම කොතරම් බලවතෙක් උනත් එක  කළු වලාවකට පුළුවන් මගේ බලය බිඳින්න.. මට  වඩා බලවතා තමයි වැස්ස වළහාක දෙවියො"   කියලා.

       බළල් අම්මා කල්පනා කරා ඇත්ත තමයි ක‍ළු වළාවකට පුළුවන් ඉරත් වහන්න,   එහෙනම් වැස්ස වළහාක දෙවියො තමා බලවත්  කියලා වැහි දෙයියො මුණ ගැහැන්න ගියා.  පූස් අම්මා  වැස්ස වළහාක දෙයියො  මුණ ගැහිලා  කාරණාව කිව්වා.. වැහි දෙයියො බැලුවා ඉර  දෙයියො මාව අල්ලලා දීලා බේරිලා, හිටපංකො  පුසියේ උඹව මහපොළවටම යවන්න කියලා හිතලා කිව්වා,
"මම  කොච්චර බලවත් උනත් කොතරම් වැස්ස වැස්සුවත් වේයා තුඹස බඳින එක නවත්තන්නෙ  නෑ,වේයා කියන්නෙ මට වඩා බලවතෙක් ගිහින්  දුව වේයට බන්ඳලා දෙන්න" කියලා.

             ඕං ඉතිං පූස් අම්මා වේයා  හොයාගෙන  ගිහින්  කාරණාව  කිව්වා.. වේයා කල්පනා කරා මොන නවනිංගිරාවක් නැති  වැඩක්ද මේ වෙන්න හදන්නෙ කියලා.  පූසිට  කිව්වා "මම මොනතරම් තුඹසවල් හැදුවත් කුළු හරකගෙ එක අං පහරකින් ඒවා විනාශ වෙනවා ඒක නිසා කුළු හරකා තමයි මට වඩා බලවත්" කියලා.
            පූසි ඉතිං කුළු හරකව  හොයාගෙන ගියා, කුළු හරකත් ඉතිං කිව්වා  "මගේ බල පුළුවන්කාරකම් කොටියා දකිනකම්  විතරයි කොටියා තමයි බලවතා"කියලා.       ඕං ඉතිං පූස් අම්මා කොටියා හොයාන ගිහින්  කාරණාව කිව්වා.  කොටියා කියාපි "අනේ ඉතිං  මම මොන බලවතා උනත් බළල්රාළටත් පරාදයි  නොවැ, මට ගහකට නැග්ගාම බැහැගන්නවත්  බෑ.  බළල්රාළ තමයි මගෙත් ගුරා උන්දැටම දීපං  උඹගෙ දුව"  කියලා කියාපි.. ඕං ඉතිං එක බළල් කතාවක්  කිව්වා.





                   ඉස්සර මයිනලගේ ගෙදර  පූසෝ 9ක්  හිටියා.  මයිනගෙ අම්මා මයිනට  කන්න නොදුන්නත් පූසන්ට අනිවාරයෙන්ම කන්න  දෙනවා..  ඒ මදිවට මේ පූසෝ ඇඳ උඩද පුටු උඩද  මේසේ උඩද ආදි සියලු තැන්හි විරාජමානව  වැඩ ඉන්නවා මෙහෙම වෙලාවක මුං එහෙකුට  ගැහුව්වා කියන්නෙ ඉතිං මයිනට පරණ  ඇරියසුත් එක්ක මෑණියන් වහන්සෙගෙන් අඩු පාඩු නැතුව කොසු පාරක් ලැබෙනවමයි.   ඒ  මදිවට "ඈ බොළ මදාවියො තෝ ඔය අහිංසක  සතාට ගහන්නෙ තොගෙ ඔළුව උඩ ඉන්නවටද"  ඒ වගෙ වැකිත් තියෙනව.  මෙන්න මේ බිළාල  ප්‍රශ්නෙට විසඳුමක් ලෙස මයිනා හිතුවා මුං ටික  ගිහිල්ලා දාන්න කොහෙට හරි. 





                     පළවෙනි තැන උනේ  ගමේ පන්සල. පෝර ගෝනියකට හැන්දෑවේ 7ට  විතර පූස්සු 6 දෙනෙක් විතර අල්ලා දාගෙන පංසලට  දාලා ආවා.  අනේ ඉතිං පසුදා උදේ  බ්‍රේක්ෆස්ට් එකට පූස්සු  සෙට් එකම ගෙදර ඉන්නවා!

            ඊළඟට  තීරණය කලා ගමේ පංසල ළඟ  වැඩියි එහා ගමේ පංසළට පූස්සු ටික ගිනිහිල්ලා  අතහරින්න.  සැලසුම ක්‍රියාත්මකයි.   එදා රෑ ගෝනියකට අහු උනු පූස්සු පස් දෙනෙක් දා ගෙන  ගිහින් අල්ලපු ගමේ පංසලට දාලා ආවා.  අපරාදේ කියන්න බෑ මෙන්න අරුං පස් දෙනා උදේට කිරි බොනව අම්මත් එක්ක හුරතල්  වෙවි.  ඕං ඉතිං මයිනා අපතයො සෙට් එකටම  කතා කරලා විස්තරෙ කිව්වා..  විවිධ යෝජනා  වලින් අවසානේ එකෙක් කිව්වා ගඟකින්  පාළමකින් එහාට දැම්ම  පූසන්ට ආයෙමත් එන්න බෑ කියලා.

            එදා හැන්දෑවේ තඩියයි,කට්ටයි,මයිනයි, හූනයි, ...... අනිත් ඈයො ටිකයි එකතුවෙලා  මයිනගෙ පොඩි අක්කගෙ පූර්ණ සහයෝගයෙන් පූස්සු හත් දෙනෙක් ගෝනියකට දා ගෙන තව එකෙකුගෙ ලෑන්ඩ් මාස්ටර් එකකින් පූස්සු ටික අරන් යනවා පංසලකට දාන්න.   තඩියා පූසෝ ගෝනිය අල්ලගෙන ඉන්නව අනිත් එවුනුත් වාඩි වෙලා ඉන්නව මයිනා ඩ්‍රයිවර්.  ඕං ඉතිං ඔහොම  ගිහිල්ලා හික්කඩුවෙ "පිංකන්ද"  කියන දිහවේ  තියෙන පංසලකට පූසෝ ටික දාන්න සූදානම.  වඩා උසම සහ ඇඟපත ඇති මොලේ අඩුවෙන්  ක්‍රියාත්මක කරපු තඩියා ගෝනිය උස්සං ගිහින්  පංසලේ තාප්පෙ මේ පැත්තෙ ඉඳං අනිත්  පැත්තට පූසෝ ටික හැලුවා. හුටා  තාප්පෙ  අයිනෙ වාඩිවෙලා ගාථා කිය කිය හිටපු අම්මා කෙනෙකුයි කෙල්ලො දෙන්නෙකුයි උඩට තමයි අරූ අර පූසෝ ගෝනිය දාලා තියෙන්නෙ. 

"පව් කාරයෝ,  කාළකණ්ණි" සහ තවත් වදන්  වැල් පිට වෙද්දි  ලෑන්ඩ් මාස්ටරේ උපරිම  වේගෙන් කට්ටිය මාරු.  ඊට පස්සෙ ඉතිං පූස්සු  ගෙදර ආවේ නෑ,ටික දවසකට පස්සෙ දානමය  වැඩ කටයුත්තකට පිංකන්දෙ තියෙන වැඩිහිටි  නිවාසෙකට යන්න සිද්ධ උනා තඩියා ඇතුළු  පිරිසට.  වැඩහිටි නිවාසෙ දානේ වැඩ අස්සෙ  තඩියා වයසක මනුස්සයෙක් නාවනව  ඊට  එහා  පැත්තෙ කෙල්ලෙක්  ඉඳන්  කියනවා  
" ඌ තමයි අක්කෙ,මට හොඳට මතකයිනෙ"
"නෑ මේ වෙන කෙනෙක් වෙන්න ඇති"
"මොකද නැත්තෙ ඌ තමයි රැවුළ බලනවකො  ෂුවර් එකටම ඌම තමයි"
 මයිනා ඉතිං ෂේප් එකේ කෙල්ලො දෙන්නගෙ  කතාවට ඇන්ටනාව දාගෙන ඉඳලා දානෙට  මුලිකත්වය ගනිපු  ගෙදර  එකාට  කිව්වා  
"අඩෝ අන්න අපේ තඩියට හිත ගිහින් අර  කෙල්ලො දෙන්නට" කියල.
අරුත් ඉතිං අර කෙල්ලො දෙන්නා ළඟට ගිහින්  "මොකො තමුසෙලා දෙන්නා අරූ දිහා බලාගෙන  මුණු මුණු ගාන්නෙ" කියලා ඇහුව්වා.

"ඒ කොල්ලා තමයි ඕයි එදා පංසලට පූසෝ ගෙනත් දැම්මේ" කියාපි අර කෙල්ල!





හොඳ වෙලාවට අර කෙල්ලට අනිත් උන්ගෙ  මූහුණු මතක නෑ තඩියගෙ සයිස් එකයි රැවුළයි  නිසා තමයි ඌ විතරක් මතක තිබිලා  තියෙන්නෙ. දානේ වැඩ ඉවර වෙනවත් එක්කම  තඩියත් ඇදං සෙට් එකම මාරු උනා  ෂේප් එකේ නැත්තං  නෝන්ඩි වෙලා කින්ඩි වෙලා තමා එන්න වෙන්නෙ.   හැබැයි  ඉතිං  පූස්සු  පංසලට  දාපු  සීන්  එකට  තඩියා  විතරක්  නෝන්ඩි  උනා  දානෙට  අපිව  සහබාගි කරවපු  එකාටත්  තඩියා  සහ  පුසෝ  සීන්  එක  කියපු  නිසා. තඩියට  ඒ  නිසාම  පිස්සු  පූසා  කියන  නමත්  රෙජිස්ටර්  උනා.  එහෙනං ආයෙත් එන්නං ඇ....


No comments:

Post a Comment