Wednesday 19 February 2020

මයිනාගෙකතා...72... නැදුන් ගහ

#මයිනාගෙකතා...72... නැදුන් ගහ...
                              ගෙදරින් දෙන දෙයක් කාලා ඒ කාපුවගෙ හයිය හත්තිය බලන්න කවුරු හරි එක්ක ගුස්තියක් එහෙම අල්ලගෙන දැහැමින් සොඳින් කාලය ගෙවිම තමා මේ කියන කාලේ සිද්ද උනේ. අපරාදේ කියන්න බෑ හිටපු නසරාණි රැළම තකට තක. හිටපු සෙට් එකේ විවිධ හැකියාවන් කුසළතාවයන් තියෙන අමුතු පොරවල් තමා හිටියෙ. සමහර එවුන්ට තිබුනු සමහර හැකියාවන් ගැන කළ්පනා කරද්දි අයින්ස්ටයින්ලා මොක්කුද කියල හිතෙනව. ඒ අතරිනුත් අපේ කටා කියන්නෙ එස්කිමෝ කෙනෙකුට උනත් අයිස් ටිකක් විකුනන්න පුළුවන් පොරක්. බොරුවක් උනත් නියමාකාරයෙන් ලස්සනට ඇත්ත දෙපැත්තට දාලා බොරුව මැද්දට දාලා හරිම අලංකාර විදියට කියන පොරක්. කටා ගැන විතරක් වෙනම පොතක් ලියන්න පුළුවන් පිටු 500ක විතර. හැබැයි කටා ගැන කිවයුතුම දේ තමයි අපි හැම කෙනාටම වැඩියෙන් කටා දැනුම අතින් සහ එදිනදා රටේ ලෝකේ වෙන දේවල් පිළිබඳව යාවත්කාලීන වීම. සති අග සියළුම පුවත් පත් සහ ඒ තුළ ඇති සියළුම ලිපි කියවිමත් කටා කලා. ඊට අමතරව කටාට ඉංග්‍රිසි පිළිබඳව යම් ප්‍රමාණෙක දැනුමක් තිබුනා. ඒ ඉංග්‍රිසි බාෂා හැකියාව නම් ඌට කොහෙන් ආපු එකක්ද දන්නෑ, අපේ තඩියා නං කිව්වෙ අම්මා තනියෙං හිටපු වැස්ස වෙලාවක සුද්දෙක්වත් පිළට ගොඩ වෙන්න ඇති කියලා. ඒක කටාට ඇහුනම ඉතිං තඩියගෙ දඩ පෙනුමයි රැවුළයි ගැන කටා කියන්නෙ තඩියගෙ අම්මා සෞදියෙ දාපු සෙල්ලංවල ප්‍රතිඵළ කියලා තමයි.


                                             නසරාණි රැළ ඉතිං සමාජසේවා වැඩ පොදු කටයුතුවලටත් පුළුපුළුවන් විදියට සහයෝගෙ දීගෙන ඉන්න ගමං වෙන වෙන ගේමුත් ගැහුව්වා. නැති බැරිම අවස්තාවක මුහුදට බැහැලා හිරිගල් පරයක් කොරල් පරයක් හරි කඩලා විකුණුවා. අපරාදේ කියන්න බෑ ඒ වගෙ සිද්දිවලට අපේ කටා තමයි මූළිකත්වය ගත්තෙ. කොරල්පර කඩන සිද්දියට නම් නඩුත් දාලා හිරෙත් යවලයි පොලිසියට අහු උනොත් නවතින්නෙ. ඒ වගෙම තමයි කටාගෙ අනිත් ගේමුත් හුණු පොරණුවකට දර ඉල්ලන එකෙක් සෙට් උනා නං මූ අල්ලපු වත්තෙ ගහක් හරි කපලා දර සපයනව. එහෙම බැරි උනොත් පන්සල වත්තෙ ගහක් හරි කපල දෙන බූවා. එකෙකුට දර ලෑන්ඩ් මාස්ටරයක් දීලා ඒකේ මදි පාඩුවට අරළිය ගහකුත් කපල දීපු එකා. අපරාදේ කියන්න බෑ දර ගිනියපු එකා මූව අරන් ගිහින් හුණු පෝරණුවට දානව අපි හිටියෙ නැත්තං. ඕං ඉති එක දවසක කට්ටගෙ මාමා ගෝනපීනුවල කියන දිහාවෙ ඉඩමක් අරන් කට්ටියම ගියා ඉඩම බලන්න. ඉඩමේ තිබුනු ගස්වලින් කුරුම්බත් කඩං කාලා කොස් වගේකුත් කඩං කට්ටිය ආවා. හැබැයි අපේ කටා වත්තෙ තිබුනු සියලුම ගස් ගණං කරලා ඒ ඒ ගස් වර්ගවල නමුත් මතක තියං තමයි ආවේ. කට්ටගෙ මාමා ආමි එකේ ලොක්කෙක් ඒක හිංදා ගෙදර අරන් ගියෙත් බොහොම නීති සහිත පාළනයක්. මාමා ගෝණපිනුවළ ඉඩම ගත්තට නිතරම ඉඩමට යන්න තරං වෙලාවක් තිබුනෙ නෑ.


                               ඔය ඉඩම පැත්තට ගිහිං එන වගකීම පවරලා තිබුනෙ කට්ටට, කට්ටා ඉතිං මාසෙකට සැරයක් නසරාණි ටිකත් ඇදන් ගිහිං ඉඩමේ තියෙන දෙයක් කඩං එන එක තමා කලේ. ඔහොම ඉඳලා එක දවසක මාමා අහම්බෙන් ඉඩම පැත්තට ගිහින්. අක්කර බාගයක් විතර වෙච්ච ඉඩම පුරාම කැලේ වැවිලා මාමා ඉතිං දැන් ඉඩම සුද්ද කරවන්න කට්ටිය හොයනව. අපේ කට්ටා පැනලා කිව්වා "මාමේ මොකටද කට්ටිය අපි ඕක සුද්ද කරලා දාන්නං, හැබැයි කොත්තු අරං ඕනේ හොඳේ" කියලා. කට්ටටත් බැනලා මාමා ඉතිං වැඩේ කටාට පැවරුවා. කට්ටා ඉතිං මාමගෙන් අහනව
"මාමේ අර කැන්ද ගස් කපන්නද"
"ඔව් ඒවා කපලා දාන්න"
"ඇස්ටෝනිය ගස් කොට්ටන් ගස්"
"ඒවා නම් තියෙන්න අරින්න රීප්ප හරි ගන්න බැරියෑ"
"හරි මාමේ.... අනිත් පොඩි පොඩි වල් ගස් ඔක්කොම කපනව හොදේ"
"උඹ බලලා කරාහං කොල්ලො" කියලා ඉතිං මාමා කටාට රැපියල් 1000කුත් දුන්නා කොත්තු කන්න. 
                                        මයිනට ඉතිං හෙණම සැකයි මූ මේ ඉල්ලං පරාප්පුවක් කාපු එක. මොකද කටා කියන්නෙ අන්දරේගෙ ලොකු තාත්තා වගෙ පොරක්. ඊළඟ දවසෙ කටා කැති උදළු පිහි එහෙමත් අරගෙන නසරාණි ටිකත් එක්ක ඉඩමට ගිහිං ඉඩම සුද්ද කරනව. ඉඩමට ඇතුල් වෙන තැනින්ම පටන් අරන් එක පේළියට සුද්ද කරන් යනව. දවල් 11ට විතර මාමා එද්දි කොල්ලො ටික සීරුවට වැඩ. මාමා තේත් ගෙනත් දීලා..... "මම හෙට උදේම යනව පුතා උඹ වැඩ ටික බලලා හරියට කරපං" කියල කටාට කිව්වා. මයිනා ඉතිං වැඩ අස්සෙ ඇහැ ගහගෙන ඉන්නව කටාට මොකක් හරි ගේමකට තමයි කටා සෙට් වෙන්නෙ කියල හිත හිත.





                                     කට්ටියම දවල්ට කාලා වැඩ කරගෙන යද්දි හවස 4ට විතර බුවෙක් ආවා. කටා ගිහින් ඌත් එක්ක කතා කර කරත් හිටියා. මයිනා දැං බලන් ඉන්නව අර ආපු එකත් ගියා වෙනසක් නෑ. හැබැයි ඉතිං ආපු එකා එහා පැත්තෙ තිබුනු ලොකු ගස් දෙස ටිකක් වැඩිපුර බැළුව වගෙ නම් පෙනුනා. හවස 5 විතර වෙද්දි කට්ටියම ඉඩමෙන් කාලක් විතර සුද්ද කරලා ඒ කපපු කොටපු ගස් කොළ අතුත් එක තැනකට ගොඩ ගහලා දැම්මා. ඕං ඉතිං කටා කට්ටියටම කිව්වා "හෙට එන්න ඕන්නෑ අනිද්දා එමු මේ ටිකත් ගිණි තියලා ඉතුරුවා සුද්ද කරමු" කියලා. ඊළඟ දවසෙ දවල් 10ට විතර කට්ටියගෙ ගෙවල් දිහාවට ඇහැ දාලා බැළුව කටා නැත අනිත් සියල්ලොම ඇත. "තඩියො යමං පොඩි ගමනක්" කියලා තඩියයි මයිනයි පැද්දා ගෝනපීනුවලට බයිසිකලෙ. අනේ ඉතිං අර වළත්ත කටා ඉඩමෙ කෙළවරක තිබුනු නැදුන් ගහක් කපලා වඩු මඩුවට දීලා. ඊට කලින් දවසෙ ඇවිත් තියෙන්නෙ වඩු මඩුවෙ එකා. මූ රුපියල් 11000කට ගහ විකුණල, මයිනයි තඩියයි යද්දි ගහ කුට්ටි කරලා කැන්ටරේකටත් පටවනව. කටාට තඩියයි මයිනයි දැක්කම සිහි නැතිවෙන්න ගියා, කට්ටගෙ මාමාට ආරංචි උනා කියන්නෙ කටාගෙ කණ පළලා ලුණු දානව ෂුවර්. 

                                                 කටා ඉතිං මයිනව දැක්ක හැටියෙ ළඟට ඇවිත්
"මේ කැන්ද ගහයි වල් ගස් ටිකයි මේ අයියට දරට දුන්නා බං" කියාපි.
"ඈ හු## තෝ හිතුවද මමත් බද්දෙගම කියලා නැදුන් ගස් දරට දෙන්න, හිටපං දැං ගිහිං කියනව කට්ටලගෙ ගෙදරට"
"අඩෝ නෑ බං මයිනා... මේ..."
"මේ මේ ඕන්නෑ තෝ කීයකටද දුන්නෙ කියාපං ගහ"
"රැපියල් 6000කට බං"
"බොරු එපා කටෝ කියන එකම කියනව ආයේ දෙකක් නෑ"
අර වඩු මඩුවේ එකා "මල්ලි එහෙනං හරිනේ මෙන්න සල්ලි" කියලා දෙද්දි තඩියා ගත්තා සල්ලි ටික. ගණං කරලා බැළුවම රුපියල් 11000ක් තියෙනව. තඩියා කටාගෙන් ඇහුව්වා "කටෝ දැන් තෝ කියාපං මොකද කරන්නෙ"
"උඹලා දෙන්නා 3000ක් ගනිං ඉවර නේ"
"හා.... ඇත්තද හොරකං කරලා මදිවට තෝ ගණු දෙනු කතා කරන්නත් එනවද"
"මේ 3000 තෝ තියා ගනිං, නැත්තං ගිහින් කියනව තෝ නැදුන් ගහ හොරට කපලා විකුණුව කියලා"
"හරි තව 2000ක් දියං ඉතිරි උඹල දෙන්නා ගනිං"
"තව ශත 5ක් දෙන්නෑ, තෝ කරන්නෙම කැරි වැඩ"



                               රැපියල් 3000ක් කටාට දීලා මයිනයි තඩියයි 8000ක් අර ගත්තා. එදා රෑට කටාගෙම සල්ලි වලින් කොත්තුත් කෑවා සහ අනිත් නසරාණි රැළත් එක්ක දවස් දෙක තුනක් රෑට රෑට ආප්ප කොත්තු එහෙමත් කෑවා. අනිත් එවුංට හෙණ අවුළ කොහෙන්ද අපිට සල්ලි කියලා. "තඩියගෙ ආච්චිට රැපියල් 3000ක් තිබ්බා මහජන සම්පතකට ඒකේ සල්ලි මූ අර ගත්තා උන්දෑට නොදි" කියල ඒ කතාව මගහැරියා. ඕං එහෙමයි අපේ කටා අනුන්ගෙ වත්තෙ තිබ්බ නැදුන් ගහත් විකුණුවේ.
එන්නං ඈ.........
_____මයිනා_____

1 comment:

  1. As stated by Stanford Medical, It is indeed the SINGLE reason women in this country live 10 years more and weigh 19 KG less than we do.

    (And realistically, it really has NOTHING to do with genetics or some secret exercise and EVERYTHING around "HOW" they eat.)

    P.S, I said "HOW", and not "what"...

    Tap on this link to reveal if this easy test can help you release your true weight loss potential

    ReplyDelete