Tuesday 16 June 2020

මයිනාගෙකතා...93... මැනර්ස්

මයිනාගෙකතා...93... මැනර්ස්


                                               සිංහළ බාෂාව ඇතුලේ වෙනත් බාෂාවලින් රිංගලා එකතු වෙච්ච වචන මහ ගොඩක් තියෙනව නෙව. ඔය අතරිනුත් පෘතුගීසි වචන බොහොමයක් අපේම වචන වෙලා අපේ බාෂාවත් ආක්‍රමණය කරලයි තියෙන්නෙ. අනිත් හරියට දෙමළ වචනත් බොහොමයක් තියෙනව. ඒ වගෙම සමහර වචනවල අකුරු එහා මෙහා වෙලා ඒ වචනත් බාෂාව ඇතුලෙම පැළපදියම් වෙලා නොවැ. නුඹ කියන වචනෙ අද වෙද්දි උඹ වෙලා මදිවට ඒ වචනය සළකන්නෙත් පහත් ආමන්ත්‍රණයක් විදියට. නමුත් සද්ධර්මරත්නාවලිය වගෙ පුරාණ පොත්වල නම් නුඹ කියන වචනෙ තමයි බොහො තැන්වල ලියවිලා තියෙන්නෙ. "නුඹ වහන්දෑ" ඕං ඔහොම වචන තියෙනව ඒ පොත්වල. අද වෙද්දි හෙළ බෂ නැත්තටම නැතිවෙලා ගිහින් වගෙම සිංහළ බාෂාවත් අබාවයට යමින් පවතිනව. වෙන්න පොෂ් උන්දැලා ඉංග්‍රිසි අච්චාරු දාපු සිංහළ නොවෑ කතා කරන්නෙ.

                                             අම්මා - අම්මි වෙලා එතකොට අම්මි කියන්නෙ දෙමළෙන් මිරිස් අඹරණ ගලේ තියෙන දරුගළට. ඉස්සර මිරිස් ඇඹරුවේ ගළක, කඩෙන් පැකට් ගෙනාවෙ නෑ හරි. අපේ බාෂාව ලෝකෙන්ම වෙනස්ම බාෂාවක්නෙ ඕනම වචනයක් ලියන්න වගෙම ලියපු වචනෙ ශබ්ද කරන්නත් පුළුවන් අපිට විතර නෙව. ඔය ඈ කාරය කියන ශබ්දය අපේ බාෂාවේ විතරයි තියෙන්නෙ කියලත් පහුගිය දවසක ලිපියක තිබුණා. අපේ රටේ ඇත්තො පිට රටවලට ගියාම වගෙම පිටරටවල ඉන්න ඇත්තන්ගෙ ගෙවල්වල ඇත්තොන්ටත් අමුතු පොෂ්ගතියක් ආවා ඉස්සර. ඒ කියන්නෙ මීට අවුරුදු 10කට 15කට විතර කලින්. විශේෂයෙන්ම ඉතාලිය, සයිප්‍රසය, ඩුබායි ගියපු උන්දැළගෙ මේ ගතිය වැඩි උනා. ඕං ඔහොම අයගෙ ගෙවල්වල ඈයො සමහර වෙලාවක අම්බානයි ටිකයි වෙන්න නා ගතපු අවස්තා නැතුවම නොවෙයි. එක දවසක ඒ වගෙ රට හුළඟ වැදුනු ගෙදරක අක්කෙක් බාත් රූම් එකේ නාන්නෙ නැතුව පොදු ළිඳට ඇවිත් ළමයව නාවලා. ළමයා ළිං පඩියෙ අනත් පැත්තෙන් තියලා පොඩි එකාට කියනව "සුදු පුතා ෂිල්පස් දා ගන්න" පොඩි එකා උඩ බිම බළනව. අපි සහ ළිඳ ළඟ හිටපු එවුන් වටපිට බළනව. සිලීපස් දා ගන්න කියන එක තමා ඒ ගෑණි පොඩි එකාට කියලා තියෙන්නෙ. නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහ ගතපු උන්දැගෙ නමත් ශිල්පස් විදියට රෙජිස්ටර් උනා අන්තිමේ.

                                         manner කියන වචනෙ වෙන්න ඕන අපි මැනර්ස් කියලා සිංහළෙන් කියන්නෙ. ඇත්තටම ඒ වචනෙ තේරුමටද අපි වැඩ කරන්නෙ. ආකාරය, අයුරු, අන්දම, ක්‍රමය.... වගෙ තේරුම් ටිකක් තමා ශබ්දකෝෂය පෙරළුවම හම්බ උනේ නම්. ඔය වගෙම වචනයක් තමයි alert කියන්නෙ "මං පොඩි ඇලට් එකක් දානව" කියලා කණ අද්දර බෝම්බයක් ගැහුව්වත් නැගිටින්නැතිව නිදා ගන්න එක තමා අපි කරන්නෙ. පංච ඉන්ද්‍රයන් අවදිව විමසිල්ලෙන් සිටිමට ඇලර්ට් කියනව කියලා දැන ගත්තම තමා මෙච්චරකල් අපි වචනෙට හාත්පසින්ම වෙනස් වැඩක් කරෙ කියලා දන්නෙ.
                                     මැනර්ස් කියන එක සමහර උන් ළඟ වැඩිපුරත් එක්ක. තව සමහර උන් ළඟ ගාණට. තවත් සමහරක් එවුන් ළඟ ඇත්තෙම නෑ. ඔය විදි 3නෙම එවුන් මයිනගෙ ගැන්සියෙ හිටියා. අපිත් එක්ක එකෙක් හිටියා කෑම දැක්කම මැනර්ස් ඉවරයි, ඌ සමගින් තේ මේසෙකට සෙට් උනාත් අපි බොන්නෙ තේ එක පමණයි. මොකද කැවළි ජාති ඌ අපිටත් එක්කම හරියන්න කනව. ඇත්තම කියනවනං ඌ ටිකක් හැන්ඩියා . මූ ගාල්ලෙ පංති යන කෙල්ලෙක් දැකලා ඒකි පස්සෙන් යන්න පටන් ගත්තා. "මම මචං මෙහෙම එකියක් පස්සෙ යනව ඒකීගෙත් අකමැත්තක් නෑ බං අහන්න ඕනේ" කියාපි. අපේ සත්ගුණවත් සැදැහැවත් සෙට් එක ගිහින් කෙල්ලගෙන් අහලා. කෙල්ල ඉතිං ඇදලා පැදලා ගැස්සිලා කිව්වලු " තව හිතන්න ඕනේ අයියෙ" කියලා. ඕං ඉතිං ඔහොම ගිහින් සතියකට විතර පස්සෙ මයිනගෙ යාළුවෙකුයි ඌගෙ පවුලේ ඈයොයි ත්‍රිවිලර් එකකින් ඇවිත් මුහුදේ නාන්න මයිනට සෙට් උනා. මයිනා ඒ අය එක්ක කතාවේ ඉන්දැද්දි යාළුවගෙ අම්මා මයිනට එහෙ එන්න කියලා වදේ ගහනව. මේ අය මයිනගෙ තාත්තගෙ හොඳම හිතවත් අය බද්දෙගම. ඒ යාළුකම මයිනා සහ සම වයසෙ වෙච්ච කොළුවගෙ අතරෙත් තිබුනා. ඩොංගා කන්න එහෙම හිතුනම මයිනා එහෙ තමා යන්නෙ.

                                                මයිනත් දවස් 2ක 3නකින් ඒ පැත්තට එන පොරොන්දුව පිට ඒ අය යන්න පිටත් වෙද්දි අපේ අපත රැළ වට උනා. "අඩෝ මයිනා ඒ කෙල්ලට තමයි බං අරූ ට්‍රයි කරන්නෙ, තෝ සපෝට් එකක් දීපංකො" කියලා වදේ. එදා හවස කෙල්ලට ට්‍රයි කරන එකත් වඳින්නැතුව විතරයි ඌට සප් එකක් ඉල්ලලා. බැරිම තැන ඊළඟ සිකුරාදා බද්දෙගම යමු කියලා කට්ටියම සෙට් වෙලා මයිනගෙ තාත්තටත් කිව්වා. තාත්තා බ්‍රහස්පතින්දා හැන්දෑවේ ගිහින් මාළු වගයකුයි දැල්ලොයි ගෙනල්ලා ඒවත් හදලා, කරවළ වගයකුත් එක්ක අරගෙන යන්න දුන්නා. මොකද ඒ මිනිස්සු ගියාම තියෙන තරම් සබ්බ සකළමනාවම දීලා තමයි එවන්නෙ. යන්න කලින් පළවෙනියටම අර කබ්බට තේරුම් කරලා දුන්නා "බොළ ගල් ඉබ්බො.... යන්නෙ තෝ නිසාමයි, හැබැයි තෝ අපේ කාඩ් එකයි තොගෙ කාඩ් එකයි දෙකම පරිසම් කර ගනිං" "නැත්තං ලව්ත් ඉවරයි උදව්ත් ඉවරයි" කියලා.

                                                    කට්ටිය 7දෙනෙක් උදේ 9.45ට 10ට විතර ගියා ඒ ගෙදරට. අගෝස්තු මාසේ දවසක් වෙන්න ඕන ගස්වල ඩොංගා පිරිලා තිබුනා. මයිනා දැකපු ගමන් ඔන්න ඒ මිනිස්සුන්ගෙ ලෙංගතුකම වැඩි වෙලා, තේ මේසයක් ලෑස්ති කලා. අග්ගලා වගයකුයි කඩෙන් ගෙනාපු කේක් වගයකුයි එක්ක. අනේ ඉතිං අර කෙල්ලත් දොර රෙද්දට පිටින් ඉඳගෙන බලං ඉන්නව. ගෙදර කොල්ලා "ලැජ්ජ වෙන්න එපා කන්න කන්න, මයිනගෙ ගෙදරයි මෙහෙයි කිසිම වෙනසක් නෑ" කිව්වා. අන්න ඉතිං අර අපතයගෙ අපතගතිය පැන්නා එළියට. අග්ගළ 4යි කේක් කෑළි දෙකයි ගියපු අනිත් එවුන් එකාට එකා මූණ බලං නිකං හිටියා. තේ බීමෙන් පස්සෙ අම්මයි තාත්තයි ලොකු දුවයි උයන්න සෙට් වෙනව. "පුතේ දවල්ට කෑම ටිකක් නොකා නං යන්න එපා හොඳේ" කියලා ඒ මිනිස්සු ආගන්තුක සත්කාරෙට ලේස්ති වෙනව. අර කෙල්ලයි මයිනගෙ යාළුවයි "යං වත්ත පහළට"| කියලා කට්ටි එක්ක වත්තට ගියා. මුළින්ම ඩොංගා කඩන්න. අර අපතයා ඩොංගා ගෙඩි 10ක් විතර කෑවා. කෙල්ල බලං ඉන්නව, ඊළඟට පැණි නාරං ගස් 4ක් 5ක් තිබුනා ඒවගෙන් ගෙඩි කඩනව. අරූ ඒවත් 4ක් 5ක් කෑවා. අර කෙල්ලත් හොඳට මීටර් කරගෙන ඉන්නෙ. මූ කෙල්ල ඉන්න කිට්ටුව පාත ඉඳගෙන ඉන්න නිසා මොනවත් කියන්නත් බෑ. අනිත් එවුන්ට උපරිම මළ ඒ වෙද්දි. වත්ත පහළ තිබුනු මඤ්ඤොක් වගෙකුත් ගළවගෙන කට්ටියම ආවා ගෙදරට. එද්දි ඒ අම්මා දොඩම්වගයක් මිරිකලා ඒකත් අර අපතයා වීදුරු 2කක්ම ගැහුව්වා.
                                                              දවල් කෑම වෙලාවත් ආවා අනිත් එවුං සුළු වශයෙන් බත් බෙදා ගත්තා. මයිනා ඉතාම සුළු වශයෙන් පිඟානට කෑම දා ගත්තා. මොකද ඒ ගෙදර හදනව කිරි මාරම රසයි. කෑමෙන් පසු කිරි කන්න හිතාගෙන මයිනා එහෙම කලේ. අනේ ඉතිං ගෙදර මිනිස්සුත් මූණට මූණ බළා ගන්න උනා අරූගෙ කෑමට. 3වෙනි පාරටත් අරූ කෑවට පස්සෙ කට්ටියගෙම සායම හේදිලා ඉවරයි. අර කෙල්ල නිකං හොල්මන් වෙලා බලන් ඉන්නව. කෑමෙන් පසු බළාපොරොත්තු උනු විදියටම කිරි. අනේ දෙවියන්ගෙම පිහිටයි අනිත් අය මැනස් හොයද්දි අරූ කිරි හට්ටියක්ම තනියෙන් වග කියාපි. ඊට පස්සෙ මයිනා සහ ගෙදර පිරිස ආගිය තොරතුරු සහ අම්මා තාත්තා ගැන විස්තර එහෙම කතා කරනව. සීනිගම දේවාලේ උත්සවය දවසට එන බවත් ඒ දවසට මයිනලගෙ ගෙදරට එන බවත් මයිනගෙ තාත්තට කියන්න කිව්වා. මයිනා සාලේ කතා කරන අතරේ අරූ ස්තොප්පුවෙ පුටුවක දිගා වෙලා "ඕ...හ්...ග්" ගාලා ගුඩුස් යවනව. ගියපු අනිත් එවුන්ට මූව මරං කන්න තරහයි. සියල්ල අවසන සමු ගැනිමේ වෙලාව. ගෙදර මිනිස්සු ඩොංගයි, මඤ්ඤොක්කයි, කිරි වගේකුයි නාරං වගයකුයි දුන්නා මයිනගෙ තාත්තට අරන් යන්න. ඔන්න දැං අර අපතයා ෂේප් එකේ ළඟට ඇවිත් මයිනට කියනව "මේ අරකිගෙන් අහපංකෝ" කියලා. මයිනට ඉතිං කොහොමද මළ "මට කියලා මෙතන #කව ගන්නැතුව යමං තෝ" කියලා මයිනා එනවා පාරට එන්න. ගෙදර කොල්ලා අනිත් සෙට් එකත් එක්ක ඉස්සරහ මයිනා ගෙදර කෙල්ල එක්ක ටිකක් පහු උනා.

"නංගි ඔයා අරූව දන්නවද"
"ගාල්ලෙදි මගෙ පස්සෙන් එනව අයියෙ එක පාරක් මගෙන් යාළු වෙන්නත් ඇහුව්වා"
"ඔයා මොකද කිව්වෙ"
"මං පස්සෙ කියන්නං කිව්වා"
"දැං මොකද කියන්නෙ එතකොට"
"හපෝ අයියෙ මේ ලංකාවෙම කොල්ලො නැතුව එකම එකා ඌ උනත් මම යාළු වෙන්නෙ නෑ, ඌට මැනර්ස් කියලා කිසිම දෙයක් නෑ නේ"
"එහෙනං කමක් නෑ නගෙ මූ හෙණම අපතයා ඊළඟ දවසේ ආවොත් එහෙම බණින්න. ඔයාට මොනවහරි කිව්වොත් මට කියන්න මම බලා ගන්නං හොඳේ"
"හරි අයියෙ"
                                         ඉන් පසු ඌගෙ ලව් එකත් ඉවරයි, කිසිම දවසක ඌ සමග පිට තැනකට නම් ගියේ නැත. හැබැයි ආරංචියේ හැටියට නම් අද මේ වනතුරුත් ඌ කෑමට නම් ඉදිරියෙන්ම බව දැන ගන්නට ලැබුනි. බොළගෙ මැනර්ස් එහෙම පරිසං කර ගනිල්ලා හොඳේ........ එන්නං ඈ.....
___මයිනා____

1 comment: