Monday 7 May 2018

තොටගමුවේ කථා - 3

විදාගම හාමුදුරුවො පන්සලේ නොහිටි අල්ල පනල්ලේ රාහුල හාමුදුරුවෝ සරස්වතී තෛලය බෝතලයම බීලා සිහි නැතිවුණා.. සැළලිහිනියගෙන් පණිවිඩේ දැනගත් ගමන් එන්න පිටත්වෙලා මග  දිගට වීදාගම හිමියන් දුන් අරංචියත් එක්ක පන්සලට ආපු කිරි මවුවරු පන්සලෙ තිබුනු ඔරුවකට තමන්ගෙ කිරි දාල පිරෙව්වලු (ඒ කිරි දැමු ඔරුව අදටත් දැක ගත හැකිය). මව්කිරි පිරුණු ඔරුවට අනිකුත් බෙහෙත් ද්‍රව්‍ය  දාලා තොටගමුවෙ රාහුළ හමුදුරුවන්ව ඒ බෙහෙත් ඔරුවට දැම්මලු හිස විතරක් එළියට හිටින විදියට. මේ බෙහෙත් ඔරුවට දැමු රාහුළ හිමියන්ට සිහිය ආවෙ මාසයකට පස්සෙ කියලා කියනවා. 
මාසයකට පස්සෙ සිහිය ලබපු රාහුළ හිමියො තමන් වහන්සෙ කියවපු සියළුම පොත්වල තිබු දේවල් කියාගෙනලු නැගිට්ටෙ. ඒ අතර ගාථා 1600ක් පමණ, ශ්ලෝක 500ක්, එවකට විජයබා පිරිවෙණෙහි තිබු මන්තර පොත්, වෙද පොත් ආදි සියළු විෂයනට අඩංගු දෑ තිබුනලු. එදා ඉඳන් බුදු දහම ඇතුළු විජයබා පිරිවෙණෙහි තිබුණු සියළුම පුස්ථකයන් කියවන්න ගත්ත රාහුළ හිමිට ඕනෑම දෙයක් දෙවරක් ඇසීමෙන් හෝ  කියවිමෙන් මතක තිබුනලු. හෙළ භාෂා, සංස්කෘත, පාළි, දෙමළ, හින්දි, මළයාලම් ඇතුළු බොහෝ භාෂා කතා කිරිමෙහි වගෙම ලිවිමෙත් දක්ෂයෙක් උනාලු. 
දැන් මේ රාහුළ ගෝළ හිමිත් වීදාගම ගුරු හිමියොත් අතර පුංචි තරඟයක් වගේලු. දෙන්නම හරි හරියට පොත් ලියනවා, අත්හදා බැලිම් කරනවා. විශේෂයෙන්ම හෙළ බසින් මන්ත්‍ර නිර්මාණයත්, පුරාණ වෛද්‍ය ග්‍රන්ථ සරල බසින් ලිවිමත් සිදු වෙලා තියෙනවා.


එක දවසක් වීදාගම හිමි කිව්වලු "හෙට හොඳ නැකතක් තියෙනවා ඒ නැකතට පොල් පැළ දෙකක් හිටවමු, බලන්න බැරියෑ කවුද නැකත හරියටම ගන්නෙ" කියලා. පසු දින පාන්දරම උදළු දෙකකුත් අරන් දෙන්නත් එක්කම වළවල් දෙකක් එහෙම කපලා පොල් පැළ දෙකත් සුදානම් කරගෙන හිටියලු. අදාල නැකත් වෙලාව එළඹෙනකොට ගුරු හාමුදුරුවො උස්සගෙන හිටපු පොල් පැලේ වළට දැම්මලු, රාහුළ හිමි වලේ ගැට්ටෙන් කකුල තියලා කකුල උඩින් පොල් පැලේ තියන් ඉඳලා නැකත් වෙලාව එළඹෙනවත් එක්කම කකුල පස්සට ඇද්දලු පොල් පැලේ වලට වැටෙන්න. 

පොල් පැල හිටවලා අවුරුද්දක් වීතර යද්දි ගුරු හමුදුරුවන්ගෙ පොල් ගහ හැදිලා ගහේ කඳ එහෙම බේරිලා උසට හැදුනලු. රාහුල හිමියන්ගෙ ගහේ  කඳක් පේන්න නෑලු, පොළොවෙන් උඩට ආපු අතු විතරයි තියෙන්නෙ. ගුරු හිමි හැමදාම තමන්ගෙ පොල් පැලෙට සාත්තු සප්පායම් කරලා, ගෝලයගෙ ගහ දිහා බලලා හිනාවෙලා එනවලු. 

ඔන්න දැන් ගුරු හමුදුරුවන්ගෙ ගහේ ගෙඩි ඇවිත්.. කඩන්න කාලෙ හරි. කෙක්කක් එහෙම සුදානම් කරගෙන ගුරු හමුදුරුවො රාහුළ හිමිට කිව්වලු "රාහුලේ මම නම් කඩන්නයි හදන්නෙ" කිව්වළු. 
"හොඳමයි නායක හමුදුරුවනේ, මම හාරන්නයි හදන්නෙ" කිව්වලු. ගුරු හාමුදුරුවො කෙක්කෙන් පොල් කඩද්දි රාහුළ හමුදුරුවො උදැල්ලකින් ගහ වටේ හාරන්න ගත්තලු. පුදුමෙනුත් පුදුමයි! මෙන්න පස් වලට වැහිල තිබුනු පොල් වලු මතු වෙන්න ගත්තලු. 
මේ විදියට තොටගමුවෙ ශ්‍රී රාහුල හිමි අරුම පුදුම දේ කරා කියලා ජන ප්‍රවාදේ සඳහන් වෙනවා.

මීට අවුරුදු 20කට විතර ඉස්සර දැනට තෙල්වත්ත ලෙස හඳුන්වන ගමේ හිටපු පිරිසක් ගිහින් තියෙනවා සරස්වති තෛලය ගන්න කියලා මහරෑ පන්සලෙ බුදු ගේ ඇතුලට. ගියපු පිරිසට බුදු ගේ පුරාම හිටි නයි නිසා පැනලා දුවන්න උනාලු. 
මෑත කාලයක් වෙනතුරුත් මේ පන්සල් භූමියෙ අද්භුත දේවල් සිද්ද උනා කියල ගමේ අය කියනවා.

කණගාටුවට කරුණ නම් අද මේ ගම් විනාශයට පත් වෙලා තිබිමයි. මත් කුඩු, මත්පැන් වගෙම පාතාල කල්ලි අතර ගැටුම් නිසා මේ ගම්වල තත්වය ඉතාම ශෝචනියයි.

___මයිනා___

5 comments: