Wednesday 27 June 2018

හිත් සවි නැත්තන්ගේ පෙමක්..

කර්මය... සිංහළ අපේ කටේ කොයි දේටත් එළියට පනින අපූරුම වචනය. සත්වයා කර්මය දායාද කර ගනිමින්ම උත්පත්තිය ලබනවා කියලයි දේශනාවෙ තියෙන්නෙ. හැබැයි ඉතිං කරුමේ කියාගෙන ඉන්නෙ නැතුව අළස නොවි, කල්පනාවෙන් උත්සාහ කරොත් ජිවිතේ දිනන්න පුලුවන් බව බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. 

කාලෙකට ඉස්සර මයිනා ගමෙන් පිටමං වෙලා සංචාරක ජීවිතයක් ගත කලා. ඒ සංචාරක ජීවිතේ ඇතුලෙ හමු වු පුද්ගළ චරිත විවිධයි. ඔවුන් තුළ සැඟවුනු කතා... ඔවුන් ඇසු දෑ දුටු දෑ.. එවත් හරිම පුදුමයි. 

මයිනට යාළුවෙක් හිටියා පොල්ගහවෙල පැත්තෙ. දවසක් ඒ යාළුවා එක්ක මයිනා කෝච්චියෙ යද්දි මීරිගම පහු කරලා ටික දුරක් යද්දි යාළුවා මයිනට කිව්වා මචෝ මෙතනදි මගෙ යාළුවෙක් කෝච්චියට පැනලා මැරුණා කියලා. ඒ කතාව මයිනා යාළුවගෙන ඇහුව්වා. මගෙ යාළුවා කිව්ව කතාව තමයි මේ. 
මගෙ යාළුවගෙ යාළුවා යාළුවෙලා හිටියා කෙල්ලෙක් එක්ක. කෙල්ල ගිරිඋල්ල පැත්තෙ. යාළුවගෙ නම නිමල් කියමුකෝ. නිමල්ගෙයි ඇයගෙයි ආදර කතාව අවුරැදු 4ක් පරණයි. කෙල්ල සා.පෙළ කරන කාලේ තමයි නිමල් එක්ක යාළු උනේ. බොළඳ පෙම්වතුන් විදියට පටන් ගත්තු මේ ආදරෙ දවසින් දවස දළු ලා වැඩිලා අන්තිමට මේ දෙන්නගෙ සම්බන්දෙ ගෙදරට ආරංචි උනා. එතන ඉදං ගැහැණු ළමයට දහසක් තහංචි වැටුනා. උසස් පෙළ කරාට පස්සෙ දෙන්නට මුණගැහෙන්න තිබුනු අවස්තාව තවත් ඇහිරුනා. 
නිමල්ට ජොබ් එකක් නොමැති වීම මේ දෙන්නට තිබුනු ලොකුම බාධාවක් උනා. නිමල් තීරණය කලා හමුදාවට බැඳෙන්න. යුධ හමුදා පුහුණුව ලබමින් නිමල් යුධ සෙබළෙක් වෙද්දි ඇය උ.පෙළ ප්‍රථිඵළ වලින් පස්සෙ පෞද්ගළික ආයතනයක සේවයට එක් උනා. 

කාළය ගෙවිලා යද්දි නිමල් නිවාඩුවට ආවම ඇය මුණ ගැසුනා. ඒත් නිමල්ට ඇය ගැන සැකයක් තිබුනා. ඒ දැන් ඇය රැකියාවක් කරන නිසා ඇය වෙන කෙනෙක් සමග සම්බන්ධයක් ඇති කර ගනී කියලා. 
එක දවසක නිවාඩු ආපු නිමල් ඇයව එක්ක ගියෙ නිට්ටඹුව පැත්තෙ හොටෙල් එකකට. එදා ඇය ඔහු නිසා ගැහැණියක් බවට පත් උනා. නිමල්ගෙ පපුවට තුරැළු වෙලා ඇය කඳුළු මුදා හරිද්දි නිමල් කිව්වෙ දැන් මේ ලෝකේ කාටවත්ම ඔයාව මගෙන් උදුර ගන්න බෑ කියලා. 
නැවත කඳවුරට ගියපු නිමල්ව උතුරු නැගෙනහිර සටන් පෙරමුණට යැවිමට ඉහළ නිළධාරින් යෝජනා කරලා තිබුනා. සටන් පෙරමුණට ගියපු නිමල්ට එක දිගටම සටන් බිමේ ඉන්න සිද්ද උනා. 

නිමල්ගෙ අතින් ගැහැණියක් උනු ඇය මවක් වීමේ ලකුණු පහළ වෙමින් තිබුනා. තව දුරටත් මෙය සඟවන්නට නොහැකි තැනට කරුණු කාරනා සිද්ධ වෙද්දි ඇයගෙ තාත්තා ඇයව ගෙදරින් එළවලා දැම්මා. නිමල්ට මේ විස්තරයක් දැනුම් දෙන්න ක්‍රමයක් ඇයට තිබුනෙ නෑ. අද වගෙ සන්නිවේදන පහසුකම් නොතිබුනු අනුව දශකය මැද ඇය තවත් අසරණ උනා. නිමල්ගෙ ගෙදර ගැන නිමල්ගෙන් අහපු විස්තර විතරක් දැනගෙන හිටපු ඇය නිමල්ගෙ ගෙදරට ගියා. තමන්ගෙ පුතා කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තිබුනු බව දැනන් හිටියත් ඇය කවුද කියලා හරියටම නොදන්න ඒ ගෙදර අයත් ඇයට කිව්වෙ ඔයා ගෙදර යන්න පුතා ආවම අපි මේ ගැන කතා කරමු කියලයි. නැවත ගෙදරට ආපු ඇයට තාත්තා ගහලා පන්න ගත්තා. 

පාර දිගෙ අරමුණක් නැතිව ඇවිදගෙන ආපු ඇය රේල් පාරට ගොඩ උනා. කොළඹ පැත්තෙ ඉඳලා වේගෙන් ආපු යකඩ යකාට තමන්ගෙ ජීවිතයත් මෙලොව එළිය නොදුටු තමන්ගෙ කුසේ මෝරණ දරුගැබටත් ඒ අවසන් විනාඩිය බව පසක් කරමින් ඇය රත් උනු යකඩ පීල්ලට තමන්ගෙ ගෙළ පුජා කලා.



හඬන වැළපෙන දෙමව්පියන්ගෙත්, අඳෝනා නගන සහෝදර සහොදරියන්ගෙත් ගම්වාසින්ගෙ සෝ සුසුම් මැද්දෙනුත් ඇය අවසන් ගමන් ගියා. 

මාස තුනහමාරකට පස්සෙ නිමල්ට නිවාඩු ලැබිලා එද්දි ඔහුට ලෝකෙ ඔහු සතු ආදරණීයම වස්තුව අහිමි වෙලා ඉවරයි. තමන් නිසා ඇයට සිදු උනේ වරදක් කියන හැඟිමෙන් ඔහු බොහෝ පීඩාවට පත් උනා. වරදකාරි හැඟිමෙන් ඇය ගිය රේල් පාර දිගෙම ඇවිදන් ආපු ඔහු තමන්ගෙ ජීවිතයත් යකඩ යකාට බාර දුන්නෙ ඇය ඉන්න ලෝකෙකට යන්න වෙන් ඇති. 

ඉතිං ඇත්තටම ප්‍රේමය මේ සා කුරිරුද?  මේ  කර්මය ද? මයිනා දුම්රිය කව්ළුවෙන් ඈත බලාගෙන හිතුවා.

3 comments:

  1. දෙමව්පියො හරි විදියට සිද්ධිය කළමනාකරණය නොකරන එක තමයි ඔතන ප්‍රධාන වැරැද්ද. යමක් උනාට පස්සෙ අඬල වැලපෙනවට වැඩිය මුල් අවස්ථාවෙ සිහියෙන් වැඩ කළානං දෙන්නම අද හොඳ ජීවිතයක් ගත කරන්න තිබ්බ.

    ReplyDelete
  2. මහ අපරාදයක්නේ මේක

    ReplyDelete