Tuesday 16 April 2019

මයිනාගෙ කතා..... 44 Desert Heat...

මයිනාගෙ කතා..... (44).... Desert Heat...

                               මයිනා වැඩිපුරම කැමති ක්‍රියාදම චිත්‍රපටි එහෙමත් නැත්තං ඇක්ෂන් මූවි බලන්න. ෆයිට් එකක් ගහගන්නවා නම් ඉතිං භාශාව මොක... උනත් කටත් ඇරං බලං ඉන්න තමයි තියෙන්නෙ, මයිනා එහෙමයි. ඒ කාලේ තිබුනු සියලුම හින්දි සහ දෙමළ චිත්‍රපටි මයිනා බලලා තියෙනවා. ඒ දවස්වල තිබුනු වීඩියො කැසට් රුපියල් 20ක් සහ ජාතික හැඳුනුම්පත ඇපයට තබා රැගෙන ඒම මයිනා ගජරාමෙට කරා. හික්කඩුව බද්දෙගම පාරේ තිබුනු "සත්සර රෙකෝඩ් බාර්" එකේ පොරයි මයිනගෙ මස්සිනයි වැළිකෙලියෙ පටන් දන්න එවුන් හින්දා හැඳුනුම්පත හෝ මුදල් නැතුව වීඩියෝ පීස් එහෙම නැත්තං ඩෙක්පීස් එකක් ගන්න මයිනට පුළුවංකම තිබුනා.. ඒ කාලේ මයිනගෙ වීරයා උනේ වෑන් ඩෑම්, ජැකී චෑන් වගෙ පොරවල් ඒ වගෙම තමයි බෲස් ලී ගෙ සියලුම ෆිල්ම් බලනවා. එදා අද කියලා වෙනසක් නෑ මේ වෙද්දිත් එහෙමයි.




                  ඉංග්ලිෂ් ෆිල්ම් වැඩිය රූපවාහිනියෙ පෙන්නුවේ නෑ මොකද ඒ වගෙ "අර අර වගේ" කෑලි තිබුනු හින්දා. හින්දි දෙමළ තමා තරඟෙට පෙන්නුවෙ. කාලේ වෙනස් වෙලා තාලේ අළුත් වෙලා තෙළිඟු සහ කණ්ණඩා චිත්‍රපටි කරළියට ආවම ඉතිං ඒවා තමා බලන්නේ. රවි තේජා, ප්‍රභාෂ්, අල්ලු අර්ජුන්, NTR, මහෙෂ් බාබු වගේ පොරවල්ලා හැටකට විතර එක පංච් එහෙකින් දෙනකොට පුටුව උඩ ඉන්න මයිනා පොපියනවා.. එච්චරද කියන්නෙ හොටෙල් රූම් එකෙන් චෙක් අවුට් වෙන්න තියෙන වෙලාවත් පැනලා ෆිල්ම් එකක් බැළුවා කියාංකො.... 😂😂😂😂😂.

දෙමළ, තෙළිඟු සහ කණ්ණඩා සිනමාව මයිනාව ආක්‍රමණය කල නිසා මයිනට ඉංග්‍රිසි ඒවා බැලීම මඟ හැරුනා.

                                                ඩෙක් පීස් තියෙන කාලේ ඩෙක් පීස් එකකුත් අරං ඩෙක් එකක් තියෙන ගෙදරකට ගිහින් එවුංගෙ සියළු ආඩම්බර බලලා ඩෙක් පිස් බලපු චාටර් අතීතයක සාඩම්බර උරුමක්කාරයො අපි. මයිනලගෙ ගෙදර ටී.වි. ඩෙක් නොතිබුනු ඒ කාලේ සමහර යාළුවන්ගෙ ගෙදරවලට තමා ඉතිං සෙට් උනේ විඩියො පීස් එහෙම අරගෙන. හම්මා ඉතිං එහෙම ඩෙක් තිබුනු ගෙවල්වල එවුන්ගෙ තිබුනු රැස්..... ඒ රැස් පන්සල් වලින්වත් විහිදුනේ නෑ.. සමහර යාළුවො හිටියා ඉතිං උන්ගෙ ගෙවල් වල තිබුනු ඩෙක් දඩාවතේ යන බල්ලො වගේ කාගෙ හරි ගෙදරක තමා වැඩිපුර කාලේ ගෙව්වේ...

                              ඩෙක් පීස් කාලේ ඉවර වෙලා VCD ආවා. ඕං ඔය කාලේ ගම කාලා, කාලේ කාලා,මස්තෙ ගහලා,තව ටික දවසක් හිටියොත්  මූ හින්දා බන්ධනාගාර විසිට් එකට බත් තම්බන්න වෙන සයිස් එකක් තියෙ කියලා හිතපු ගෙදර එවුං මයිනාව රට පැටෙව්වා. මයිනා ඉතින් රට ඇවිත් ෆන් එකේ ඉඳලා ලංකාවට යද්දි ගත්තා පට්ට DVD ප්ලෙයර් එකක්. බෆල් 14ක් එක්ක උපරිම සද්දෙ අම්මා ගහයි බැට් එකෙන්! ටයිප් එකේ මරු භාන්ඩේ "දෙන්නං ගම හෙලවෙන්න" කියලා හිතන් රටින්ම ගත්තා හින්දි ෆිල්ම්, හින්දි සින්දු ඇල්බම් එහෙම.

                                            මයිනා ලංකාවට ගොඩ බැහැලා ඉතින් කොළොම්පුරේ යාලු තදයෙක් මුළිච්චි වෙන්න ගියාම "යමං කොල්ලා මගෙත් එක්ක" කියලා මයිනත් එක්ක ආවා කොළඹ නව නගර ශාලාවේ තිබුනු මීටිමකට. තෝරු මෝරු අස්සෙ මයිනා මොනව කරන්නද ඉතිං "සර් ඇතුළට ගිහිල්ලා එන්න" කියලා මයිනා එතන තිබුනු ෂොප්වලට රිංගලා බල බල හිටියා. එතන ඒ දවස්වල තිබුනා "M එන්ටර්ටේන්මන්" ලගෙ CD ෂොප් එකක්. මයිනා මේ අස්සට රිංගුවාම මයිනා කැමතිම ඉන්ග්ලිෂ් ඇක්ෂන් ෆිල්ම් සේල් එකක්, මයිනා ඉතින් ඕ ඔය අස්සෙන් DVD 15ක් විතර තෝරගෙන අරන් ආවා නිකං ඉන්න වෙලාවට බලන්න.

මයිනට ඇස්වහ කටවහ වදිවි කියලා අම්මා නොවෙයි මයිනට ගෙයින් එළියට බහින්න දුන්නෙ. අනිත් ප්‍රශ්නේ උනේ ඒ වෙද්දි ගමේම දෙපිරිසක් "ගිණි අවි සහ ගිණි කෙළි" සජිවි ලෙස රඟ දක්වමින් සිටීම. මයිනත් රට යන්න කලින් මේ එක පිලක් නියොජනය කිරිමත් ඒ වෙද්දි එක අතිජාති මිත්‍රයෙක් වැළිගම්පිටි ගිහින් හිටපු නිසත් රංජනී මව්තුමිය ටිකක් බයෙන් හිටියේ. උදේට ඉතිං ඔය ගමේ සහ අවට ගම්වල මිත්‍රයො එහෙම ඇවිත් මයිනා සමග සතුටු සාමීචියෙ යෙදිලා ඉන්නවා.


එදත් ඉතිං ගමේ යාළුවො පිරිසක් ඇවිත් මයිනා කයියකට සෙට් වෙන්න සුදානම. ඔය උස්සං එන ගොඩක් ෆිල්ම් පියාණන්වහන්සේට පෙන්වා සතුටු විමේ පොඩි මේවා එකක් මයිනා ළඟ තිබුනා. එදත් වෙනදා පුරුද්දට අළුතින් ගෙනාපු DVD ගොඩෙන් එකක් අරං "තාත්තෙ මේ ෂෝ එක බලන්නො, කොල්ලො ටික ඇවිත් මම උන්ට කතා කරලා එන්නං"කියාගෙන එළියට ආවා.

                                  එළියෙ කොල්ලො සෙට් එක එක්ක මයිනා පට්ට කයියක, පියාණෝ කට ඇරං වෑන් ඩෑම්ගෙ "Desert Heat" බලනව, මව් දේවිය කුස්සිපාර්ටියෙ. ඕං ඔහොම කාලය ගෙවිලා යද්දි එක සැරේම බෝම්බයක් පුපුරපි!

"දඩෝං!" "පටෝං!" "මේ නාකි මිනහත් කට ඇරං බලං ඉන්නව, අර වල් බල්ලා හිටපිය තොට $-$*-$%$#&&-==*$##&%*& "

"මොකෝ නැන්දෙ?"

"මේ කාළකණ්නියා මේ නාකි මිනහට වල් චිත්‍රපටි දාලා දීලා, වල් බල්ලා තෝ රට ගිහිල්ලත් හැදිලා නෑ &*&$-%$--$$&--$##%$%$*-/"

                                     කොසු පාරක් ඔලුවට පත බෑ උනා අනේ ඉතිං ගෙදරට ඇවිත් හිටපු යාළුවො පැනලා බේර ගත්තෙ නැත්තං ඉතිං මයිනා ඉස්පිරිතාලේ තමා! මයිනයි ආපු අපතයොයි ගෙට ගිහින් බලද්දි DVD ප්ලේයර් තියෙනවා කෑළි හතරක් පහක් එළියට පැනලා! ඒක අරන් ඇන ටික ගලවලා DVD එක පන්නලා අරන් ගිහින් වෙන එකෙකුගෙ ගෙදර ප්ලේයර් එකකට දාලා බැලුවා. යකෝ මේකේ එක තැනක තියෙනව නෙවෙන්නං වැන් ඩෑම් යට, ඇඳුම් නැතුව එකියක් උඩ නැගගෙන වැඩ! යකෝ ඉතිං කොසුපාරක් නොදි ඉඳියෑ ඒ කරපු අමන වැඩෙට... පුතණ්ඩිය තාත්තට අරම ඒවා පෙන්නුවට.. ඊට පස්සෙ ඉතිං තාත්තට සිංහළ සහ හින්දි ෆිල්ම් එහෙකට එහා නම් මයිනා පෙන්නුවෙ නෑ...

මැදෑ වෙච්ච වැඩේ චිත්‍රපටි පෙන්නන්න ගිහින්. එන්නං ඈ.......

Deasert Heat පට්ට ෆිල්ම් එක ඉඩක් තිබුනොත් බලපල්ලා..
___මයිනා____

2 comments:

  1. එළ ඈ... :-) ටිකක් සද්දෙන් හිනා වුනා..තව ටිකෙන් මයිනගේ පිය රජානෝත් වීසා කැන්සල් කර ගන්නවා...

    ReplyDelete
  2. //"මේ කාළකණ්නියා මේ නාකි මිනහට වල් චිත්‍රපටි දාලා දීලා, වල් බල්ලා තෝ රට ගිහිල්ලත් හැදිලා නෑ &*&$-%$--$$&--$##%$%$*-// මේ ටික කියවලා ඇස් දෙකෙන් කඳුළු පනිනකම් හිනා වුනා… :D

    ReplyDelete