Wednesday 17 April 2019

මයිනාගෙ කතා....45... පැණි පොල්.


මයිනාගෙ කතා....45... පැණි පොල්.. 


                                      පැණි... මල් පැණිවලින් පටන් අරන් පොල්, කිතුල් සහ මී පැණි වල ඉඳලා තවත් බොහොමයක් පැණි වර්ග තියෙනවා නෙව. සමහර ඈයොන්ට පැණියා කියල නමුත් දාලා තියෙන්නෙ උංගෙ ක්‍රියාකාරකම් නිසා වෙන්න ඇති. පැණිපොල් හදන්නෙ නං සීනි උනු කරලා පොල් එකට කවලම් කරලනේ. ලංකාවේ කැස්ස පැණියක් තහනම් කරලම දැම්මානේ අපේ හාදයන්ගෙන් බේර ගන්න බැරුව. සමහර ඈයෝ ත්‍රයිලෝකවිජයප‍ත්‍ර මාත්‍රාව යහමින් අරං වැඩි සීනි ප්ලෙන්ටියක් ගහනවා නෙව "කික්" එක හරියටම එන්න කියලා.

                                     මයිනා වැඩිපුරම ආශ කිතුල් පැණිවලට. මී කිරි හට්ටියකට යහමින් කිතුල් පැණි දා ගත්තා කියන්නෙ මරුම තමා! අනික තමයි මල් පැණි කිතුල් සහ පොල් ගස්වල මල තලලා ගන්න පැණි. පොල් මලේ පැණි බොනව නං උදේම තනි මලේ බඩු අරන් බොන්න ඕනේ. ඒකේ කික් එකත් දවල් වෙන්න වෙන්න තමා එන්නෙ. හැබැයි ඉතිං ඔය මල් පැණි දෙවර්ගයම ටික කලක් පාවිච්චි කරද්දි අඩුවක් නැතුව බඩගෙඩිය නම් ලොකු වෙලා එනවා
.
"මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ..
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ"
සුනිල් එදිරිසිංහ මහත්තයා පැණි පෙරන ඈයෝ ගැන හරි අපුරුවට ගායනා කරද්දි ඔය සිංදුව ලිව්ව සපුතන්ත්‍රි මහත්තයා දැකපු අතුරෙ කඳුළු කතාවක ඇත්ත සිද්දියක්ය කියනවනේ.

                              කියන්නම ඕන කතාව තමා මයිනත් ගෙදරට හොරෙන් පොල් ගහක මලක් තැලුවා යාළුවෙකුගෙ ගෙදර, හැබැයි අපි හිතපු තරං පැණි ආවේ නැති නිසා වැඩේ අතෑරියා. ඒ මල්පැණි පෙරන විශාරදයෙක් නම් කිව්වෙ "කොල්ලො මළ හෙල්ලිලා" කියලයි. ඒ කතාව පස්සෙ කියමුකො හා ද.

                                          පහුගිය දවසක මුහුණු පොතේ තිබුනා ලංකාවේ රොෂාන් ලියනගෙ කියන විද්‍යාඥයන් ගැන අපුරු ලිපියක්. දැනට ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්න ප්‍රෝටීන විශ්ලේෂනය පිළිබඳව ලෝකයෙම ගෞරවයට පාත්‍ර වෙච්ච සහ පිළිකා, පාකින්සන් රෝග වෙනුවෙන් ඖෂධ නිපදවන විද්‍යාඥයන් සමග එක්ව කටයුතු කරන කෙනෙක්. එතුමගෙ අතීත මතක ගැන කියද්දි බේකරියෙ වැඩ කරලා පාසල් ගිය හැටි සහ තමන් අධ්‍යාපනය වෙනුවෙන් කැප උනු හැටිත් කියලා තිබුනා. එතුමාගෙ ගම් පළාත සහ මයිනගෙ ගමපලාතත් එකම කිට්ටුව තිබුනෙ. එතුමගෙ නම රොෂාන් උනාට හැම කෙනෙක්ම දන්නෙ මංගළ කිව්වම.

                                       මංගළලගෙ බේකරිය තිබුනේ කළුපේ උඩුමුල්ල පාරෙ, කළුපේ හංදියෙන් හැරිලා මිටර් 200ක් විතර ගියපු තැන තිබුනු ගෙදරක තමයි පදිංචි වෙලා හිටියෙ. කළුපේ ඉඳලා මංගළගෙ නංගිලා දෙන්නම ස්කොලේ ගියෙත්. මතක විදියට ලොකු නංගිගෙ නම "යුරේඛා"  ඔය නම හොඳටම මතක තිබුනේ ආකිමිඩිස් හිංදා.. අර හෙළුවෙන් පාරේ දිව්වේ එයාගෙ ප්‍රමාණයට සමාන ජළ පරිමාවක් ටැංකියෙන් පිටට ගියා කියලා සතුටට කෑ ගගහා යුරේඛා..... යුරේඛා... කිය කිය. 
                               ඔය යුරේඛා නම් පට්ටම අහිංසකයි හැබැයි යුරේඛගෙ නංගි ටිකක් සැරයි.
යුරේඛලගෙ බේකරියට ජෑම් පාන්වලට, මාළු පාන්වලට උවමනා කරන කරි එතකොට පොල් එහෙම ගෙදරින් තමා හදාගෙන අරන් යන්නෙ. මයිනා එතකොට ස්කෝලෙ 9 වසරෙ වගෙ මතක විදියට.. යුරේඛත් මයිනගෙ සම වයසෙ. දවසක් නසරාණි මයිනයි ඌගෙ මදාවි මල්ලියි කළුපේ පාරෙන් උඩුමුල්ල දිහාවට ගිහින් එද්දි යුරේකයි නංගියි ෂොපින් බෑග් එකක පොල් වගෙකුත් දාගෙන යනව බේකරිය පැත්තට. ඒක දැකපු මයිනගෙ මල්ලි



"මොනවැයි බං අරුං දෙන්නා අර බෑග් එකේ දාං යන්නෙ" අහපි. මයිනගෙ හැකර කටට බ්‍රේක් නැතුව ගියා.

"ගෙදර ඉතිරි වෙච්ච පොල් කුඩු අරං යනව බං ජෑම්පාස් වලට දාන්න" කිව්වා. ඒ කියපු නස්කූණි නසරාණි කතාව ඇහුනා කෙල්ලො දෙන්නට. යුරේඛා නං ඇස්දෙකේ කඳුළු පුරවන් එහෙම ගියා. නංගි නැවතිලා කියාපි

 "
හිටපංකො මම මද්දු මාමාට කියන්නං"කියලා. දැං ඉතිං චන්ඩියා වගේ කිව්වට මොකෑ ගෙදරට ආරංචි උනා නං කෑම ටික රියල් එකටම ලැබෙනව කියලා දන්නවා. එදා දවස ගෙවි ගියා, පහුවදා දවල් 10ට විතර තාත්තා කතා කරා,

"මෙහාට වරෙල්ලා දෙන්නම"
බඩු හරි වගේ.. ගියා තාත්තා ළඟට.

"මොකද තොපි දෙන්නා අර ජිනේගෙ කෙල්ලො දෙන්නා අරං ගියපු පොල් බෑග් එකට අනං මනං කිව්වෙ"

අර මයිනගෙ නසරාණි මල්ලි ගල් ඉබ්බා කියාපි "මම මොනවත් කිව්වෙ නෑ අයියා තමයි කිව්වෙ ඒ පොල්කුඩු කියලා"

"මෙහෙවර බල්ලා තෝ මොන විදයකට හැදෙන මදයෙක්ද දන්නෑ" කියලා අල්ල ගත්තා, ගැට ගැහුව්වා උණ පඳුරේ තිබුනු උණ ගහක. දුන්නා තමා ඊට පස්සෙ නයිලෝන් කඹ පොටවල් දෙකක් එකට තියලා සැප කනෙන් බහින්න.

                                    ඒ මදිවට උණ ගහෙ බූව ගෑවිලා කසනව අම්බානක, ඒ සියල්ල ඉවසන්න තිබුනා අරූටත් තාත්තා ගැහුව්වා නම් කොහෙද ඒක කරෙ නෑ නේ. ඕං ඔය කේස් එකට ඉතිං දෙන්නං කෙල්ලෙ තොට කියල හිතේ තියං හිටියෙ, හැබැයි ඉතිං අප්පච්චි වේලපහාම ඕඩර් එක දීලා තිබ්බා "ලොකු එකා තෝ අර පොඩි එවුන් දෙන්නට මොනව හරි කියලා තිබුනොත් ගහනව කකුල් දෙකෙන් උස්සලා පොළවේ" කියලා. කොහොම හරි කෙල්ලො දෙන්නගෙ අම්මා අපේ තාත්තට කියලා පූතාලා දෙන්නා මෙහෙම කිව්වා කියලා. අනේ ඉතිං සැන්දෑ අහසේ හිරුට මුවාවි කාලය කවුලු දොරින් පැන ගිහිල්ලා. තවත් අතීත මතකයක් හෙවත් නසරාණි කතාවක් ඕං ඔහොම මයිනගෙ මතකයට ආවා.

එන්නං ඈ..........
____මයිනා_____


1 comment:

  1. හෙඩිම උඩ තීරුවට දාහං

    පෝස්ට් එක මේකට පේස්ට් කරන්න කලින් ..නෝට් පෑඩ් එකකට දාලා එතනින් ඇරගන දාහං ...එතකොට සුදු පාට ඉරි නැතිවෙනවා

    ReplyDelete