මයිනාගෙ කතා

මයිනාගෙ ජිවිත පියාසැරියෙ ඇසු, දුටු තැන්

Friday, 30 August 2019

මයිනාගෙ කතා .... 55 කුක්කුඩෝල්!!!


මයිනාගෙ  කතා .... 55... කුක්කුඩෝල්!!!

                                    මයිනගෙ කුළුඳුල් අවංක අකළංක ප්‍රේමයෙ  හිමිකාරිය උනේ කුක්කුඩෝල්. අපරාදේ කියන්න  බෑ  ගමේ බාෂාවෙන් කියනව නං එළ හරකි,  කරොත්  කරන්නෙ ගොං වැඩක්. පොතේ දැනුම විභාග වගෙ දේවල් වලට කොතරම් දක්ෂ  උනත් හිටි ගමන්  කරන ගොං වැඩ නිසා  එක්කො ගෙවල් වලින් අම්බානකට කන්න වෙනව නැත්තං වෙන මොකා එක්ක හරි ඇරගන්න වෙනවා.  

                                            සා.පෙළ  පාස් වෙලා  ගල්ලෙ  ඉස්කෝලෙකට  උසස්පෙළට යන්න ගත්තම මයිනටත්  සෙනසුරාදා  ඉරිදා  දවස් දෙක  ගාල්ලට ගිහින් කුක්කුඩෝල් බලන්න අවස්ථාව ලැබුනා.ඊට අමතරව ස්කෝලේ  ඇරිලා එන හවසක පෙම්වත් දුම්රිය ගමනකටත්  ඉඩ ලැබුනා, ගාල්ලෙ ඉඳලා හික්කඩුවට එනකම්. සමහර දවසක  අමතර පංති වැඩිපුර පැය ගානක් පංති වගෙ දේවල් ඉතිං දෙන්නගෙම කැමැත්තට සිද්ධ උනා. ධර්මපාළ පාර්ක් එකේ  හරි කොටු තාප්පෙ තැනක කොහේ හරි පෙම් සුව විඳිමත් සිද්ධ උනා.



        කුක්කුඩෝල්ගෙ ගෙදරින් වගේම මයිනගෙ ගෙදරිනුත් වැටුනු තහංචි නිසා මයිනා ඉතිං බොහොම පරිසමින් තමා හිටියෙ. ඇයි බොළව් ඔයතරම් කුරුඳු පොලු පාරවල් කොසු පාරවල් ඉදල් පාරවල් කෑව හැකිය?
                              ඕං  ඔහොම  කාලය ගෙවිලා යද්දි එක දවසක්  කුක්කුඩෝල්ට අමතර පංතියක් දාලා ඉගැන්වීමක් කරා. ඒ පංතිය ඉවර වෙලා එන ගමන් කුක්කුට කිව්වා "මාතර-කොළඹ" බස් එකක නැගලා  හික්කඩුවෙන්  බැහැලා යං කියලා. අනේ ඉතිං මේ ඊරී මේ කතාව අහන්නෙ නැතුව "නෑ නෑ අපි ස්ලෝ බස් එහෙක යං" කියලා අම්බලන්ගොඩ හික්කඩුව  බස් එකක නැගලා පෙම් මුල්ලෙ  වාඩිඋනා. කොන්දා සෙනග පටවනවා බස් එක නවත්තං, හම්මේ ඉතිං කුක්කුඩෝල්ගේ ගෙදරට  ගෙවල් දෙකක් එහා පැත්තෙ ගෙදරක  ගෑණියෙක් නැග්ගා බස් එකට!
                                ඒ ගෑනි තමා ඒ ගමේ සමෘද්ධි  නියාමක! අපරාදේ කියන්න බෑ නියම රොයිටර් සේවය. මේ ගෑණි දැක්කා දෙන්නා බස් එකේ ඉන්නව. අනේ ඉතිං අර නිව්ස් රිපොර්ටර් දිහා මයිනා බැළුවා අවිහිංසක බැල්මක්. කුක්කුඩෝල්  දිහා බලපු අර ගෑණි බැහැලා ගියා බස් එකෙන්. අනේ අද බඩු හරි කියලා දැන ගනිපු  මයිනා හිත හදාගෙන බස් එකේ ආවා.  හික්කඩුවට ඇවිත් මයිනා කිව්වා "පරිස්සමට  පළයං මගෙ අම්මා"කියලා කුක්කුඩෝල්ව යවලා  මයිනා චුට්ටක් ටවුන් එක වටේ කැරකිලා  එහෙම ගම පැත්තට එන්න ආවා.

                                        ඕං ඉතිං ස්ටේෂන් එක මැද්දෙ ඉන්නව  තඩියයි  කට්ටයි. උං දෙන්නත් ඇදන් රේල් පාර  දිගෙ  එනවා. අර  ගොං  වැස්සි  කෙලින්ම  ගෙදර  යන්නෙ නැතුව  වැල්ලවත්ත පාරෙ  යාළුවෙකුගෙ ගෙදරට  ගිහිල්ලා. අපිට  මීටර 50ක් විතර  ඈතින්  මේකිත්  රේල් පාරට ගොඩ  උනා, අපි අයෙමත් හැරිලා යන්නයෑ මේක පස්සෙන්ම ආවා. වෙඩිකාපු ඊරී වගේ කුක්කුඩෝලගෙ අම්මා එනවා පේනව පාළමත් පහුකරං පැයට 240ක වේගෙන් ඉස්සරහ පැත්තෙන්, අම්මා ආපු ගමං දුන්නා  කුක්කුඩෝල්ට කනේ පාරක්.  අනේ මයිනා  අම්මගෙයි දූගෙයි ප්‍රශ්ණ වලට මැදි වෙන්නෑ  මොකේ, මයිනයි අරුං දෙන්නයි ඉදිරියටම.

                   කුක්කුගෙ අම්මා  ආවා  මයිනගෙ  ඉස්සරහාට,
"තෝ මතක තියා ගනිං කපල මේ ගඟට  දැම්මත් මේකි තොට දෙන්නෙ නෑ"කියලා  කිව්වා. වෙන්න නැන්දම්මගෙ ඉස්සරහ මයිනා  නිහඬව නිසළව ඉන්නව. අර තඩි ඇඟක්  තිබුනට මොලේ ටිකක් අඩුවෙන් පාවිච්චිය  ගනිපු තඩියා කියාපි,
"කිඹුලෙක් වෙලා ඇවිත් කෑළි ටික හරි කයි"  කියලා. නැන්දම්මට මළ පුල් ඕවර් ඉතිං  ආයෙමත් ගිහින් කුක්කුඩෝල්ට තඩි බානව. මයිනා ඉතිං අහිංසක ලීලාවෙන් කිව්වා 
"නැන්දෙ  එයාට  ගහන්න එපා!"
"තෝ  කවුද බොළ එහෙම කියන්න? තෝ  මේකිගෙ මිනිහද?"
හුටා ජෝන් කිව්වලු කට්ටා මයිනයි තඩියයි  ඇදං එතනින් මාරු උනා.  

                               දැං ඉතිං කුක්කුඩෝල්ගෙ අම්මට කේළම කියපු  සමෘද්ධි නියාමක කෙරෙහි සෙනෙහස උතුරනවා. මේ  සෙනෙහස  වැඩි වීමේ  ප්‍රථිඵළය උනේ  මේකිට අමතක නොවන පාඩමක් ඉගැන්වීම.
ඒ වෙනුවෙන්  පෙරමුණ ගත්  මිත්‍රයෙක්  සමෘද්ධි නියාමකට එරෙහිව ගැහුව්වා  පෙත්සමක්. ඔය පෙත්සමට විවිධ අත් අකුරු යොදා  ගනිමින් ගමේ එවුන්නෙ නම් සහ ලිපිනය සමග අපිම ලියා අත්සන් කොට ලැබෙන්න සැලැස්සුවා  අදාල  අමාත්‍යංශයට. ඕං ඉතිං වැඩේ පත්තු උනා  අරකිගෙ සේවය අත්හිටුවා පරික්ෂණ  පැවැත්තුනා.  ඔය  අල්ල පනල්ලෙ එක දවසක සමෘද්ධි නියාමක ආපු වෙලාවක කුක්කුඩෝල් කියලා "තමුසේ කේළම් කිය කිය ඉන්නවකො  මයිනා කරයි තමුසෙට හොඳ වැඩක්"කියලා. 

            සමෘද්ධි නියාමක නම් දේශපාලඥයන් පස්සෙන් ගිහින් ජොබ් එක හදා ගත්තා.හැබැයි අදටත් ඒ සමෘද්ධි නියාමක  මයිනා සමග තරහයි අවුරුදු විසි ගානක්  ගිහිල්ලත්.ඒ සමෘද්ධි නියාමකට ආපු විවාහ  යෝජනා කිහිපෙකුත් තඩියා විසින් අංජබජල්  කිරිම මයිනාගෙ ගිණුමටම බැර උනු නිසා ඒකි  වැඩියෙන් වෛර බැඳගත්තා. 

                  ඔය වළිය ගෙදරට ආරංචිවිම නිසා රංජනි මාතාව විසින් ලබාදුන් කොසු සංග්‍රහය අතිවිශිෂ්ඨයි පිංවතුනි.ගෙදර පිහිදන කොස්සයි කුස්සිය පිහිදන කොස්සයි දෙකම කැඩුනා දීපු දීමට.ඉන්පසු මයිනා බොහෝම සාර්ථක කොසු නිපදවන්නෙක් බවට පත් උනා.කොස්ස බැඳිමට ගන්නා මිට ඉතාම බාල වර්ගයකින් යොදා ගන්නත් අමතක කරේ නෑ.  ඔන්න  ඉතිං මයිනගෙ ලව් එකේ තව කතාවක් කිව්වා ඈං....
- August 30, 2019 2 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: මයිනාගෙ ගමේ කතා

Saturday, 24 August 2019

මයිනාගෙ කතා... 54 සමණළ තටු...

මයිනාගෙ කතා (53) සමණළ තටු... 

    සිංහල සිනමාවේ  හිටපු සුපිරි වීරයා තමයි ගාමිණි ෆොන්සේකා.  විවිධ චරිත සහ  විවිධ සිනමා නිර්මාණ තුලින්  එකළ තරුණ හදවත්  අමානන්දයට පත් කරපු  ගාමිණි  එවකට හින්දි සිනමාවේ  රාජ් කපූර්ගේ ජීවිතේ කොපිකරාද කියලත් හිතෙනවා.. මොකද කියනව නං රාජ් කපූර් ඒ කාලේ  ලෝකේ තියෙන හොඳම වර්ගවල මධුවිත තමයි  පාවිච්චි කරලා තියෙන්නේ..  50 - 60 දශකයෙදි  දවසකට  රුපියල් 10,000ක  මධුවිත පානය කරාලු.  එවකට  සිනමාවට  ආපු  හැම අයිටම් එකකම රස බැලුවා මදිවට හින්දි සිනමාවට  වීදේශිය  කාන්තාවන් මුලින්ම එකතු කරෙත් රාජ් කපූර්ලු.  

    ගාමිණි වගෙම සිංහළ සිනමාව ආකර්ෂණය කරපු  අනිත් කෙනා  තමයි  විජය කුමාරතුංග. විජයගෙ හදිසි අභාවයෙන් පස්සෙ සිංහළ සිනමාවත් අභාවයට ගියා කියලයි  මයිනට හිතෙන්නෙ. කඩවුනු පොරොන්දුවෙන් පටන් අරන් අද වෙනකම් සිංහළ සිනමාවේ එක එක විදියෙ චිත්‍රපටි හැදුනා.    එදා සිනමාවෙ  නළු නිළියො රඟපාද්දි  ගැළරියෙ ප්‍රේක්ශකයො කඳුළු  පෙරාගෙන ඇඬුවා.    පික් පොකැට්, අදට වැඩිය හෙට හොඳයි, චංචල රේඛා වගෙ චිත්‍රපටි  බලලා මයිනත් අඬලා තියෙනව...  අද කාලේ  නං උන්  රඟපාලා , උන්ම අඬලා චිත්‍රපටිය ඉවර වෙනව නොවෑ...  මයිනා  මුළින්ම  චිත්‍රපටියක්  බැලුවේ  හික්කඩුවේ  සිනමා ශාලාවක්  තිබුනු කාලේ ඒ ගැන තියෙන්නෙ නම් බොහොම අපෑහැදිළි මතකයක්.  මයිනා එතරම් කුඩා අවදියෙදි තමයි ඒ  සිනමා ශාලාව තිබුනෙ ඒත්  කාලෙක  ඒක කවුදෝ ගිනි තිබ්බලු.

      එක එක වයස් කාණ්ඩවලදි පවුලේ සැමත් එක්ක චිත්‍රපටි බලන්න ගියාට  සා.පෙළ විභාගෙන් පස්සෙ නම්  මිතුරන් හෝ පෙම්වතිය එක්ක තමා ඒවට ගියේ..  පෙම්වතියෝ එක්ක සිනමා ශාළාවට ගිහින් ෆිල්ම් බලන්න වෙන්නෙ නෑනෙ,  වෙන වෙන වැඩ තියෙනව නොවෑ.  අතපත  ගෑම්, පරික්ෂා කිරිම්, ගණනය කිරිම්, ඇඟිළි ගැසිම්, කුඩාවට  ඇති දෙහි දොඩම්  වගෙ ඒවා  ලොකු කිරිම  හො  ජොල් කිරිම ආදි  බොහොමයක් දේවල් ඒ අතරෙ වෙනවා.  පසුකාලෙක  ප්‍රසව හා  නාරිවේද  වෛද්‍යවරුන්  බවට  ඉහළ සුදුසුකම්  ලබන්නෙ  එහෙම ඈයො තමා.  මයිනත් එහෙම ෆිල්ම් නම් කිහිපයක් බැලුවා  හැබැයි ඉතිං බැලුව ෆිල්ම් එකවත් මතක නෑ එළියට ආවම.  කිණිහිරියා මල්  කියන  ෆිල්ම් එක හතර සැරයක්ම  බැලුවා  ඉතිං මතකවත් නෑ  මොනවද ඕකේ තිබුනෙ කියල.  ෆිල්ම් එක  හොඳයි කියලා හිතුනු නිසා  තනියෙන්  ගිහින් පස්සෙ  දවසක  ෆිල්ම් එක  බැලුවා ඉතිං.

      මෑත කාලේ සිනමා කර්මාන්තය කඩා වැටිම නැවතුනෙ ළමයින්ට සුදුසු චිත්‍රපට නිෂ්පාදනයෙන්.සූරිය අරණ  වගෙ චිත්‍රපටිවලින් පටන් අරන් හොඳ ගැම්මක් සිංහළ සිනමාවට අරන් ආවේ සෝමරත්න මහත්තයා.  ඊට  පස්සෙ රජ කතා,ඉතිහාස කතා  වගෙ  ඒවා. මේ චිත්‍රපටිවල  දෙබසුත්  සැරින් සැරේට  ජන හදවත්වලට සමීප වෙනවා. "රජ කුමාරයෙක් නොවෙයි  මං ගමේ  කොල්ලෙක්"  වගෙ  දෙබස් මුහුණු පොත පුරාම  දැක්කා පහුගිය කාලේ.


        "සමණළ තටු"  වෙනස්ම විදියෙ තේමාවක්  එක්ක  සිනමාවට ආපු  ළමා  චිත්‍රපටියක්. ඒ දවස්වල හැමෝම  ළමයි ඔය චිත්‍රපටිය බලන්න යනවා. සමහර  පාසල්වල  ළමයි එක්කගෙන ගියා මේ ෆිල්ම් එක පෙන්නන්න ඒ තරං ඉටිකිරිස් ෆිල්ම් එක.  මයිනගෙ  අතීජාත  මිත්‍රයෙක්  හිටියා  විවාහ වෙලා  ළමයි  දෙන්නෙක් හිටියා.  ලොකු  ළමයට අවුරුදු  8ක් 9ක් වගෙ ඇති, පොඩි ළමයට 5ක් විතර ඇති. මයිනගෙ මිත්‍රයා  ළමයින්ව  රූපවාහිනීය  වගේ දේවල් වලින් ඈතින් තමයි තියලා තිබුනේ, ළමා වැඩසටහනක්,ඩිස්කවරි වැඩසටහනක්  හැර ගෙදර රූපවාහිනී බොහො දුරට ක්‍රියා විරහිත කරලා තමා තිබුනෙ. මයිනප්පු ලංකාවට ගොඩ බැහැපු  කාලෙක  ඕං ඔය  "සමණළ තටු"  තිරගත  වෙනවා.  හවස් ජාමෙට මයිනා සහ තවත් හාදයෝ කීප දෙනෙක් අර අතිජාත මිත්‍රයගෙ  ගෙදරට යනවා  වැදගත් හරවත් කතාබහක යෙදෙන්න. මෙහෙම  ගියපු  වෙලාවක  මිත්‍රයාගේ  පුතණ්ඩියා ඉන්නවා මූණ හපුටු කරන් බොහොම දුකින්.මයිනා  යාළුවගෙන්  ඇහුව්වා,

"ඇයි බං පොඩි එකා මූන එල්ලන්?"

"අර කෙහෙම්මල් ෆිල්ම් ඇවිත් බලන්න යමුලු"  
පොඩි එකා ඉතිං ඈත ඉඳං,

" ඒක  කෙමේමලක්යෑ  සමනළ  තටු නේ, අපේ  ස්කෝලේ ළමයිනුත්  ගියේ බලන්න" 

"අනිත්  එවුන් කරන දේවල් අපි කරන්න ඕනේ නෑ, ෆිල්ම් නෑ ගිහිං  ඉස්කොලේ  වැඩ කරනවා..."          
  තාත්තගෙ විධානයෙන් පොඩි  එකා  ඉතිං  පරල වෙලා ගියා.    
            ඕං  ඉතින් එදා  මාතෘකාව  උනේ  "සමණළ  තටු"  හෙළ  සිනමාවෙ  එදා  සහ  අද නළු නිළියන්ගෙ ඇද කුද. සිනමා කර්මාන්තය  කඩා වැටිමට  හේතු  සහ  දේශපාළන  අත පෙවීම් ඒ වගෙ  හර බර  සාකච්ඡාවට  පස්සෙ මිත්‍රයගෙ ළමයි එක්ක ගිහින්  " සමණළ තටු" පෙන්විය යුතුය කියන තැනට ආවා. අකමැත්තෙන් උනත් මිත්‍රයා  එළඹෙන සෙනසුරදා ළමයි සමග "සමණළ තටු" බැලීමට එකඟ උනා. මයිනත් ඉතිං ඒ  ගෙදරින් එන ගමන් ෆිල්ම් එක  බලන්න ගියාම  මොනව හරි  ගන්න කියලා පොඩි  එකාට  රුපියල් 1000කුත්  දීලා ආවා.

              මිත්‍රයා ළමයි එක්ක "සමණළ තටු" නරඹලා  අවිත්  දවස්  දෙක තුනකට  පස්සෙ  මයිනා  හැන්දෑ වරුවක ඒ දිහාවට ගියා.  මිත්‍රයා ඉන්නව  මූන  #ක  කරන්  මිත්‍රයගෙ  පොඩි එකා  ඉන්නව ඉකි  ගගහා.  

"මොකෝ  බං  පොඩි  එකා අඬන්නෙ?"

"අඬන්න? මූව ගහනවා කකුල් දෙකෙන් අල්ලලා පොළවේ"

"මොකද උනේ කිහාංකෝ වහෙ"

"සමණළ තටු"  ෆිල්ම්  එකේ එක දෙබසක්  තියෙනවා ජයලත් මනෝරත්න  කියනව දුලීකට  "පයිප්පෙකට  අල්ලලා දූවිළි  හෝදලා ගත්තනං උඹත් දොස්තර නෝනෙක් වගෙ තමයි"  කියලා.  ෆිල්ම්  එක  බලලා  ආපු  පොඩි  එකාට අර  දෙබසත්  මතක  හිටලා ඉතින්, ඊට පහු දවසක  මිත්‍රයගෙ  නෑනා  හෙවත් මේ පොඩි  එකාගෙ  පුංචි අම්මා  එද්දි මේකා  කියලා  "පයිප්පෙන්  නාවලා  ගත්තනං  පුංචිත්  දොස්තර  නෝනා කෙනෙක් වගෙ ඉඳි  තාත්තෙ"  කියලා.  

අන්තිමේ  වැඩි  හොඳ  කරන්න  ගියපු  මයිනත්  බැණුම්  ඇහුව්වා  "තෝ  තමයි  ඔය  මගුල් පෙන්නන්න එක්ක යන්න කිව්වෙ"  කියලා.  චිත්‍රපටි  දෙබසක්  හින්දා උනු  දෙයක් ඕං ඉතිං.  එන්නං  ඈ.....
- August 24, 2019 2 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: මයිනාගෙ ගමේ කතා

මයිනාගෙ කතා...53 පූස් පැටව්..

මයිනාගෙ කතා...(53) .... පූස්  පැටව්..

         පුසා එහෙම නැත්තං  බළලා ගැන  තියෙනව නොවැ කතා කෝටියක්,ලංකාවේ ප්‍රසිද්දම කතාව නොවැ මයිනලගෙ ගම් පලාතෙන්  ඇස් ඇරැනු පූස් පැටියෙක්වත් ගේන්න එපා  කියන එක.  
                      ඉස්සරම  ඉස්සර කාලේ එක බැළලියෙකුට බැළලි පැටියෙක්  ලැබුනලු.  මේ බැළලි අම්මා කිව්වලු "කවද හරි  මගෙ දුව දෙන්නෙ හිරු දෙවියන්ට තමයි"  කියලා..  හැබැයි ඉතිං මේ කතාව අහපු හිරු දෙවියො හීන් දාඩිය දාලා පරල වෙලා ගියාලු. කාලෙකට පස්සෙ අම්මා පූසි ගිහින් හිරැ දෙවියන්ට කිව්වලු   "හිරු දෙවියනි ඔබ තමයි  මේ ලෝකෙටම බලවත් මගෙ දුව බාර ගන්න" කියලා.. තැනට සුදුසු නුවන තිබුනු හිරු දෙවියො  කිව්වලු "මම කොතරම් බලවතෙක් උනත් එක  කළු වලාවකට පුළුවන් මගේ බලය බිඳින්න.. මට  වඩා බලවතා තමයි වැස්ස වළහාක දෙවියො"   කියලා.

       බළල් අම්මා කල්පනා කරා ඇත්ත තමයි ක‍ළු වළාවකට පුළුවන් ඉරත් වහන්න,   එහෙනම් වැස්ස වළහාක දෙවියො තමා බලවත්  කියලා වැහි දෙයියො මුණ ගැහැන්න ගියා.  පූස් අම්මා  වැස්ස වළහාක දෙයියො  මුණ ගැහිලා  කාරණාව කිව්වා.. වැහි දෙයියො බැලුවා ඉර  දෙයියො මාව අල්ලලා දීලා බේරිලා, හිටපංකො  පුසියේ උඹව මහපොළවටම යවන්න කියලා හිතලා කිව්වා,
"මම  කොච්චර බලවත් උනත් කොතරම් වැස්ස වැස්සුවත් වේයා තුඹස බඳින එක නවත්තන්නෙ  නෑ,වේයා කියන්නෙ මට වඩා බලවතෙක් ගිහින්  දුව වේයට බන්ඳලා දෙන්න" කියලා.

             ඕං ඉතිං පූස් අම්මා වේයා  හොයාගෙන  ගිහින්  කාරණාව  කිව්වා.. වේයා කල්පනා කරා මොන නවනිංගිරාවක් නැති  වැඩක්ද මේ වෙන්න හදන්නෙ කියලා.  පූසිට  කිව්වා "මම මොනතරම් තුඹසවල් හැදුවත් කුළු හරකගෙ එක අං පහරකින් ඒවා විනාශ වෙනවා ඒක නිසා කුළු හරකා තමයි මට වඩා බලවත්" කියලා.
            පූසි ඉතිං කුළු හරකව  හොයාගෙන ගියා, කුළු හරකත් ඉතිං කිව්වා  "මගේ බල පුළුවන්කාරකම් කොටියා දකිනකම්  විතරයි කොටියා තමයි බලවතා"කියලා.       ඕං ඉතිං පූස් අම්මා කොටියා හොයාන ගිහින්  කාරණාව කිව්වා.  කොටියා කියාපි "අනේ ඉතිං  මම මොන බලවතා උනත් බළල්රාළටත් පරාදයි  නොවැ, මට ගහකට නැග්ගාම බැහැගන්නවත්  බෑ.  බළල්රාළ තමයි මගෙත් ගුරා උන්දැටම දීපං  උඹගෙ දුව"  කියලා කියාපි.. ඕං ඉතිං එක බළල් කතාවක්  කිව්වා.





                   ඉස්සර මයිනලගේ ගෙදර  පූසෝ 9ක්  හිටියා.  මයිනගෙ අම්මා මයිනට  කන්න නොදුන්නත් පූසන්ට අනිවාරයෙන්ම කන්න  දෙනවා..  ඒ මදිවට මේ පූසෝ ඇඳ උඩද පුටු උඩද  මේසේ උඩද ආදි සියලු තැන්හි විරාජමානව  වැඩ ඉන්නවා මෙහෙම වෙලාවක මුං එහෙකුට  ගැහුව්වා කියන්නෙ ඉතිං මයිනට පරණ  ඇරියසුත් එක්ක මෑණියන් වහන්සෙගෙන් අඩු පාඩු නැතුව කොසු පාරක් ලැබෙනවමයි.   ඒ  මදිවට "ඈ බොළ මදාවියො තෝ ඔය අහිංසක  සතාට ගහන්නෙ තොගෙ ඔළුව උඩ ඉන්නවටද"  ඒ වගෙ වැකිත් තියෙනව.  මෙන්න මේ බිළාල  ප්‍රශ්නෙට විසඳුමක් ලෙස මයිනා හිතුවා මුං ටික  ගිහිල්ලා දාන්න කොහෙට හරි. 





                     පළවෙනි තැන උනේ  ගමේ පන්සල. පෝර ගෝනියකට හැන්දෑවේ 7ට  විතර පූස්සු 6 දෙනෙක් විතර අල්ලා දාගෙන පංසලට  දාලා ආවා.  අනේ ඉතිං පසුදා උදේ  බ්‍රේක්ෆස්ට් එකට පූස්සු  සෙට් එකම ගෙදර ඉන්නවා!

            ඊළඟට  තීරණය කලා ගමේ පංසල ළඟ  වැඩියි එහා ගමේ පංසළට පූස්සු ටික ගිනිහිල්ලා  අතහරින්න.  සැලසුම ක්‍රියාත්මකයි.   එදා රෑ ගෝනියකට අහු උනු පූස්සු පස් දෙනෙක් දා ගෙන  ගිහින් අල්ලපු ගමේ පංසලට දාලා ආවා.  අපරාදේ කියන්න බෑ මෙන්න අරුං පස් දෙනා උදේට කිරි බොනව අම්මත් එක්ක හුරතල්  වෙවි.  ඕං ඉතිං මයිනා අපතයො සෙට් එකටම  කතා කරලා විස්තරෙ කිව්වා..  විවිධ යෝජනා  වලින් අවසානේ එකෙක් කිව්වා ගඟකින්  පාළමකින් එහාට දැම්ම  පූසන්ට ආයෙමත් එන්න බෑ කියලා.

            එදා හැන්දෑවේ තඩියයි,කට්ටයි,මයිනයි, හූනයි, ...... අනිත් ඈයො ටිකයි එකතුවෙලා  මයිනගෙ පොඩි අක්කගෙ පූර්ණ සහයෝගයෙන් පූස්සු හත් දෙනෙක් ගෝනියකට දා ගෙන තව එකෙකුගෙ ලෑන්ඩ් මාස්ටර් එකකින් පූස්සු ටික අරන් යනවා පංසලකට දාන්න.   තඩියා පූසෝ ගෝනිය අල්ලගෙන ඉන්නව අනිත් එවුනුත් වාඩි වෙලා ඉන්නව මයිනා ඩ්‍රයිවර්.  ඕං ඉතිං ඔහොම  ගිහිල්ලා හික්කඩුවෙ "පිංකන්ද"  කියන දිහවේ  තියෙන පංසලකට පූසෝ ටික දාන්න සූදානම.  වඩා උසම සහ ඇඟපත ඇති මොලේ අඩුවෙන්  ක්‍රියාත්මක කරපු තඩියා ගෝනිය උස්සං ගිහින්  පංසලේ තාප්පෙ මේ පැත්තෙ ඉඳං අනිත්  පැත්තට පූසෝ ටික හැලුවා. හුටා  තාප්පෙ  අයිනෙ වාඩිවෙලා ගාථා කිය කිය හිටපු අම්මා කෙනෙකුයි කෙල්ලො දෙන්නෙකුයි උඩට තමයි අරූ අර පූසෝ ගෝනිය දාලා තියෙන්නෙ. 

"පව් කාරයෝ,  කාළකණ්ණි" සහ තවත් වදන්  වැල් පිට වෙද්දි  ලෑන්ඩ් මාස්ටරේ උපරිම  වේගෙන් කට්ටිය මාරු.  ඊට පස්සෙ ඉතිං පූස්සු  ගෙදර ආවේ නෑ,ටික දවසකට පස්සෙ දානමය  වැඩ කටයුත්තකට පිංකන්දෙ තියෙන වැඩිහිටි  නිවාසෙකට යන්න සිද්ධ උනා තඩියා ඇතුළු  පිරිසට.  වැඩහිටි නිවාසෙ දානේ වැඩ අස්සෙ  තඩියා වයසක මනුස්සයෙක් නාවනව  ඊට  එහා  පැත්තෙ කෙල්ලෙක්  ඉඳන්  කියනවා  
" ඌ තමයි අක්කෙ,මට හොඳට මතකයිනෙ"
"නෑ මේ වෙන කෙනෙක් වෙන්න ඇති"
"මොකද නැත්තෙ ඌ තමයි රැවුළ බලනවකො  ෂුවර් එකටම ඌම තමයි"
 මයිනා ඉතිං ෂේප් එකේ කෙල්ලො දෙන්නගෙ  කතාවට ඇන්ටනාව දාගෙන ඉඳලා දානෙට  මුලිකත්වය ගනිපු  ගෙදර  එකාට  කිව්වා  
"අඩෝ අන්න අපේ තඩියට හිත ගිහින් අර  කෙල්ලො දෙන්නට" කියල.
අරුත් ඉතිං අර කෙල්ලො දෙන්නා ළඟට ගිහින්  "මොකො තමුසෙලා දෙන්නා අරූ දිහා බලාගෙන  මුණු මුණු ගාන්නෙ" කියලා ඇහුව්වා.

"ඒ කොල්ලා තමයි ඕයි එදා පංසලට පූසෝ ගෙනත් දැම්මේ" කියාපි අර කෙල්ල!





හොඳ වෙලාවට අර කෙල්ලට අනිත් උන්ගෙ  මූහුණු මතක නෑ තඩියගෙ සයිස් එකයි රැවුළයි  නිසා තමයි ඌ විතරක් මතක තිබිලා  තියෙන්නෙ. දානේ වැඩ ඉවර වෙනවත් එක්කම  තඩියත් ඇදං සෙට් එකම මාරු උනා  ෂේප් එකේ නැත්තං  නෝන්ඩි වෙලා කින්ඩි වෙලා තමා එන්න වෙන්නෙ.   හැබැයි  ඉතිං  පූස්සු  පංසලට  දාපු  සීන්  එකට  තඩියා  විතරක්  නෝන්ඩි  උනා  දානෙට  අපිව  සහබාගි කරවපු  එකාටත්  තඩියා  සහ  පුසෝ  සීන්  එක  කියපු  නිසා. තඩියට  ඒ  නිසාම  පිස්සු  පූසා  කියන  නමත්  රෙජිස්ටර්  උනා.  එහෙනං ආයෙත් එන්නං ඇ....


- August 24, 2019 No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: මයිනාගෙ ගමේ කතා

මයිනාගෙ කතා.. 52 බ්‍රේක් උනු ලව් - 2, කෑමදාස

මයිනාගෙ කතා.. (52).. බ්‍රේක්  උනු  ලව් - 2
කෑමදාස - 

        ලව් නම් හැම එකාටම අඩු වැඩි වශයෙන් තියෙනව නොවෑ. 
නැගලා ගියපු ලව්,  බැහැලා ගියපු ලව්, අතරමග දාලා ආපු, ලව්  ඇදං ගියපු ලව්,
අම්බානක කාපු ලව්, නාපු ලව්  ආදි වශයෙන් ලව්ම අම්බානක තියෙනවනේ. 
 සමහර ලව් බ්‍රේක් වෙන්න හේතු සාධක වෙච්ච කරුණු කාරනා මාරයි,කියලා වැඩක් නෑ.  
සමහර  උන් ලැජ්ජාවට කියන්නෑ.  හැබැයි අපි එහෙම නෑ,  ලැජ්ජ නහාරෙ බිජ්ජ මුළින්ම කපපු හින්දා 
 අවුළක් නෑ කියනව එකෙන්ම.
                  මයිනා සහ අපතයො  කොයිතරම් නම් මැංගො ෆ්‍රෙන්ඩ්ලද කියනව නම් 

 එකෙක් කෙල්ලෙක් එක්ක යාළු උනා නම් ඒ  කෙල්ලගෙ වටේ ඉන්න කෙල්ලොන්ගෙ 
ලව් කඩලා හරි අපේ එවුන්ට සෙට් කරනව ඒක ෂුවර්. හැබැයි ඉතිං කියන්න දුකයි සුපෙම්වතුනි 
 අපේ තඩියට එකම කෑල්ලක්වත් සෙට් කරලා දෙන්න බැරි උනා.  දඩ සයිස් ඇඟකුයි
 නානා  කෙනෙක් වගේ කපපු රැවුළයි නිසා මූට  කෙල්ලො කැමති උනේ නම් නැත.
 හැබැයි ඉතිං  අපි කාගෙ කාගෙත් ලව්  වෙනුවෙන්  උපරිම  සහය  දුන්නු පොරක්
 තමයි තඩියා කියන්නෙ..

             අපේ රැලේ එකෙක් කෙල්ලෙක්  එක්ක යාළු වෙලා "කුමාරකන්ද" කියන දිහාවෙ.  

ඒකිගෙ යාළුවො දෙන්නෙක් මයිනට සහ තවත් එකෙකුට සෙට් කරා. අපේ යාළු අපතයාගෙ උවමනාවට 
නව ප්‍රේමවන්ත යුගළ පළමුවන  හමුවීම යොදා ගත්තෙ පොහොය දවසක කළුතර බෝධිය වන්දනාවෙ යෑමෙන්.
 මයිනට තිබුනා  අපත පුරැද්දක්, උදෑසන අහාර වේල අපරාදේ කියන්න බෑ සෝමාලියාවෙන් ආපු 
එකෙකුට වගේ කන්න ඕනේ. බත් පිඟානක් නැත්තං පාන් ගෙඩියක්වත් කන්නම ඕනේ,
 එහෙම නැති උනා කියන්නෙ මයිනගෙ ඇන්ජිම වැඩ කරන්නෙ බොහොම අප්සට් විදියට.

                  ඕං ඉතිං ඔය පුරා පෝය  දවසේ උදේටත් නොකා කිට මරලා මයිනා බඩගින්නෙම 
ගියා හික්කඩුවේ ස්ටේෂන් එකට.   එතනින් කපල් තුනයි තනි තඩියයි දුම්රියෙන් 
කළුතරට, වෙලාව 10.30 විතර වෙලා. උදේ  කෑම නැතුව බඩ පණුවො සිහිවිකල්
 වෙලා  බඩවැල් ඉරාගෙන කන්න හදනවා.

                   මයින අනිත් උන්ට  කිව්වා "යන මළදානෙක යන්න කලින් බඩට  

මොනවහරි දාගෙන යමව් නැත්තං තොපි පලයව්  මම කාලා එන්නං" කියලා.
  මයිනා ගැන දන්න  අනිත් හැලපයො ඕං රිංගුවා හෝටලේකට, වෙන වෙනම කපල් 
තුන මේස තුනක ඉඳ ගත්තා.  තඩියයි මයිනයි කියන්නෙ අමුඩය සහ පුක වගෙ ඩබලක්
 හින්දා ඉතිං තඩියත් මයිනා වාඩි උනු  මේසේටම සෙට් උනා.(කපල් සෙට් වෙලා ගියාම 
 වෙන වෙනම මේස වලට සෙට් වෙන්නෙ වෙන වෙනම බිල් ගෙවන්න 
ඕනේ නිසා හරිද, නැත්තං  අඩුවෙන් කාපු එකාට 
අසාධාරණයක් වෙනවා නේ)

වෙටර් : මල්ලි  මොනවද ඕනේ?
තඩියා : කන්න පුළුවන් හැමදේම ගෙන්න අයියේ..


 වේටර්  තසිම් 3යි ෂෝර්ට් ඊට්ස්  පිඟානයි  ගෙනත් තිබ්බා සෝස් බෝතලේකුත් එක්ක. 

 තඩියා මයිනගෙ කනට කරලා ඇහුවා,

"උඹගෙ ළඟ කීයක් තියෙනවයි?"
මයිනා කිව්වා "450ක් විතර ඇති"
තඩියා : "මගෙ  ළඟත් 600ක් විතර තියෙ දෙමු ඇට්ටි හැලෙන්න"
මයිනා : "හරි දෙමු එහෙනං"

 අනේ ඉතිං අර පෙම්වති සෝස් පොඩ්ඩක්  තසිමට දාගෙන පොතු හැලෙන සපඩං පේස්ට්‍රි එකක් 

අරං සුට්ට සුට්ට කනව.  මයිනා සහ තඩියා මාළු පාං 2කයි,  බිත්තර  රෝල්ස් 2යි,
 එළවළු රොටි 2යි, මාළු රෝල්ස් 2යි, ඒ පිඟානේ පේස්ට්‍රි එකක් ඉතිරියි. කුඩු  හැලෙන නිසා  මයිනයි
 තඩියයි පේස්ට්‍රි කන්නෙ නෑ.

වේටර් : මල්ලි බොන්න මොනවද?

තඩියා : "අපි තාම කාලා ඉවර නෑ අයියා තව ෂෝටීස් එකක්"

 පෙර පරදිම එක වර්ගයකින් දෙක බැගින්  නැවත සෝටිස් පිඟානක්, මයිනා සහ තඩියා 

එළවළු රොටි 2යි  රෝල්ස් 2යි. දැං ඉතිං දවසම දිව්වෑකි  අවුලක් නෑ හැබැයි  ඉතිං 
අර  පෙම්වති තුස්නිම්භූත වෙලා කෑම දැකලා.

තඩියා: අයියා ඉඟුරු ප්ලෙන්ටි 2යි, කිරි තේ එකයි.

පෙම්වති : හපෝ  පුදුම කෑමදාසයෝ දෙන්නෙක් නේ හත් අවුරුද්දක් 

බඩගින්නෙද හිටියෙ?..

තඩියා :ඈ බං කෙල්ලෙ අපි කෑවේ අපේ බඩට නේ, තොට මොකෑ?

මයිනා :තමුසේ බිල ගෙවන්නෙ නෑනේ පාඩුවේ කට වහං 

ඔය තේ එක බොනව!

හුටා!
පෙම්වතිට මළ පැන්නා!
ගස්සගෙන නැගිට්ටා!
ගියා එළියට!

  මයිනයි තඩියයි බිල ගෙවලා එද්දි පෙම්වති ඉන්නව මූණ මොකද්දො 

කරගෙන. අනිත් කපල් දෙකත් බලං ඉන්නවා මයිනල එනකං, 
උං ඉස්සර උනා මයිනයි තඩියයි පහු උනා අර මරාලෙත් එක්ක.

පෙම්වති : හපෝ මැනර්ස් කියලා දෙයක් ඇත්තෙම නෑ නේ..
මයිනා : බඩගින්නට මොන මැනර්ස්ද ඕයි බඩපිරෙන්න කන්නැතුව..
පෙම්වති : ඕයි ඕයි  කියන්නෙ හිතුවද මම පොල් කඩන මනුස්සයෙක් කියලා?
මයිනා : ආ... නැද්ද  මම හිතුවෙ ගස් නගින මනුස්සයෙක් කියලා..
පෙම්වති : ඔහොම කතා කරන්න ඔයා කවුද අපි වැදගත්කමට හැදිච්ච අය..
මයිනා : අනේ උඹේ වැදගත්කම, අද පෝය දවසේ ගෙදරට බොරු කියලා

 ආවා කොල්ලෝ එක්ක රවුං ගහන්න, අනේ පළයං කෙල්ලේ තෝ..... #%%%#^#

     "තඩියෝ  යමං බං  යන්න  මේ @#ත  පස්සෙ යන්න බෑ මට"
ගාල්ල  බලා  ධාවනය වු බසයක පාපුරුවේ මයිනයි,තඩියයි  හික්කඩුවට සේන්දු උනා.

  හික්කඩුවෙන් බැහැලා නැෂනල් කියලා කඩයක් තියේ ඒකෙන්  පෘට් සැළඩ් දෙකකුත් 
ඇන ගෙනම ආවා ගෙදර.  අනිත් කපල් 2කත් වන්දනාව පැත්තක තියලා ආයෙමත් ඇවිත්.


ඒ ලව් එක එතනින් ඉවරයි.. ඊට සතියකට විතර පස්සෙ මයිනයි තඩියයි දැකලා ගාල්ලෙදි ඒකි ගැස්සුවා 

ගැස්සිලක් ආයේ මොනවද උකුල් ඇටේ පැන්නා කියලා හිතුවේ.

තඩියා : නංගි කොන්ද පනි වැඩියෙ ගස්සන්න එපා
මයිනා: නංගි කළුතර යංද ආයෙ දවසක

ඒකි හිතන්න ඇති #ම්බක් හිංදා ගෙම්බෙක් වෙයි කියලා මේ මයිනා,
ඒවා හඳේ තමා!

- August 24, 2019 No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: මයිනාගෙ ගමේ කතා

මයිනාගෙ කතා... 51 බ්‍රේක් උනු ලව් - 1, පුසුඹ

මයිනාගෙ කතා  (51).. බ්‍රේක්  උනු  ලව් - 1
පුසුඹ - 
     සුවඳ  දැනී.. දැනී... දැනෙනවා....  

ඕං ඔහොම කියන්නෙ රූකාන්තයියා සප්ත කන්‍යා  ෆිල්ම් එකේද මන්දා.  මයිනා කැමතිම සමන්පිච්ච මල් සුවඳට..  සුවඳ කොයි කවුරුත් ආඝ්‍රාහණය කරන්න කැමතියි නොවෑ.  අපි ෆර්ෆියුම් එකක් ගන්න ගියත් විවිධ සුවඳවල් බලලා අපි කැමතිම සුවඳින් තමයි තෝර ගන්නේ.  හැබැයි ඉතිං  සුවඳේ අනික් පැත්ත වෙච්ච ගඳට එකෙක්වත් කැමති නෑ.  කිඩාරං මලේ,බලු බෙට්ටේ ඉඳලා මළ කුණු වළ ගඳට යනකං විවිධ වර්ගවල ගඳත්  අපිට දිනපතාම විඳගන්න පුළුවන්නේ.
     කොළඹට  නිතර යන එන එවුන්ට බේරේ වැවේ ඉඳලා එතනින් එහාට පුදුම හිතෙන සුවඳවල් විඳ ගන්න පුළුවන්.  පොදු වැසිකිළියකට ගියාම අවිචි මහ නරකාදිය සිහි වෙන්නෙ ඒකයි.

             මයිනට කතා 2ක් කියන්න තියෙනවා,ඒ කතා 2කම එක වගෙ උනාට එකිනෙකට වෙනස් සිදුවීම් දෙකක්.  මයිනා රට  ගියපු මුල් කාලේ දවසක් මයිනා නිවාඩු දවසක ගියා ඉතිං එරට අග නගරෙ ඇවිදින්න.  ඕං  ඔහොම පොඩි රස්තියාදුවක් දාගෙන ඉඳලා පාක් එහෙක බංකුවක වාඩි උනා.  පාක් එකේ ඉතිං තැන් තැන්වල එක එක රටවල එවුන් වාඩි වෙලා ඉන්නවා.  ටික වෙලාවකින් සුන්දරම සුන්දර ගෑණු පරාණ දෙකක් ඇවිත් මයිනා හිටි බංකුවෙම  වාඩි උනා. මයිනා හිතුවා මුන් දෙන්නා ඉංදියාවේ වෙන්න ඇති කියලා.  මුං දෙන්නා දෙමලෙන් කතා කර කර ඉන්න අතරෙ මයිනට ආවා කෝල් එකක්.  මයිනා ඉතිං හෙල බස වනද්දි ආං අර පරාණ 2ක හිනා උනා. 

"අයියා ලංකාවෙද?"
"ඔව්"
"කොහෙද ලංකාවේ?"
"හික්කඩුවේ"

 ඕං ඔහොම කතා බහ කරලා ඉවර වෙද්දි ඉතිං ටෙලිෆෝන් නම්බරුත් මාරු කරන් ලංකාවේ  හොටෙල් එකකින් කෑමත් කාලා එහෙම  මයිනගෙ කම්පනියෙ වහනෙන් දෙන්නට ප්‍රවහණ පහසුකමුත් සලසලා දුන්නා. දෙන්නා මුස්ලිම් එකක් නුවරඑළියෙ අනිත් එක මඩවල දෙන්නා නෑදෑයො, ගෙවල් 2ක වැඩ. ඉමෝ, වයිබර්, වට්ස්ඇප් ඉන්ටර්නෙට් නැති ඒ කාලේ ඉතිං මොබයිල් එකට සල්ලි දාගෙන තමා කතාව. 

            ඔන්න ඉතිං එක දවසක අර සුන්දර ළඳක් වැඩ කරන ගෙදර සියළු දෙනාම වෙන රටකට ගිහින් කියලා මයිනට ආරාධනා කරා එන්න කියලා උදෙන්ම.  මයිනප්පුවත් ඉතිං  පාන්දරම සුවඳ සබන් ඇඟ ගාලා සෙන්ට් කුප්පියකුත් නාලා වැඩට යනව වගේ ගෙදරින් ගිහින් අර ගෙදරට ගියා.  ඕං ඉතිං මයිනව වාඩි කරවං කතා බහ කරන අතරේ මයිනට බ්‍රෙක්ෆස්ට් හදලා.  ඔම්ලට්, සොසේජස්,ටෝස්ට් පාන්,බටර්,ජෑම් සහ අරවද මේවද සමග පත සයිස් ෆ්‍රෙෂ් මිල්ක් එකක්!

     සියළු සංග්‍රහයන් අවසානයේ මයිනා ඉන්නවා ඊළඟ කෑමට සූදානම් වෙමින්, ඒ  අසිරිමත් ළඳ පැමිණ දුන්නා හාදුවක් ආයේ ඉතිං....





    කියන්න අජුතයි මිතුරනි පෙරදා රෑට  කාපුවා, උදේට ගෙදරින් බීපු ප්ලේන්ටිය, මේකි දුන්නු උදේ කෑම සහ කිරි එක සියල්ලම    ඕ........ක්  ගාලා  එළියට! අද  මේ ලියන  වෙලාවෙත්  මට අප්‍රියාසයි ඒ ප්‍රියංභිකාවගේ කටේ ගඳ! බාත් රූම් එකකට රිංගලා ඇති වෙන්න වමනය කිරීමෙන් පස්සෙ, "පස්සෙ  එන්නං  ෆාතිමා,  ඇඟට හරි නෑ කියලා"  මයිනා මාරු!!   සිම් එකත් මාරු මයිනත් මාරු ලව්ත් එපා ෆාතිමාලත් එපා කියලා එදා පටන් හිතට ගත්තා. අක්කගෙ මිරිස් හොදිවලට පිං සිද්ද වෙන්න යංතං දවස් දෙකකට පස්සෙ වැඩට ගියා.

    දෙවනි කතාව..

   ලංකාවේ නන්නත්තාර වෙලා කුජීත වෙලා  ඉඳලා රට ගියපු මයිනගේ පෙර පිං පල දීලා  මයිනට තරමක පහෙ රැකීයාවක් ලැබුනා.  අවුරුදු දෙකක් විතර රට ඉඳලා ලංකාවට ගොඩ  බහද්දි මයිනාගෙ ලංකාවෙන් යද්දි තිබිච්ච හඩු ගතිය ගිහිල්ලා, පෙම් පාට වැටිලා, කැහුටු ශරීර කූඩුව වෙනුවට හොඳ ෆිට් බොඩි එකක් එහෙම සෙට් වෙලා නළුවා වගෙ වෙලා.. ඉස්සර රවපු ඔරවපු කෑලි ඉතිං පාරේ දැක්කම "අයියා කවදද ආවේ", "ආයෙමත් යනවද"  ආදි වශයෙන්  පැනලා දෙනවා.  මයිනගෙ රැකියාව සහ මයිනගෙ රට ජීවිතේ දැකපු උන් ඉතිං ගමට ඇවිත් කියපු කතන්දරත් එක්ක ගමේ එවුන්ගෙ හිතේ මයිනා එහෙ තෙල් ලිඳක අයිතිකාරයෙක් කියලා!

            මයිනාගෙ සාර්ථකත්වය ගැන උඬගු වෙලා හිටපු රියල්ම චරිතය තමයි රංජනී මාතාව! එතුමියට අනුව එවකට ජනාධිපති චන්ද්‍රිඛා මැඩම්ගෙ දුව දුන්නත් මයිනගෙ තත්වෙට හරි යන්නෙ නැත.  රට ඉඳලා ආපු දවසක කුක්කුඩෝල් අහම්බෙන් හම්බවෙලා වගතුග කතා කරපු එකත් රංජනි මාතාවගෙ කණට ගියපු නිසා මයිනා හිතුවා ලව් සීන් එකක් පටන් ගන්න..

               එවකට  සහ අදටත්  හික්කඩුවේ සාර්ථක ව්‍යපාරික ආයතනයක වැඩකරන කෑල්ලක් හිටියා.  මයිනා ඉතිං ගෙදරට අවශ්‍ය බඩු එහෙම තොග මිළට ගන්නෙ එහෙම යන්නෙ එතනට.  ඕං බැලුවා කෑල්ල  ඉටිකිරිස්! උසට ගැළපෙන මහත.. "නිසි පුළුලුකුළ ඉඟ සුඟ ගත හැක මිටින" මයිනගෙ බාප්පගෙ පුතා ස්වේඡ්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා අයියගෙ දුරකථන  අංකේ දුන්නා ඉතිං නෑනා කරගන්න හිතන්.

     ඕං ඉතිං ටෙලිෆෝන් සංවාද පැය ගණනාවකට පස්සෙ මයිනප්පු සහ ඉටිකිරිස්  ඉරිදාවක හවස හමුවීමට තීරණය කරා.  අළුත්ගම කන්දේ විහාරෙට තමා යං කිව්වේ. මයිනා ඉතිං ශාරුක් ඛාන්ගෙ නැන්දගෙ පුතා වගෙ ගියා අළුත්ගම.  දෙන්නා එක්ක මලුත් අරන් තෙලුත් අරන්  කන්දේ විහාරෙ වැඳ පුදාගෙන අළුත්ගම ඉඳන් හික්කඩුවට කෝච්චියෙ දොරකට හේත්තු වෙලා  එනව.  අනේ  ඉතිං  අම්බලන්ගොඩ හරියෙදි මයිනා පාත් වෙලා  "මුවට  මුව  තියා" ඉංග්‍රිසි විදියට මොනවහරි කරන්න හිතුවා. හම්මේ ඉතිං ඒ පුසුඹ තුං  නොදකින් ගෑණු සංහතියම එපා උනා. අරකිට  පයිං එකක් දෙන්න හිතුනා කෝච්චියෙන් බිමට  වැටෙන්න. 
      අම්බලන්ගොඩින් කෝච්චිය නැවැත්තුවට පස්සෙ  මයිනා  පොඩි වැඩ වගයක් තියෙනව කියලා කොච්චියෙන් බැහැලා මාරු. ඊළඟ දවසේ  පාන්දර මයිනා කොළඹට හම්මෙ ඉතිං ඉටිකිරිස්  කෝල් පිට කෝල් මයිනා ඉතිං ඉතාම වැඩ අධික බවක් පෙන්නා ඊට දවස් දෙක තුනකට පස්සෙ    ටිකට් එකත් මාරු කරන් රට.  මයිනගෙ බාප්පගෙ  පුතණ්ඩියාට හෙන ප්‍රශ්නේ යකෝ මෙච්චර ඉටිකිරිස් කෑල්ලකට මොකද බොළ මූ කැමති නැති උනේ ඇයි කියලා. 



    

"ඈ  බං  අයියෙ  ඇයි අරකිට  කැමති  නැති උනේ?"

"තෝ  මැරිච්ච  පූසෙක් දවස් 3ක් විතර කුණු වෙන්න තියලා ඉඹලා බළපිය ගල් ඉබ්බා=*%&**"

"ඇයි බං ඒ?"

"බොළ  ඒකිගෙ  කටේ ගඳ දැනුනා නම්  අහළ ගං 7ක ඉන්නනේ නෑ මිහිපිට මනුස්සයෙක්"

"හුටා  බං"

ඔන්න  ඔහොමයි බොළව්  මයිනගෙ  ලව් බ්‍රේක් උනේ.....  එන්නං  ඈ......
- August 24, 2019 No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: මයිනාගෙ ගමේ කතා

මයිනාගෙ කතා.... 50 ආදර කතා .. කුක්කුඩෝල්


මයිනාගෙ කතා.... 50 … 
ආදර කතා .. කුක්කුඩෝල්

                             මයිනගෙ කුළුඳුල් ප්‍රථම ආදර කතාව පටන් ගත්තෙ කුක්කුඩෝල් එක්ක. හැබැයි ඉතිං මයිනගෙ හැළප ලුක් එකට සෙට් වෙන කෑල්ලක් නොවෙයි කුක්කුඩෝල් කියන්නෙ.ඒත් සෙට් උනා සිකුරු උච්ච වෙච්ච වෙලාවක මල්සරා විදපු හී සැරක් කැරකිලා වැදුනු නිසා. ඒත් ඉතිං ඇත්තම කතාව නං අහල ගම් 7ක එකෙක් නොවෙයි කුක්කුඩෝල්ට ට්‍රයි කරේ. ඒකට හේතු උනේ රටේ බේබද්දෙක් වෙච්ච කුක්කුඩෝල්ගෙ තාත්තා නිසා, අනික තමා වත්ත උඩින් ගියා කියලා කුඩුකාරයෙකුටත් මන්න පාරක් කෙළපු හෙනම නසරාණියා. කෙල්ලට ට්‍රයි කරපු ගමේ එක කොල්ලෙක්ව පොල් ගහාක බැඳලා අම්බානක ගහපු නිසා වෙන කොල්ලෙක් නෙවෙයි එකි දිහා ඇහැක් ඇරලා බැලුවේ.ඒ කලේ කුක්කුඩෝල් හිටියෙ 10 වසරේ ස්කෝලේ හිටපු දක්ෂම ළමයෙක් වගෙම අමුතු පෙනුමක් තිබුනු පට්ට කෑල්ල.



මයිනා ඉතිං ස්පෝර්ට් මීට් එකක් බලන්න ගියපු වෙලාවක කුක්කුඩෝල්ව දැකලා පොඩි ට්‍රයි එකක් දුන්නා. කොල්ලෙක් දෙසවත් නොබලා වේළි වේලි හිටපු මේකි දැම්මා ෆුල් ආඩම්බරේ, මයිනත් ඉතිං "ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන්ඩේ යූ කැන් ඩයි" කියලා උපරිම උත්සහයෙන් හිටියා.අම්මා කවපු බතුයි බල මාළුයිවල හයියට මයිනා අභියෝග ජය ගන්න හරි හපනා වෙලා හිටියෙ, කුක්කුගෙ අප්පට #€% ගං කියලා මයිනා දුවට ට්‍රයි කරා. ඒත් ඉතිං මේකිගෙ හෙනම කලර්. හවසට ස්කූල් ටයිම් එකට එහෙම ගියාම ගැස්සිලි පැද්දිලි ඇඹරිළි කෝටියයි. ඒ අල්ල පනල්ලෙ ඒකිගෙම පංතියෙ හිටපු තෙල්වත්තෙ කෙල්ලෙක් ඉතිං මයිනා දැකපු ගමං ළඟට ඇවිත් කටපුරා සිනාසි හද පුරා නැගුණු ප්‍රේමෙන් කතා බහ කරනව. ඒ කෙල්ල දුරින් මයිනට නෑ කමකුත් තිබුනා. ඕං ඉතිං මයිනා කල්පනා කරා මේ ගල් ඉබ්බිගෙ ආඩම්බර මොකට බලනවයෑ ට්‍රයි කරනව තෙල්වත්තෙ එකට කියලා හිතලා අවසාන වතාවට ගිහින් කුක්කුඩෝල්ගෙ ඇහුව්වා.

මයිනා :- ඔයා මොකද කියන්නෙ හා ද, බෑ ද එච්චරයි ආයෙමත් මම කරදර කරන්න එන්නෑ.

කුක්කුඩෝල්:- මගෙ පස්සෙ එන්නෙ නෑනේ ප්‍රියංකගෙ පස්සෙන්නෙ එන්නෙ ඉතිං එයා එක්කම යාලු වෙන්න එපැයි.

මයිනා :- හපෝ ඒ මගෙ නෑයෝ ඔයා මොකද කියන්නෙ කියනවකො.

කුක්කුඩෝල්:- මං කැමතියි ආයෙමත් ප්‍රියංකා එක්ක කතා එපා හරිද?

                                             මේකි කල්පනා කරන්න ඇති වේලි වේලි නියඟෙට අහු වෙලා හිටපු හම්බන්තොටට වතුර බවුසරයක් වගෙ ආවෙත් මූ විතරයි මූත් නැති උනොත් වේලෙන්නම තමා වෙන්නෙ කියලා. ඕං ඔහොම මයිනා සහ කුක්කුඩෝල් ආදර කතාව පටන් ගත්තා, ඒ වෙද්දිත් කුක්කුඩෝල්ගෙ පංතියෙ හිටපු මයිනගෙ ගමේ කෑලි ටිකයි ඒ පංතියෙම හිටපු මයිනගෙ ආදරණිය බාප්පා කෙනෙකුගෙ දුවයි සීන් කෝන් එක දැන ගත්තා.අර තෙල්වත්තෙ නංගිගෙ "පෙම් කැකුළ පිපි එනවිට මහදේ.... එය පරව ගියා" සීන් එක නිසා ඒකි දුෂ්ඨයාගෙ චරිතයට ප්‍රවිශ්ඨ උනා. එහි ප්‍රථිඵළය ලෙස පොඩි අක්කා හමුවි සියල්ල පවසා කුක්කුඩෝල් සහ මයිනාගෙ ප්‍රේම කතාවට තවත් දුෂ්ඨයෙක් එකතු කරලා දුන්නා.

                                     ඒ කාලේ ඉඳළම මයිනා කවි, නිසඳැස් එහෙම ලියාගෙන නිවාඩු පාඩු වෙලාවක චිත්‍රයක් එහෙම අඳිමින් තමා හිටියෙ. සඳරේණු කියලා තිබුනු පත්තරෙ හැම සතියෙම මයිනා ළඟට ඒමත් ඉඳ හිට මයිනා ලියපු අකුරක් දෙකක් ඔය පත්තරේ තිබිමත් නිසා ගෙවල් වටේ හිටපු කෙල්ලො ටිකත් මයිනට ඉතිං විශේෂ තැනක් දීලා තිබුනා. ඔය අතරෙ හිටපු මයිනගෙ ගෙදරට එහා පැත්තෙ ගෙදරක කෑල්ලක් මයිනා ගැන ආල හිතක් පහල කරන් හිටියා. කුක්කුඩෝල්ගෙ ලව් එකට ඊළඟ හෙනහුරා විදියට පහත් උනේ අන්න ඒ අටමගලේ. පොඩි කාලේ ඉඳලා හොරා - පොලිස්, හැංගි මුත්තං, අල්ලං සෙල්ලං, ගල් 7 කැඩිම, සිං සිං නෝරු, රෑළි රැළි මාලේ, මේ ඔක්කොම කරෙ ඕකිත් එක්ක. මුන හැඩයි උනාට ඒකිගෙ තිබ්බ ළප තොගෙ දන්නෙ මමයි අපේ මල්ලියි නේ, ඒක නිසා ඒකි දෙස නොවෙයි අපිනං බැළුවේ. ආං..... ඒ සෝකෙට ඒකිත් දුෂ්ඨයගෙ පිළට එකතු උනා.

                                   මයිනත් හවසට හවසට ටවුම දිහාවට සයිකල් පදින්න පටන් ගත්තා , තඩියගෙ තනි නොතනියට කවදත් හිටපු මයිනා වෙනුවෙන් තඩියා මිත්‍රයා උදෙශා දිය හැකි උපරිම සහය දුන්නා. මයිනාගෙ හැට හුටාමාරක් වෙච්ච අපත ගැන්සියම ලව් එකට උදව් කරා සහ දෙපැත්තෙම ගෙවල් වලට ලීක් නොවන ලෙසට වග බලා ගත්තා. ඔය අතරෙ මයිනගෙ එක යාළුවෙක් හිටියා ඌට තමා කට්ටා කියන්නෙ. කුක්කුඩෝල්ගෙ ආච්චියි ඌගෙ ආච්චියි සහොදරයො. හැබැයි ඉතිං කට්ටා මයිනගෙ බුදු බොක්ක. කට්ටත් ඔය ලව් එකට ෆුල් සප් එක දුන්නා වගෙම මයිනා හින්දා කුක්කුඩෝල්ගෙ තාත්තා කට්ටා එක්ක මළ තරහයි.

                                 ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියනව නේ, කුක්කුගෙ ලොකු නැන්දගෙ පුතා කුක්කුගෙ ගෙදරට කේළම් කීම ආරම්භ කරා. දෙපැත්තෙම ඈයෝ දෙන්නට වළිය, රංජනී මාතාවට අනුව රදා, බෙරව බැරිනං අභිකුණ්ඨක කෙල්ලෙක් උස්සං වර තොටගමුවේ @සාවියො නැතුව. ගෑණිගෙ බරට රත්තරං දුන්නත් අනෝතප්ත විලෙන් නාවලා ගෙනාවත් තොටගමුවෙන් ගෑණු එපා. පිළිගන්න මිත්‍රවරුනි තොටගමුව එතරම් චාටර් දෙයියනෙ. කේළම් කියන කුක්කුඩෝල්ගෙ නැන්දගෙ පුතා ස්කෝලෙ ගියෙ අම්බලන්ගොඩ, පංති ගියෙ හික්කඩුව ශිල්ප ශාලිකා එකට.දවසක් හැන්දෑවේ හික්කඩුවෙ පොළ පාරෙ මයිනයි කුක්කුයි කතා බහක නිරත වෙලා ඉන්දැද්දි අර අපතයට මාට්ටු. කුක්කු කිව්වා "අද නම් මං ඉවරයි අයියෙ" කියලා. අනේ
ඉතිං මයිනා අරූට කිව්වා
"
මල්ලි උඹ ගෙදරට කියන්න එපා මේකිට තාත්තා ගහනව පව්නේ බං"
"
මං කියනව තමයි මේකි තෝ එක්ක පඳුරු ගානේ රිංගන්න"
"
තෝ මතක තියා ගනිං එක පහරක් හරි ගහලා තිබුනොත් මං තොගෙ කණ පළනව"
ඕං ඔහොමයි පළවෙනි වළිය ඇති උනේ, ඌ ගෙදරටම ගිහින් මාමට විස්තරේ කියලා කුක්කුඩෝල්ට අම්බානක බඩු ලැබුනා.



                                    ඊට දවස් දෙකකට පස්සෙ ඉතිං මයිනා සහ අපත රෑළ අර කේළමාට අම්බානක බඩු දුන්නා හික්කඩුවෙ ස්ටේෂන් එකේ දාගෙන. වැඩේ ලෙඩේ වෙලා පැමිණිල්ල ගෙදරට, රංජනී මාතාව සහ පියරජානේ පුතණ්ඩියගෙ ප්‍රේම කතාන්දරේ දැන ගත්තා. අන්න එදා ඉඳං මයිනට හෙනහුරා ලැබුවා "කෑමට පෙර කෑමට පසු, නින්දට පෙර නින්දට පසු සහ නින්ද අතරමැද" ආදි වශයෙන් වෙලාවක් කලාවක් වග විභාගයක් නැතුවම කොස්සෙන්, ඉදලෙන්, කුරුඳු පොල්ලකින් සංග්‍රහ සත්කාර ලැබුනා අඩු නැතුව. බොහොම සුළු වරදකටත් කුරුඳු පොළු පාර නම් ෂුවර්, ප්‍රසාද දීමනා සහ වෙනත් පොකට් මනි එහෙම කප්පාදු උනා.

                                          මයිනගෙ මල්ලිට වරදාන වරප්‍රසාද වැඩි උනා සහ උගෙ මාතෘ සෙනෙහස උතුරා ගියා. ඒ මදිවට අර අට මගලේ පොඩි අක්කාගෙ කේළම්කාරියන් සමග ගැටිම නිසා ලව් එක මළ ඉළව්වක්ම වෙන්න උනා. රෑ 12ට එකට ගඟෙ පැනිම, දැළි පිරිච්ච චිමිණි දිගෙ බඩ ගෑම වගෙ දේවලුත් සිද්ධ උනේ ඔන්න ඔය ලව් එක හන්දා තමයි. අපරාදේ කියන්න බෑ දෙන්නා රෝමියො ජුළියට් වගෙ ආදර කතාව දිගටම ඇදං ගියා. ඔන්න  ඔය අටමගලේ ගැනත් ටිකක් කියන්න තමා හදන්නෙ.
____
මයිනා____

- August 24, 2019 No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: මයිනාගෙ ගමේ කතා

මයිනාගෙ කතා..... 49 පෝස්ටර් ගැසිම

මයිනාගෙ කතා..... 49 ... පෝස්ටර් ගැසිම..

ප්‍රචාරණ මාධ්‍යයක් විදියට බොහොම ජනප්‍රිය ක්‍රමයක් තමයි පෝස්ටර් ගැසිම. පොස්ටර් වලටත් එක එක විදියෙ සීසන් එනව නෙ. O/L රිසාල්ට් එනකොට රටපුරා රිවිෂන් පංති, ඒ ලෙවල් නිසැක ජය උදෙසා අරයගෙ මෙයාගෙ එයාගෙ පංති. එකවුන්ටින් - බෝලවලාන සර්, සිංහළ - වනාතමුල්ලෙ සොත්තිසේන හිමි, සමාජ විද්‍යාව - ඇටකරකවනගෙ සර්, දේසපාළන විද්‍යාව - මඩපාත සර්, කෙමෙස්ට්‍රි - සරමකැඩුවගෙ සර් ඔන්න ඔහොම ඉතිං ලංකාව පුරාම දීප ව්‍යාප්ත වෙනව ටියුෂන් කඩ පිළිබඳව දැනුවත් කිරිම්. ඊළඟට ඒ ලෙවල් සීසන් එක ෆේල් වෙච්ච එවුන්ට රිවිෂන්, ඉංග්‍රිසි කඳවුරු, ඩිපලෝමා......... අරවා මේවා.
ඊළඟ එක තමා ඡන්දෙ කාලෙට එන හිනා මූනු හැබැයි අර සමාජරෝග පක්ෂෙ එවුන් නම් හයියෙන් පඩයක් ගියත් මාර පෝස්ටර් තොගයක් ගහන්නෙ ලංකාව පුරාම. ජනහිතකාමි, ජනතාවදි, ගම දිනවන රට දිනවන, යහපාලනෙ අනාගතේ අපේ අතේ, ....... ඔන්න ඔහොම ඉතිං එක එක පොස්ටර්. ඔන්න ඔය පෝස්ටර් ගැහිල්ල ගමෙන් ගමට ඉස්සර නම් පාක්ෂිකයොම ගස්වල ගල් උඩ තාප්පවල ගැහුව්වට වැඩේ මොඩිෆයි වෙලා පෝස්ටර් සීන් එක දේශපාලන බලය වැඩි එකාට සහ මැර බළය වැඩි එකාගෙ කැමැත්තට සිද්ද වෙන දෙයක් බවට පත් උනා. අනුව දශකයෙ අන්තිම හරියෙ එහෙම නැත්තං මේ සියවසෙ මුල්ම හරියෙ අපේ හොරගොල්ලෙ ලොක්කි රට කරවන සමයේ විස්කි සමග තාර මස් ස්ටූ සප්පායං වෙලා ඒ ඡන්දයෙ ඡන්ද ව්‍යාපාර කටයුතු සඳහ බළ ඇණි බළමුළු සූදානම් කරා.



මෙන්න මේ කියන කාලයෙ මයිනා පුතා ආර්ථික අහෙනියකට පාත්‍රවෙලා ගම හැරදා සිදාදියට සේන්දු වෙලා ලංකාවේ විවිධ පළාත්වලින් ඇවිත් එකට එකතු උනු ගල් ඉබ්බන් රැළක් සමග තමයි හිටියෙ. මාලබේ කහන්තොට තිබුණු එක්තරා ස්කීම් එකක පාළු ගෙදරක ඉඳගෙන, ඒ ගේ අයිති මහත්තයාගෙ සල්ලිවලින්ම කාලා හතරවටේ වෙලවල්වල හිටපු බට්ටො, අංකුට්ටො, කාවයියො, ලූල්ලු, මඩියො, කනයො ආදි වශයෙන්  ජළජ ජීවින් මදුරු දැලක ආධාරයෙන් අල්ලගෙන තෙලට මිරිසට කිරට කෑවා. ඕං ඔය අපත රැළ අතරෙ හිටියා කැබතිගොල්ලෑවේ ගල් ඉබ්බෙක්... අපරාදේ කියන්න බෑ ඉබ්බෙක්, හාවෙක්, මී මින්නෙක්, ඉත්තෑවෙක් සතියකට සැරයක් ත්‍රිවීල් කේබල් එකක ආධාරයෙන් කොතන හරි තැනක එල්ලිලා තිබුනා. අනිත් එවුං දඩ මස් කෑවට මයිනා නම් කුකුළා පමණයි කෑම පිඟානට ලං කර ගත්තෙ.

ඔන්න ඔය කියපු බංගළාවෙ ඉඳගෙන මයිනා ඇතුළු අපත රැළ එක එක ක්‍රියාකාරකම් කරමින් දැහැමින් සොඳින් කාලය භක්ෂණය කලා. හිටපු අපත රැලේ වළස්මුල්ලෙන් ආපු සුපිරි බුලට් 6ක් හිටියා, ඔය 6න් එකෙක් එවකට පැවති රාජ්‍ය බළයෙ හිටපු පක්ෂයෙ ප්‍රබළ ආධාරකරුවෙක් වගෙම බසනාහිර පළාතේ හිටපු මන්ත්‍රි කෙනෙකුගෙ සෙකට්‍රි කෙනෙකුගෙ ළඟම ඥාතියෙක්. ආං අර ඥාති සෙකට්‍රියා මේ ඉන්න අපත රැළට පෝස්ටර් ගැසිමේ කොන්තරාත්තුවක් අපේ එකා හරහ ලබා දුන්නා ඒ සඳහ ලොකු ගෙවිමකුත් කරන බවට පොරොන්දු උනා. පෝස්ටර් සහ වාහනයක් ඇතුළු පහසුකම් ඒ මන්ත්‍රිතුමා විසින් ලබා දෙන බවටත් පොරොන්දු උනා. ඔන්න ඔය කොන්තරාත්තුව බාර අරගෙන අපේ එකා සතුටින් ඉපිලිලා ඇවිත් විසතරෙ කිව්වා. එදා රෑ කට්ටියම ඉදිරි පියවරවල් සහ කලයුතු වැඩ කටයුතු සාකච්ඡා කරමින්ම නින්දට ගියා.

මයිනා ඇතුළු පිරිස හිටපු නිවස අයිතිකාර උත්තමයගෙ හිතවත් යාළු මිත්‍ර මහත්තයෙක් තමා ඔය ගෙදරට ඇවිත් සතියකට සැරයක් නිවසෙ තත්වය සහ අපතයන්ගෙ ක්‍රියාකලාපය පරික්ෂා කරලා ගියෙ. අපරාදෙ කියන්න බෑ එතුමාත් හරිම හොඳ මනුස්සය ඉඳ හිට ගෙදර හදපු කෑම වේලක් එහෙම ගෙනත් දිලා ඔය අතටත් කීයක් හරි දුන්නා. හැබැයි ඉතිං අර කැබතිගොල්ලෑවේ අපතයගෙ උගුල්වලට අහුවෙච්ච හාවා, ඉත්තෑවා වගෙ සත්තුන්ගෙ මස් හොද්ද නම් මහත්තයටත් දුන්නා. එදා උදෑසන ඔන්න ඔය හොඳ මහත්තය  ඉඳි ආප්ප බාජනේකුත් උස්සං කඩා පාත් උනා අපත රැළ ඉන්න තැනට. අපිත් එක්කම එකට ඉඳං ඉඳි ආප්ප කන ගමං මහත්තයා ඉතිං ඉල්ලිමක් කරා එවකට බලය නැතුව හුළං බැහැලා හිටපු හිටපු පක්ෂයේ පෝස්ටර් ටික ගහන්න සෙට් වෙයල්ලා කියලා. "රැල්ල අපිට බවත් සිංහළ බෞද්ධයා චෞර රැජිණ ගැන කළකිරි ඇති බවත් බලය ලැබුනු පසු අපතයන්ට රජයෙ රැකියා සහ වෙනත් තනතුරු ලබා දෙන බවත් මහත්තයටත් රජෙක් වගෙ හිටිය හැකි බවත්" තමා කිව්වෙ. අනේ ඉතිං අර වළස්මුල්ලෙ එකා කිව්වා සර් බය වෙන්න එපා අපි බොක්කෙන්ම සර්ට උදව් කරනව අපිට පෝස්ටර් ටික දෙන්න ඉතුරු හරිය අපි බලාගන්නම් කියලා.

ඊට දවස් කිහිපයකට පස්සෙ ඡන්ද ව්‍යාපාරය පටන් ගත්තා වළස්මුල්ලෙ එකා අදාළ මන්ත්‍රිවරයගෙ වහනය සහ පොස්ටර් අරන් ආවා. අපේ හිතවත් මහතැන් තවත් පෝසටර් තොගයක් ගෙනත් දුන්නා. ඒ පක්සෙ සහ මේ පක්සෙ දෙකේම පෝස්ටර් අපි ළඟ. දැන් ඉන්න අපත රැළ හිතුවා දෙපැත්තට බෙදිලා ගිහින් පෝස්ටර් ගහන්න. වළස්මුල්ලෙ එකා කිව්වා කවුරුත් බෙදිලා යන්නෙ නෑ මේ වහනෙන් ගිහින් දෙපැත්තෙම පෝස්ටර් ගහමු ඒක ආරක්ෂාවට හොඳයි කියලා. ඒ කාලේ ඇත්තටම විරුද්ධ පක්ෂෙ එකෙකුට පෝස්ටරයක් ගහගන්නව කියන්නෙ හරිම අමාරු වැඩක්. පැවති රජයට මැර බලය පොලිස් බලය දෙකම ඇති නිසා බය නැතුව ඕනෑම තැනක ඕනෑම වෙලාවක පෝස්ටර් ගැසිමෙ බලය තිබුනා.



විස්වාස කරන්න සුපෙම්වතුනි අපි දෙපැත්තෙම පෝසටර් එක බස් හෝල්ට් එකෙ දෙපැත්තෙ සාධාරණ විදියට ඇලෙව්වා. පොලිසියද මැරයද මොකා ආවත් රාජ්‍ය බළය තිබුනු මන්ත්‍රිවරයගෙ නම කියා වැඩේ ඇදගෙන ගියා. තාප්ප ගහකොළ බස් නැවතුම්පොළ ආදි සියළු තැන්වල පක්ෂ දෙකෙම අපෙක්ෂකයන් දෙදෙනාගෙම විස්තර සහිත පෝස්ටර් විරාජමාන උනා. ඒ වගෙම දෙපැත්තෙම පක්ෂවලින් නියමයි කොල්ලො ටික යන ගෞරවයත් ආවා, යහමින් මුදල් ගණුදෙනුත් ලැබුනා. එවකට රාජගිරියෙ හිටපු එක්තරා චන්ඩි පොරක් ඩිෆෙන්ඩර් එකකින් ඇවිත් බලද්දි අපි රාජ්‍ය පක්ෂයෙ මන්ත්‍රිවරයගෙ පොස්ටර් ගහනව ඒ වෙද්දි අනිත් පැත්තෙ මන්ත්‍රිගෙ පෝස්ටර් ටික ගහලා ඉවරයි අර චණ්ඩි බුවා "මල්ලිලා අර ප#යගෙ පෝස්ටර් ඔක්කොම වහල දාපල්ලා" කියාගෙ
න ගියා.

මැඩම් ජනාධිපතිව ඉන්දැද්දි පාර්ළිමේන්තුවෙ බලය එජාපෙට ගිහින් බල පෙරළියකුත් උනා නොවෑ.. ඔන්න ඔය කාලේ මයිනා ඇතුළු පිරිසට රජයෙ රැකියාවක් අත වන වන හිටියෙ. ඒත් ඉතිං එවකට කොළපාට පක්සෙ මහ ලේඛම්තුමාගෙ අභාවය හින්දා වැඩේ අංජබජල් උනා. මයිනත් පිටරටකට සේන්දු උනා, වළස්මුල්ලෙ හාදයො කිහිප දෙනෙක් එක්ක සම්බන්ධතා මේ වෙනකනුත් තිබුනට කැබතිගොල්ලෑවෙ එකා සහ පොළොන්නරුවෙ, අනුරාධපුරෙ උං ගැන නම් අරංචියක් නෑ. අදත් අපි එකතු වෙච්ච දවසට ඒ දවස්වල කරපුවා මතක් කරලා හිනා වෙන එක තමා කරන්නෙ.

මාලබේ ස්කීම් එකේ ගෙදරක හිටපු නංගියෙකුත් අරං වළස්මුල්ලෙ එක හාදයෙක් පැනලා ගියා. ඒ සිද්දියට අපි හිටපු නිවස වට කරලා කෙල්ලගෙ නෑයෝ නොනෑයො සහ ඒ අවට හිටපු ඇතැම් නහර වැඩි අයියලා මල්ලිලා කිහිප දෙනෙකුත් වලියට ආවා. හැබැයි ඉතිං අපේ වළස්මුල්ලෙ බුවා තමුන්ගෙ ඥාතියා හරහ පොලීසියට එන්න කියලා වැඩේ බේර ගත්තා ඊටත් දවස් 3කට විතර පස්සෙ අර නහර වැඩි ගමේ මල්ලි කෙනෙකුයි අයියා කෙනෙකුයි හැන්දෑ ජාමේ උස්සලා ඒ කිට්ටුව තිබුනු පරණ රබර් ස්ටෝරුවකට අරන් ගිහින් වැඩි නහර අයින් කරා වැඩේ කියන්නෙ ඒ වීරයො දෙන්නටම ඇඳං හිටි වස්තරාවල චූ ගියා. ඊට පස්සෙ ගමේ ඈයෝ වීරයො උනේ නෑ. කෙල්ල උස්සපු එකා මේ වෙද්දි තිදරු පියෙක්, ස්කීම් එක අවටම තැනක ඌත් පදිංචි වෙලා ඉන්නව. මයිනත් අතීත මතක අස්සෙ පියාසලා සිනාසලා ආදරෙන් ඉන්නව. එහෙනං ඉතිං ගිහින් එන්නං ඈ......
🤔____මයිනා____

- August 24, 2019 2 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: මයිනාගෙ ගමේ කතා
Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

Search This Blog

  • Home

About Me

My photo
මයිනා
View my complete profile

Blog Archive

  • June 2020 (7)
  • May 2020 (4)
  • April 2020 (4)
  • March 2020 (5)
  • February 2020 (5)
  • January 2020 (1)
  • September 2019 (12)
  • August 2019 (9)
  • April 2019 (10)
  • March 2019 (4)
  • February 2019 (2)
  • January 2019 (2)
  • December 2018 (1)
  • November 2018 (3)
  • September 2018 (1)
  • August 2018 (2)
  • July 2018 (4)
  • June 2018 (11)
  • May 2018 (7)
  • April 2018 (9)

Labels

  • ඇසු දුටු කතා
  • තොටගමුවේ කථා
  • මයිනාගෙ ගමේ කතා

Followers

Popular Posts

  • මයිනාගෙ කථා ... 8 .. දිමිත්තයා
    මයිනාගෙ කථා .... 8 ..  දිමිත්තයා අහලා තියෙනවද කිහල්ලකො දිමිත්තයා ගැන . ඌ මාළුවෙක් මෙන්න සයිස් අඟල් එකහමාරක් විතර ඇති .  මිර...
  • මයිනාගෙ කතා... 27 ජංගිය
    මයිනාගෙ කතා... 27  ජංගිය ජොකා, පෑන්ටිය, ජංගිය, යට ඇඳුම, අන්ඩර් වෙයාර් එක, මයිනා කූඩුව..... ඕං ඔහොම නම් ගොඩයි නේ අයිටම් එක එකක් උනාට. ඒ කා...
  • මයිනාගෙ කතා...3 ගිං පොල්
    ගිං පොල් කිව්වම නම් ටිකක් බලයි මොනවද මේ පොල් කියලා. දන්නා තරමින් නම් ගිංපොල් බහුළව දැක ගන්න පුළුවන් වෙන්නෙ ලංකාවෙ ස්ථාන දෙකකදි පමණයි. එ...
  • තොටගමුවේ කථා - 2
    පුරාණ තොටගමුව විහාරයෙ අදත් දැකගන්න පුළුවන් කෝට්ටෙ යුගයෙ බිතු සිතුවම්. දකුණු ලක සංචාරයකට ඔබ යනවා නම් අනිවාර්යයෙන්ම යන්න මේ විහාරය දකින්න. ගා...
  • මයිනාගෙකතා...93... මැනර්ස්
    මයිනාගෙකතා...93... මැනර්ස්                                                සිංහළ බාෂාව ඇතුලේ වෙනත් බාෂාවලින් රිංගලා එකතු වෙච්ච වචන මහ...

Report Abuse

Related Posts Plugin for WordPress, Blogger...

My Blog List

  • අටම්පහුර
    අපේ හෝ බෝ අමාලිගේ කතා බහක්
  • රසුදැල් Rasudal
    රෝග නිරෝධායන මධ්‍යස්ථානය Quarantine යනු කුමක්ද?

අටම්පහිය

Ethereal theme. Powered by Blogger.