Thursday 4 June 2020

මයිනාගෙ කතා.... 89... තණමල්විල කොල්ලා සහ මං

මයිනාගෙ කතා... 89 . තණමල්විල කොල්ලා සහ මං

                        මේ දවස්වල ස්වාධින රූපවහණියෙ පට්ට කතාවක් යනවාය කියා මුල්ම ඉඟිය ලැබුනෙ මුහුණු පොතෙනි. බොහො කාලයකට පෙර සිංහළ සිනමාව සහ පුංචිතිරයෙන් ඈත්ව සිටි මට ටෙළියක් ලෙස මෑතකදි හිතට වැදුනු ටෙළි 2කකි. එකක් කූඹියො වන අතර අනික ගිණි අවි සහ ගිණි කෙළි නාට්‍යයි. ඒත් මෑතකදි දුටු සිඟිති පාතාළයෙ හැසිරිම සහ වීඩියො දුටු විට ගිණි අවි සහ ගිණි කෙළි නාට්‍යය පිළිබඳව මට නැවත වරක් සිතන්නට යමක් ඉතිරි උනු බව කිව යුතුමය. එවැනි ටෙළි නාට්‍යය ළමා මනසට ගැළපේද? ඒක බොළා තීරණය කරපල්ලා.

                    තණමල්විළ කොල්ලා නැවත පුංචි තිරය මට සමීප කළ බැව් කිව යුතුය. එය වෙනස්ම කතාවක් නොවුනත් සමාජයට යම් පණිවිඩයක් දෙමින් තිබේ. "දීප්ත" මල්ලිව ගොඩ නංවන යශොදරා අක්කාගෙ සියුම් බුද්ධිය සහ හැකියාව ප්‍රශංසනීය බව කිව යුතුමය. මේ කියන්න යන්නෙ තණමල්විළ කොල්ලා ගැන නොවන බව කරුණාවෙන් සළකන්න. එහෙත් හැම ගමකම යශොදරා අක්කලා සිටිය යුතුමය. එහෙම උනා නම් වඩා හොඳ පුරවැසි පිරිසක් ගමට රටට දායාද වීමට තිබුනි.




                             අපේ ගම්වලත් අක්කලා ඇත, තවත් බොහො ගම්වලත් අක්කලා ඇත. හැබැයි ඒ අක්කලා "යශොදරා" නොවන අතර සුද්දි, බට්ටි, ලොක්කි, මද්දු, ටිකිරි, මැණිකෙ ආදි නම් වලින් හැඳින්වින. මේ අක්කලා යශොදරා අක්කා නොවුනත් මහසෝනා ගෙවල් ඉදිරිපිටින් ගියත් වැඩක් නොගෙන නම් අත නොහරි. "ලොකු මල්ලි පොඩි වැඩක් කරලා දෙනවකො" කියන ගමේ අක්කලා බවතරණය, ගම්පෙරළි, කළියුගය වෙනුවට තඩි හම්පඩ පොරවක් අතටදි "මේක පළලා දෙනවකො" කියයි. බැහැ කියන්නට බැරිකමට අර හම්පඩ පොරොවෙන් දෙල් කොටයක් හො වෙනත් දර කොටයක් සමග ඔට්ටු වෙන්නෙ බැහැ කිව්වොත් ඇහෙන කඩප්පුලි කතා නිසාවෙනි. "මට පාඩම් කරන්න තියෙනව" කිව්වොත් වැඩේ නහුතං වෙන නිසාම කට වහගන දර පැළිම සුදුසු බව ගමේ කොල්ලො දනිති. "උඹ පාඩං කරලා මහ ඒජන්ත වෙන්න ඇති හිතාගෙන ඉන්නෙ" " බළකො මූ ගියපු උඩක් , රට අල්ලන්න වෙන්න ඇති" ඔවැනි කතා අහනවාට වඩා දර පැළිම යෙහෙකියැයි මල්ලිලා දනිති.

                       යශොදරා අක්කා රුසියානු සාහිත්‍යය කියෙව්වාට ගමේ බොහො අක්කලා කියවන්නෙ ලාංකිය පත්තර කලාවයි. සුවඳ, සඳරේණු, බිරිඳ, ප්‍රියාදරි, සේම චිත්‍රකතා පත්තරද මේ ගොන්නෙ විය. ඒ අක්කාගෙන් මේ අක්කාට ඒ අක්කාගෙන අර අක්කාට ආදි වශයෙන් පත්තර අදින රස්සාවද කිරිමට වන්නෙ මල්ලිලාට වන අතර එවැනි පත්තර කියවීමට මල්ලිලා නිකන්ම ඇබ්බැහිවිම සිදුවේ. එකළ මයිනාද ප්‍රියාදරි සහ චිත්‍රකතා පත්තර ආශාවෙන් කියැවිමට ඇබ්බැහි වි සිටි අතර නැට්ටට කිරි උනන වයසේ එවැනි පත්තර හම්මේ.... හාය. මර්ටින් වික්‍රමසිංහ නොදත් ගමේ අක්කලා සුජීව ප්‍රශන්න ආරච්චි, මහෙෂ් රත්සර, යෞවන සමින්ද්‍ර, ආසිරි වනිගරත්න, ප්‍රදීප් කුමාර බාළසූරිය දැනසිටි බව සැබෑය.

                                      සමහර අක්කලා නාන රෙදි හෝදන වෙලාවක ළිඳක් ළඟින් ගියොත් අහවරය. "වතුර 2කක් ඇදලා දෙනවකො" ගෙදරම රෙදිත් හෝදා අක්කටත් නාන්නට වතුර අදින්නට සිදු වන්නෙ මල්ලිත් නොදැනුවත්තමය. ඔය පරිප්පුව වැඩිපුර අපේ තඩියා කෑ අතර සමහර දවසක පැය 3ක 4ක කාළයක් තඩියා පොදු ළිඳට එන ඈයොන්ට වතුර ඇද්දා මතකය. ගමේ මල්ලිලාට පොත පත දෙනු වෙනුවට පත්තරත් උපදෙස් වෙනුවට උදව්වත් ගත්ත අක්කලා නම් ගම්වල ඇත. යශොදරා අක්කා කේක්, බිස්කට්, කෝපි තණමල්විල කොල්ලාට දෙන අතර අපේ ගම්වල අක්කලාගෙ ඇල්වතුර එකක් හො බීමට නම් දානයක්,  මගුළක්, පිරිතක් නැත්නම් උංගෙ ගෙදර එකෙක් සෙට්ටපොයිච්චි වෙන්නම ඕනෑය. එහෙම වෙලත් අක්කා දෙතුන් පාරක් මල්ලිව දැක්කා නම් "තොපිට ගෙවල් නැද්ද බොළව්" අසනු නිසැකය.

                                තණමල්විළ කොල්ලාගෙ සෙට් එක මරුය. පතෝළයා, කිතුලා, හීං අයියා, ජගා ඇතුළු මරු කොල්ලො ටිකකි. ගම්වල එවැනි කොළුනඩ ඕනෑ තරම් වේ. එක සිගරට් එක එක උගුර ගානේ රවුමට යද්දි ඒක වෙනමම ආතල් එකකි. අමු අඹයක් කැබළි වලට කඩා 12 දෙනෙකු කෑ අතීතයක් මයිනාටද ඇත. කොළුකමට කොල්ලො මදාවි වැඩ කරති. ඒවා විවිධය වත්තකට පැන හොරාට කුරුම්බා කැඩිමද වෙනම ආතල් එකකි. කොත්තුවක් ආප්පයක් කෑමට සල්ලි නැති වු විට හොර පොල් කැඩිමද තවත් ආතල් එකකි. සුනාමියට පෙර මුහුදෙ හිරිගල්පර කඩා විකිණිමද අඩුවක් නැතිවම සිදු විය. ගෙදරට හොරෙන් මුහුදට පැන හිරිගල් පර කැඩිමද වෙනම ආතල් එකකි. එහෙම වෙලාවක පොලිසියෙන් පැන රබර් උණ්ඩ වලින් වෙඩි තැබිමද පට්ටම ආතල් එකකි. ඈත ගම්පළාත් වලින් පැමිණ පොලිසියට බැඳුනු සමහර නිළදාරින්ට පිහිනිමට නොහැකි වීමද ආතල් එකකි. පොඩි එවුන් රැල්ල පාගනව මෙන් වතුරටත් ගොඩටත් පනිමින් එවැනි නිළදාරින් දෙන ආතල් එකද පට්ටය. වැළි ගොඩදාන පතෝළයා වගෙම අපිත් පොලිසියට බයෙ දිව් අතීතය අදද මතකේ මැවේ.

                                    ගම කොහෙ උවත් ලංකාව පුරාම කොල්ලන්ගෙ ආතල් එක හා සමානය. එක්ස්රේ කාඩ් ඩ්‍රම 90 දශකයෙ යෞවනයන් අතර පැතිර ගිය තවත් උන්මාදයකි. ෆුට් එකට නිල්පාට බැරළයක් තබා නිර්මාණය කරගත් ඒ ඩ්‍රම පෙර බොහො සැඳැවන් අමානන්දයට පත් කලේ නිතැතිනි. යුද්ධය පැවති කාලයෙ අපේ ගම්වලද ලොක්කයියලා විය. විටෙක පෙට්ටියක සීල් තබා තවත් විටක බාගයක් විවෘත පෙට්ටියක දමා හො රණවිරුවෙකුගෙ දෙහයක් පැමිණි විටක අපිද දුක් උනෙමු. විටෙක නිවාඩු පැමිණි සොල්දාදු වීරයො අපිට යුද්ධයෙ බිහිසුණු බව සහ ඔවුන්ගෙ කැප කිරීම් ගැනද විස්තර පවසද්දි අපි විශ්මයෙන් ඇලළි ගියෙමු. එදවස අපගෙ සිහින අතර ඉහළින්ම තිබු සිහිනය සොල්දාදුවෙකු වීමයි. යුද හමුදාවේ ඉහළ නිළයකට යෑමට ඉහළට ඉගෙන ගන්නා ලෙස පැවසු බොහො සොල්දාදු සොහොයුරො තණමල්විල කොල්ලාගෙ ලොක්කයියා මට සිහි කරවයි.

                                     90 දශකයෙ සහ දෙදහ මුල් කාලයෙ ස්මාර්ට් ෆෝන් නොමැති යුගයක තරුණයන්ගෙ ජිවිත වඩාත් සුන්දරව තිබුනා යැයි මට සිතෙ. හවසක රස්තියාදුවක් ගසා හැම දවසකම ගෙදිරින් බැණුම් ඇසිම එදවස දෛනික ජීවිතයේම කොටසකි.  තණමල්විළ කොල්ලා උසස් පෙළ පාස්විය බාහිර උපාදිය කිරිමටද සූදානම් වෙයි. එම ප්‍රථිපළයන්හි නියමුවා "යශෝදරා අක්කාය". ගම්වල බොහො අක්කලාට යශොදරා කෙනෙක් විය හැක. ඒත් යශෝදරා වෙනුවට ඒ අක්කලා දර පළන්නට, පොල් කඩන්නට, වතුර අදින්නට, කඩේ යන්නට මල්ලිලා යොදා ගන්නේය. ඒ කාලේ අක්කලා හිටියට දැන්නං ඉන්නෙ අක්කි බබාලලු, කාලේ වෙනස් උනා තාලේ වෙනස් උනා. ඒ කාලෙ අක්කල අපිට කියල පත දර කොට පළව ගත්තට දැන් ඉන්න මල්ලිලා ඊට එහ දේවල් පළනවලු. දැං ඉතිං ඒවා කතා කරලා වැඩක් නෑ. තණමල්විල කොල්ලෙක් ගැන ලියපු මං තොටගමුවෙ කොල්ලෙක්. එන්නං ඈ.......
___මයිනා___

No comments:

Post a Comment