Friday 26 April 2019

මයිනාගෙ කතා... 46 නින්ද


මයිනාගෙ කතා... 46 ... නින්ද ...



                             නින්ද ගැන කියන්නයි යන්නෙ, එක එක ඈයෝ එක එක ඉරියව්වලට නිදා ගන්නව නෙව. පැත්තට, උඩුබැළි අතට, මූනින් පත බෑවිලා වගෙ ඇක්ෂන්වලට නිදා ගන්නව නේ. නිදා ගන්න ඉරියව් ගැනත් නින්ද ගැනත් බුදුන් වහන්සේ කරුණු කාරනා දේශනා කරලා තියෙනව නෙව. සමහර එවුන් ඉතිං නිදා ගන්නෙම මළ පෙරේත සෙයියාවෙන් දැක්කමත් සසර කළකිරෙනව. බුදුරජානන් වහන්සෙ සැතපුනේ සීහ සෙයියාවෙන්ය කියනව නේ, දකුනු ඇලයට හැරි දකුණු හස්තය මත සිරස තබා වම් හස්තය තමන්වහන්සෙගෙ දෙහය මත තබාගෙන සැතපිමට සීහ සෙයියාව එහෙමත් නැත්නම් ශ්රේස්ඨ සැතපිම කියනව නේ.

සමහර ඈයො ඉන්නව නේ රෑට නින්ද එන්නෙ නැති එහෙම අංකල් කෙනෙක් මයිනට සෙට් උනා කෙළඹදි, බළපිටිය පැත්තෙ කෙනෙක් රෑට නිදි නෑ ඇත්තටම මනුස්සයට නින්දක් එන්නෑළු. තව එවුං නිදා ගන්නෙ නෑ නේ රෑට අගුපිල් අස්සෙ රිංගන්න, කොටු පනින්න, බැළමට් දාන්න ඉන්න අපතයො සහ හොරකමෙ යන උං එහෙම. ඕං ඔය අස්සෙ තව සමහර අපතයො ඉන්නව නිදා ගන්න ගියපු වෙලාවෙ ඉඳල එහෙටයි මෙහෙටයි දඟළ ඳඟළ ඉඳල බොහොම අමාරුවෙන් තමයි නින්දට වැටෙන්නෙ. මයිනා වගෙ අපතයො ඉතිං ගෙම්බා පොළවේ ගැහුව්වා වගෙ වැටුන තැන නිදි තමා. සමහර එවුං ඉන්නව කමාන්ඩෝලා වගෙ කොයිතරම් නින්දක හිටියත් බොහොම සියුම් සද්දෙකට පවා ඇහැරෙනව. තවත් එවුං කණ ළඟ ක්ලේමෝ බෝම්බයක් පිපුරුවත් ඉතිං ෂපාන් එකේ නිදි වැඩේ කියන්නෙ මිත්රවරුනි මයිනත් අන්න ගොඩේ තමයි ඉන්නෙ.

මයිනා කියන අපත චරිතෙ නින්දට පට්ට ආදරෙයි හැබැයි ගෙවුනු අවුරුදු 17 කාලය පුරා නින්ද බොහොම දුරට ගිහින් කියලයි මයිනට හිතෙන්නෙ. ඉස්සර මයිනා සොහොන් උඩ, ළිං පඩි උඩ, ගස් උඩත් නිදි වැදිලා තියෙනව. ඕං ඉතිං මේ කියන දවසේ මයිනා දවල් බත් ගෙඩිය ගහලා අනිත් අපතයොත් එක්ක සිමෙන්තියෙන් බැඳපු සොහොන් දෙකක් උඩට වෙලා හරබර සංවාදෙක ඉන්නව. ටික ටික කාලේ ගත වෙද්දි ඕං ඉතිං නින්දක් ඇවිත් මයිනව ආක්රමණය කරා, ඇස්දෙක පියවෙන නොවෙන ගාණට එද්දි මහ ගෝෂාවක් ඇහෙනව.
"මරනවා ඩෝ..... අම්මට *%**"

"ගනිං ඔය කැ[]][}{ බොක්ක එළියට අදින්න"

මයිනා නිදිමත මැද්දෙන් ඔළුව උස්සලා බැළුවා ගමේම එක පැත්තක ඉන්න නැගගෙන එන අළුත් පරම්පරාවේ චණ්ඩි පැටව් ටිකක් තව එවුන් වගේකට ගහන්න ඇවිත්. අනුන්ගෙ ලබ්බවල් අපට මොකෑ කියපු මයිනා "තොපි පාඩුවේ හිටපියව් ඕකුංගෙ අස්සෙ රිංගන්නැතුව" කියාගෙන දෙනෙත් පියාගත්තා.

කොයිතරං වෙලාවක් නිදා ගත්තද කියන්න මයිනට මතක නෑ, හැබැයි තඩියා ඇවිත් "නැගිටපං වහෙ ගෙදර යමං සොහොන් උඩ දපන්නෙ" කියලා තමා නැගිට්ටුවේ. ගෙදර ගියාම ඉතිං අම්මා කියාපි
"පැටියා 99න් බේරිලා තියෙන්නෙ දයාරත්නගෙ කොල්ලා බෝම්බයක් ගහලා"


"බෝම්බයක් ගහලා"


"ඔව් උං පැටියට ගහන්න ඇවිත් ගෙදරට වසන්ත කඩුවෙන් ගහලා එකෙකුට, දයාරත්නගෙ කොල්ලා බෝම්බයක් ගහලා. අපි මහ සද්දෙට ඇහුනා මෙහට ගිහින් බලද්දි තමයි දන්නෙ වසන්තලගෙ ගෙයි පැත්තක බිත්තියක් බිමට වැටිලා" (බෝම්බේ ගහපු තැන ඉඳං අපේ ගෙදරට මීටර් 800 විතර දුර)


"එච්චර හරියක් වෙලාද"


"තෝ කොහෙද හිටියෙ තඩියයි සුද්දයි එතන හිටියානේ, තෝ යන්න ඇති අර තේ උඩිච්චිය බලන්න"


"මම ගිය ඇත්තෙකක් නෑ අනේ තඩියගෙං අහන්න කො බොරු නං"


ඕං ඉතිං තඩියා ආවා හැන්දෑවේ 7 විතර හොට් හොට් නිව්ස් ටිකත් අරං.
"සීටියා පොලිසියෙං අරං ගිහින් චූටියලා හැංගිලාලු"


" පුතේ ඔයතරං රණඩුවක් උනා අපේ එකා දන්නෙ නෑ නේ මේකා කොහෙද හිටියෙ වෙලාවේ"


"ජොසලිං ආත්තලගෙ සොහොන උඩ නේ මූ හිටියෙ, මයිනො උඹට බොම්බ සද්දෙ ඇහුන්නැද්ද බං"


"නෑනේ බං මට නින්ද ගිහින් තිබුනේ"


"අනේ ඉතිං කවුරු හරි ඇවිත් මුගෙ බෙල්ල කපලා ගියත් මු දන්නෙ නෑ නෙව" (ඔළුවට ටොක්කක් මව් තුමියගෙන්)


... බං මයිනො තෝ බිහිරි වෙලාද බොළ සද්දෙ ඇහුන්නෑ කියන්නෙ.
වෙලාවෙ බෝම්බ සද්දයක් ඇහුනේ නැත අපි සෙට් එක හිටපු තැන ඉඳලා රංඩුව සිද්ද වෙච්ච තැනට දුර මිටර් 50-60ක් වෙන්න ඇති උපරිම. අනේ ඉතිං කණ ළඟ බෝම්බයක් පිපිරිලත් ඇහැරු නේ කියන්නෙ ඉතිං තවත් කුමන කතාද?

එහෙනං ඉතිං සනීපෙට නිදා ගන්නයි තියෙන්නෙ.......
____මයිනා____