Wednesday 19 February 2020

මයිනාගෙකතා...73... තඩියා - 1

#මයිනාගෙකතා...73... තඩියා - 1

                                              තඩියා කියන්නෙ මයිනගෙ යාළුවො අතර හිටපු බොක්කෙම ෆිට් එකක්. තඩියා, සයිඩර්, මයිනා සහ පයිතගරස් කියන්නෙ එකටම හිටපු එකම වල්ලෙ පොල් හතරක්. කටා, කට්ටා, #ඩ තෙල්, ඉබ්බා, ගමා, බකට්, රොඩ්ඩා, ලව් කොටා, කොටා..... ආදි වශයෙන් ලොකු පිරිසක් හිටියා.  වළියක් ජොළියක් කෙළියක් ආදි වශයෙන් කොතනත් මේ පිරිස හිටියෙ එකටමයි. මේ හැම එකාටම නම් හැදෙන්න හේතු බූත උනු කාරණා කිහිපයකුත් තිබුනා.  අපේ තඩියා ඇඟපතෙන් විශාලයි අනිත් එක තමා තම්බි ටයිප් රැවුළකුත් වවලා හිටියෙ. වැඩිපුරම ඇන්දෙ සරම දවල්ට යටට ඇන්දට රෑට කොයි ලෝකෙට ගියත් ඉතිං ගණ්ඨාරේ වන වන තමයි. තඩියාට තිබුනු ලොකුම දුර්වළතාවය තමයි ඉක්මන් තිරණ සහ ක්ෂනික කෝපය. හැබැයි ඉතිං මයිනා කිට්ටුවපාත හිටියොත් ඔය තත්වය බොහොම අමාරුවෙන් පාළනය කරනව. අනික තමයි මයිනගෙ අම්මා තඩියට පට්ට ආදරෙයි. තඩියගෙ අම්මා තාත්තා සහ නංගිත් මයිනට පට්ටම ආදරෙයි.




                                                                        හැබැයි ඉතිං තඩියට සිකුරා නම් ලැබුවෙම නෑ, අහළ ගම් 7කවත් එකක් නොවෙයි තඩියට කැමති උනේ.  එහෙමයි කියලා තඩියා කාටවත් ඊරිෂියා කරේ නෑ පුළු පුළුවන් විදියට කාට කාටත් ලව්වලට උදව් කරා.  වළියකදි උනත් අපි කාටත් වඩා ඇඟපත තැලෙන්න කෑවා, ඒ වගෙම අතට අහු උනු මොක හරි කමක් නෑ අරගෙන ඉවක් බවක් නැතුව වනලා අපේ ඔළුත් පැළුවා.  අද හිතුවා තඩියා ගැන මොනවහරි කියන්න, අනික තමයි පිංවතුනි ලැජ්ජාව කියලා කිසිම එකක් නැති හිවලෙක් තමයි තඩියා.  තඩියගෙ අම්මා දන්න දා ඉඳලා හිටියෙ මැදපෙරදිග, තඩියගෙ ආච්චි තමයි තඩියලව හැදුවේ.   තඩියගෙ තාත්තා ගෙදර ආවේ සති දෙකකට මාසෙකට සැරයක් තමා.  උන්දෑ ගාල්ලෙ වරායෙන් ටැංකි බෝට්ටු ගියා, ගෙදර ආව හැටියෙ ඉතිං තඩි බළයෙක් කෙළවල්ලෙක් මයිනට එවලා තමා ඉතිරි වැඩ. බිව්වම ඉතිං පට්ට චොර ඩයල් එක නොබීපු වෙලාවට පොඩි එකා වගෙ.  කොයිතරම් බීලා සරම කරේ තියං හිටියත් මොන වළියෙ මොකා එක්ක හිටියත් මයිනා "මොකෝ අද ජෝගීද ඔයාට" කිව්වනං පොර මයිනා එක්ක ගෙදරට.

                                              තඩියා පොඩිකාලේ ඒ කියන්නෙ වයස 10-12 කාලේ වගෙ ඇති. විජය පත්තරෙ තිබිච්ච රෑප කපලා හදන කතා පොතක කැවුමක් පැළ කරලා ඒකෙං කැවුම් ගහක් හැදිලා කැවුම් ආපු සීන් එකක් තිබ්බා. අපේ තඩියත් කැවුමක් වළක් කපලා හිටවලා පොහොර එහෙම දාලා උදේට ස්කෝලේ යන්න කලින් වතුර දානව. මුගෙ ආච්චි මූ ස්කෝලේ ගිය වෙලාවක කැවුම තිබ්බ තැනට අලිපේර ඇටයක් යට කරලා තියලා. ඕං ඉතිං අර කැවුම ළඟින් අලි පේර කොළයක් එහෙම එළියට ආවම හම්මෙ තඩියගෙ සතුට..... අන්තිමේ ඉතිං ගොං තඩියාගෙ ස්කෝලේ ටීචර් මූට ටොක්කක් ඇනලා තමා කියලා දුන්නෙ කොහෙද මැට්ටො කැවුම් පැළවෙන්නෙ කියලා. 

                         දැං තඩියා ඉළංදාරියා වෙලා එහෙම පාජාවේ යන කාලේ. මුලින් කිව්වනෙ මූට ලැජ්ජාවක් නෑ කියලා. ඔන්න ඉතිං දවසක කට්ටියම ෆිල්ම් එකක් බලන්න ගාළු ගියා 6.30 ෂෝ එකට. ෆිල්ම් එක බලලා එද්දි රෑ 9ට විතර ඇති කටා ඉතිං කිව්වා "අර රවුන්දබවුඩ එකේ චූ කරන එකාට දෙනව රැපියල් 100ක්" කියලා. අනේ ඉතිං අර ගොං තඩියා "මයිනෝ ගනිං ඕකගෙ රුපියල් 100ය" කිව්වා පාර පැන්නා ගියා අර ලස්සනට තණකොළ වවලා තිබුනු තැනට පොලිසිය දෙස බලං දානව චූ පාරක්. ආවා කොහෙන්දො එස්.අයි. මහත්තයෙක් දුනා තඩියගෙ කණට එකක් ටෝරියං ගාලා. තඩියා හිතුවේ අපේ එකෙක් කියලා චූ පාරත් අල්ලගෙනම කැරකුනා හුටා චූ පාර එස්.අයි. මහත්තයගෙ කළිසමෙත් එක්ක. "මොකද හු..... කරන්නෙ" කියලා එස්.අයි. ලොක්කා මෙහෙට පැන්නා තඩියා සරමත් උස්සං දුවලා කතරගම කොළඹ බස් එකකට නැග්ගා. අනේ ඉතිං ඉතිරි සෙට් එකට හිනා ද කියන්නෙ එස්.අයි. ලොක්කා එක්ක ආපු පොලිස් සහයක පොරටත් උඩ පැන පැන හිනා.

                 කොහෙම හරි කටා හික්කඩුවෙන් බැහැලා අනිත් එවුං එනකම් බලං ඉන්නව. වළත්තම වැඩේ කියන්නේ ඉතිරි චූ බාගෙ මූ බස් එකේ එන ගමං පාරට අල්ලං ඇවිත් ත්‍රි විල්කාරයෙක් කෑ ගහනවලු "කවුද ප... වතුර හලන්නෙ" කියලා. කටාගෙ රුපියල් 100යත් ගත්තා බලෙන්ම.

                                         මළගෙවල් දාන ගෙවල් ඇතුලු සියලුම සමාජසේවා කටයුතු කරන තැන්වලට සෙට් එකම යනව වගෙම උපරිම සපෝට් එකත් දෙනව. ඒ විතරක් නොවෙයි අපේ තඩියා ඇතුළු පිරිස කුස්සියෙ වැඩ කොටසත් කරනව. කුකෙක් ආවේ නැත්තං ඒ වැඩෙත් කරනවා, අන්න එහෙමයි අපි. අපේ කොටාට හිටියෙ අක්කල දෙන්නයි නංගියි. සමහර දවස්වල කොටාගෙ ගෙවල් පැත්තට ගියාම තේ එකක් එහෙම බීලා අල්ලාප සල්ලාපයෙ යෙදිලා ඉන්නව. සමහර දවසක කොටාගෙ අම්මයි තාත්තයි වැඩකටයුතු සහ නෑදෑ ගෙවල් වල එහෙම ගියාම තඩියයි මයිනයි කොටාගෙ ගෙදර තමා ඉන්නෙ. ඔං ඔහොම එක දවසක කොටාගෙ ගෙදර ගියාම කට්ටියම රෑට රොටි හදමු කියලා කතා උනා. රොටි සෑදීම සඳහ ඉතිං තඩියා මේසෙට හයි කරපු හිරමනෙන් පොල් ගානව. එක අක්කා කෙනෙක් පිටි පෙනෙරෙන් දාගෙන හළනව, අනිත් අක්කා දර එහෙම ලංකරන් රොටි පුච්චන කබළ හොයනව. කොටාගෙ නංගි පොතකුත් අරන් ඇවිත් බංකුව උඩින් වාඩි වෙලා මයිනගෙන් සමාජඅධ්‍යයනය පාඩම් වගයක් අහගන්නව. ඕං ඉතිං ඔය අස්සෙ කොටාගෙ අක්කා කොටාට කිව්වා "කොච්චි ටිකක් කඩං එනවා" කියලා. කොටා මොකද කරේ කුස්සියෙන් එළියට යන ගමං තඩියගෙ සරම කැඩුවා. තඩියා නොවෙයි ගාණකටවත් ගත්තෙ..... කොටාගෙ නංගි ඊකේ.. කියලා මයිනගෙ ටි-සර්ට් එක ඇදලා අරං ඔළුව හංග ගත්තා. එක අක්කා කෙනෙක් එළියට දිව්වා, පිටි හල හල හිටපු එකිට නැගිටින්නත් බෑ දුව ගන්නත් බෑ. ඒකි තූෂ්නිම්භූත වෙලා බලං ඉන්නව, ඇඟපුරා මයිල් එක්ක අරු ගාණක් නැතුව ජුංඩා වන වන පොල් ගානව. මයිනට නැගිටල අරෑගෙ සරම අන්දන්න විදියක් නෑ කොටාගෙ නංගි ටී-සර්ට් එක අස්සෙ හිංදා. අනේ ඉතිං අන්තිමට කොච්චි කඩන්න ගියපු එකාම සරම ඇන්දුවා ආයෙමත්. කොටාගෙ පිටි හල හල හිටපු අක්කා නැගිටලා දුන්නා කොටාට එකක් දෙයියංගෙම පිහටයි කොටා බිම ඉඳගත්තා පහරෙ සැරට. මයිනා අරුට බැන්නා




"ඈ අඩෝ තොට මෙතන කෙල්ලො ඉන්නව කියලවත් පේන්නැද්ද සරම ඇඳ ගත්තෙ නැත්තෙ"
තඩියා:-"දන්නෑ නේ බං කොටාගෙ අක්කලා නංගිලා බලන්න ආශාවෙන් හිටියද කියලා, ඕකා ඔය වෙලාවෙම සරම කැඩුවේ"
කොටාගෙ පිටි හලපු අක්කා-: අනේ තොගෙ ඕක බලන්නම හරි වැඩේ හම්පඩයා
තඩියා:- ඒක තමා කටත් ඇරං ඇසුත් ලොකු කරං බලං හිටියෙ......
ලඟ තිබුනු පොල් කට්ටෙං තඩියට කෙළලා ඇරපි කොටාගෙ අක්කා රොටි කෑමත් එතනින් ඉවරයි. මයිනා ඉතිං කොටාගෙ නංගිගෙන් ඇහුව්වා තමුසේ ටි-සර්ට් එක අස්සේ ඔළුව දාගෙන තඩියා දිහා බලං හිටියා නේ කියලා. අනේ ඕකාගෙ බලන්නම වැඩේ කියලා ගස්සං ගියපි........ තව තියෙනව පස්සෙ ඈ...
___මයිනා____

මයිනාගෙකතා...72... නැදුන් ගහ

#මයිනාගෙකතා...72... නැදුන් ගහ...
                              ගෙදරින් දෙන දෙයක් කාලා ඒ කාපුවගෙ හයිය හත්තිය බලන්න කවුරු හරි එක්ක ගුස්තියක් එහෙම අල්ලගෙන දැහැමින් සොඳින් කාලය ගෙවිම තමා මේ කියන කාලේ සිද්ද උනේ. අපරාදේ කියන්න බෑ හිටපු නසරාණි රැළම තකට තක. හිටපු සෙට් එකේ විවිධ හැකියාවන් කුසළතාවයන් තියෙන අමුතු පොරවල් තමා හිටියෙ. සමහර එවුන්ට තිබුනු සමහර හැකියාවන් ගැන කළ්පනා කරද්දි අයින්ස්ටයින්ලා මොක්කුද කියල හිතෙනව. ඒ අතරිනුත් අපේ කටා කියන්නෙ එස්කිමෝ කෙනෙකුට උනත් අයිස් ටිකක් විකුනන්න පුළුවන් පොරක්. බොරුවක් උනත් නියමාකාරයෙන් ලස්සනට ඇත්ත දෙපැත්තට දාලා බොරුව මැද්දට දාලා හරිම අලංකාර විදියට කියන පොරක්. කටා ගැන විතරක් වෙනම පොතක් ලියන්න පුළුවන් පිටු 500ක විතර. හැබැයි කටා ගැන කිවයුතුම දේ තමයි අපි හැම කෙනාටම වැඩියෙන් කටා දැනුම අතින් සහ එදිනදා රටේ ලෝකේ වෙන දේවල් පිළිබඳව යාවත්කාලීන වීම. සති අග සියළුම පුවත් පත් සහ ඒ තුළ ඇති සියළුම ලිපි කියවිමත් කටා කලා. ඊට අමතරව කටාට ඉංග්‍රිසි පිළිබඳව යම් ප්‍රමාණෙක දැනුමක් තිබුනා. ඒ ඉංග්‍රිසි බාෂා හැකියාව නම් ඌට කොහෙන් ආපු එකක්ද දන්නෑ, අපේ තඩියා නං කිව්වෙ අම්මා තනියෙං හිටපු වැස්ස වෙලාවක සුද්දෙක්වත් පිළට ගොඩ වෙන්න ඇති කියලා. ඒක කටාට ඇහුනම ඉතිං තඩියගෙ දඩ පෙනුමයි රැවුළයි ගැන කටා කියන්නෙ තඩියගෙ අම්මා සෞදියෙ දාපු සෙල්ලංවල ප්‍රතිඵළ කියලා තමයි.


                                             නසරාණි රැළ ඉතිං සමාජසේවා වැඩ පොදු කටයුතුවලටත් පුළුපුළුවන් විදියට සහයෝගෙ දීගෙන ඉන්න ගමං වෙන වෙන ගේමුත් ගැහුව්වා. නැති බැරිම අවස්තාවක මුහුදට බැහැලා හිරිගල් පරයක් කොරල් පරයක් හරි කඩලා විකුණුවා. අපරාදේ කියන්න බෑ ඒ වගෙ සිද්දිවලට අපේ කටා තමයි මූළිකත්වය ගත්තෙ. කොරල්පර කඩන සිද්දියට නම් නඩුත් දාලා හිරෙත් යවලයි පොලිසියට අහු උනොත් නවතින්නෙ. ඒ වගෙම තමයි කටාගෙ අනිත් ගේමුත් හුණු පොරණුවකට දර ඉල්ලන එකෙක් සෙට් උනා නං මූ අල්ලපු වත්තෙ ගහක් හරි කපලා දර සපයනව. එහෙම බැරි උනොත් පන්සල වත්තෙ ගහක් හරි කපල දෙන බූවා. එකෙකුට දර ලෑන්ඩ් මාස්ටරයක් දීලා ඒකේ මදි පාඩුවට අරළිය ගහකුත් කපල දීපු එකා. අපරාදේ කියන්න බෑ දර ගිනියපු එකා මූව අරන් ගිහින් හුණු පෝරණුවට දානව අපි හිටියෙ නැත්තං. ඕං ඉති එක දවසක කට්ටගෙ මාමා ගෝනපීනුවල කියන දිහාවෙ ඉඩමක් අරන් කට්ටියම ගියා ඉඩම බලන්න. ඉඩමේ තිබුනු ගස්වලින් කුරුම්බත් කඩං කාලා කොස් වගේකුත් කඩං කට්ටිය ආවා. හැබැයි අපේ කටා වත්තෙ තිබුනු සියලුම ගස් ගණං කරලා ඒ ඒ ගස් වර්ගවල නමුත් මතක තියං තමයි ආවේ. කට්ටගෙ මාමා ආමි එකේ ලොක්කෙක් ඒක හිංදා ගෙදර අරන් ගියෙත් බොහොම නීති සහිත පාළනයක්. මාමා ගෝණපිනුවළ ඉඩම ගත්තට නිතරම ඉඩමට යන්න තරං වෙලාවක් තිබුනෙ නෑ.


                               ඔය ඉඩම පැත්තට ගිහිං එන වගකීම පවරලා තිබුනෙ කට්ටට, කට්ටා ඉතිං මාසෙකට සැරයක් නසරාණි ටිකත් ඇදන් ගිහිං ඉඩමේ තියෙන දෙයක් කඩං එන එක තමා කලේ. ඔහොම ඉඳලා එක දවසක මාමා අහම්බෙන් ඉඩම පැත්තට ගිහින්. අක්කර බාගයක් විතර වෙච්ච ඉඩම පුරාම කැලේ වැවිලා මාමා ඉතිං දැන් ඉඩම සුද්ද කරවන්න කට්ටිය හොයනව. අපේ කට්ටා පැනලා කිව්වා "මාමේ මොකටද කට්ටිය අපි ඕක සුද්ද කරලා දාන්නං, හැබැයි කොත්තු අරං ඕනේ හොඳේ" කියලා. කට්ටටත් බැනලා මාමා ඉතිං වැඩේ කටාට පැවරුවා. කට්ටා ඉතිං මාමගෙන් අහනව
"මාමේ අර කැන්ද ගස් කපන්නද"
"ඔව් ඒවා කපලා දාන්න"
"ඇස්ටෝනිය ගස් කොට්ටන් ගස්"
"ඒවා නම් තියෙන්න අරින්න රීප්ප හරි ගන්න බැරියෑ"
"හරි මාමේ.... අනිත් පොඩි පොඩි වල් ගස් ඔක්කොම කපනව හොදේ"
"උඹ බලලා කරාහං කොල්ලො" කියලා ඉතිං මාමා කටාට රැපියල් 1000කුත් දුන්නා කොත්තු කන්න. 
                                        මයිනට ඉතිං හෙණම සැකයි මූ මේ ඉල්ලං පරාප්පුවක් කාපු එක. මොකද කටා කියන්නෙ අන්දරේගෙ ලොකු තාත්තා වගෙ පොරක්. ඊළඟ දවසෙ කටා කැති උදළු පිහි එහෙමත් අරගෙන නසරාණි ටිකත් එක්ක ඉඩමට ගිහිං ඉඩම සුද්ද කරනව. ඉඩමට ඇතුල් වෙන තැනින්ම පටන් අරන් එක පේළියට සුද්ද කරන් යනව. දවල් 11ට විතර මාමා එද්දි කොල්ලො ටික සීරුවට වැඩ. මාමා තේත් ගෙනත් දීලා..... "මම හෙට උදේම යනව පුතා උඹ වැඩ ටික බලලා හරියට කරපං" කියල කටාට කිව්වා. මයිනා ඉතිං වැඩ අස්සෙ ඇහැ ගහගෙන ඉන්නව කටාට මොකක් හරි ගේමකට තමයි කටා සෙට් වෙන්නෙ කියල හිත හිත.





                                     කට්ටියම දවල්ට කාලා වැඩ කරගෙන යද්දි හවස 4ට විතර බුවෙක් ආවා. කටා ගිහින් ඌත් එක්ක කතා කර කරත් හිටියා. මයිනා දැං බලන් ඉන්නව අර ආපු එකත් ගියා වෙනසක් නෑ. හැබැයි ඉතිං ආපු එකා එහා පැත්තෙ තිබුනු ලොකු ගස් දෙස ටිකක් වැඩිපුර බැළුව වගෙ නම් පෙනුනා. හවස 5 විතර වෙද්දි කට්ටියම ඉඩමෙන් කාලක් විතර සුද්ද කරලා ඒ කපපු කොටපු ගස් කොළ අතුත් එක තැනකට ගොඩ ගහලා දැම්මා. ඕං ඉතිං කටා කට්ටියටම කිව්වා "හෙට එන්න ඕන්නෑ අනිද්දා එමු මේ ටිකත් ගිණි තියලා ඉතුරුවා සුද්ද කරමු" කියලා. ඊළඟ දවසෙ දවල් 10ට විතර කට්ටියගෙ ගෙවල් දිහාවට ඇහැ දාලා බැළුව කටා නැත අනිත් සියල්ලොම ඇත. "තඩියො යමං පොඩි ගමනක්" කියලා තඩියයි මයිනයි පැද්දා ගෝනපීනුවලට බයිසිකලෙ. අනේ ඉතිං අර වළත්ත කටා ඉඩමෙ කෙළවරක තිබුනු නැදුන් ගහක් කපලා වඩු මඩුවට දීලා. ඊට කලින් දවසෙ ඇවිත් තියෙන්නෙ වඩු මඩුවෙ එකා. මූ රුපියල් 11000කට ගහ විකුණල, මයිනයි තඩියයි යද්දි ගහ කුට්ටි කරලා කැන්ටරේකටත් පටවනව. කටාට තඩියයි මයිනයි දැක්කම සිහි නැතිවෙන්න ගියා, කට්ටගෙ මාමාට ආරංචි උනා කියන්නෙ කටාගෙ කණ පළලා ලුණු දානව ෂුවර්. 

                                                 කටා ඉතිං මයිනව දැක්ක හැටියෙ ළඟට ඇවිත්
"මේ කැන්ද ගහයි වල් ගස් ටිකයි මේ අයියට දරට දුන්නා බං" කියාපි.
"ඈ හු## තෝ හිතුවද මමත් බද්දෙගම කියලා නැදුන් ගස් දරට දෙන්න, හිටපං දැං ගිහිං කියනව කට්ටලගෙ ගෙදරට"
"අඩෝ නෑ බං මයිනා... මේ..."
"මේ මේ ඕන්නෑ තෝ කීයකටද දුන්නෙ කියාපං ගහ"
"රැපියල් 6000කට බං"
"බොරු එපා කටෝ කියන එකම කියනව ආයේ දෙකක් නෑ"
අර වඩු මඩුවේ එකා "මල්ලි එහෙනං හරිනේ මෙන්න සල්ලි" කියලා දෙද්දි තඩියා ගත්තා සල්ලි ටික. ගණං කරලා බැළුවම රුපියල් 11000ක් තියෙනව. තඩියා කටාගෙන් ඇහුව්වා "කටෝ දැන් තෝ කියාපං මොකද කරන්නෙ"
"උඹලා දෙන්නා 3000ක් ගනිං ඉවර නේ"
"හා.... ඇත්තද හොරකං කරලා මදිවට තෝ ගණු දෙනු කතා කරන්නත් එනවද"
"මේ 3000 තෝ තියා ගනිං, නැත්තං ගිහින් කියනව තෝ නැදුන් ගහ හොරට කපලා විකුණුව කියලා"
"හරි තව 2000ක් දියං ඉතිරි උඹල දෙන්නා ගනිං"
"තව ශත 5ක් දෙන්නෑ, තෝ කරන්නෙම කැරි වැඩ"



                               රැපියල් 3000ක් කටාට දීලා මයිනයි තඩියයි 8000ක් අර ගත්තා. එදා රෑට කටාගෙම සල්ලි වලින් කොත්තුත් කෑවා සහ අනිත් නසරාණි රැළත් එක්ක දවස් දෙක තුනක් රෑට රෑට ආප්ප කොත්තු එහෙමත් කෑවා. අනිත් එවුංට හෙණ අවුළ කොහෙන්ද අපිට සල්ලි කියලා. "තඩියගෙ ආච්චිට රැපියල් 3000ක් තිබ්බා මහජන සම්පතකට ඒකේ සල්ලි මූ අර ගත්තා උන්දෑට නොදි" කියල ඒ කතාව මගහැරියා. ඕං එහෙමයි අපේ කටා අනුන්ගෙ වත්තෙ තිබ්බ නැදුන් ගහත් විකුණුවේ.
එන්නං ඈ.........
_____මයිනා_____

මයිනාගෙ කතා.... 71 ...නාග මාණික්‍යය...

මයිනාගෙ කතා.... 71 ...නාග මාණික්‍යය...

බොලා නාග මාණික්‍ය දැකලා තියෙනවද?
                                                               නැතුව ඇතිනෙ ..මමත් දැකලා නෑ බං. හැබැයි චූඩා මාණික්‍යය නම් දැකලා තියෙනව අර චෛත්‍යය උඩ තියෙන්නෙ. හරි දැං ඒක ඇතෑරලා දාපල්ලාකො. බොලාට මතක ඇති ඉස්සර එක කාලයක් ආවා අනුරාධපුරේ ගල්ලෙනකින් නයෙක් මතු වෙලා හාමුදුරුනමකට මොනවද කියලා අතුරුදහන් වෙලා ගියාලු කියලා. ඒ විස්තරෙ හෑන්ඩ් බිල් එකක් විදියට මුද්‍රණය කරලා බෙදපු අයට වාසනාව ලැබුනලු. ඒ කොලේ ඉරලා විසි කරපු ඈයොන්ට කළු නයෙක් දෂ්ඨ කරලා මලාලු. ඒ කොලේ හුලං විස්කොතු ඔතාන ගියපු එකෙක් ලොරියකට යට වෙලා මලාලු. ඔන්න ඔහොම කතා ගොඩයි ඉතිං...
                                                                      අපේ හිටපු කණ්ඩායමේ එවුනුත් දෙපැත්ත බෙදිලා ඔන්න ඉතිං තර්ක කරන්න ගත්තා. ඒ වෙද්දිත් එකෙක් අතින්ම ලියලා කොල බෙදන්න පටං අරගෙනත් ඉවරයි. කෝකටත් ගොනා වෙච්ච තඩියා ඉතිං..... "අනේ මේවා බොරු හු##" කියලා අර කොලයක් ඉරලා ඉරලා වීසි කරලා දැම්මා. දැන් ඉතිං බය වෙච්ච එවුං තඩියට නයා ගහලා මැරෙනකම් බලං හිටියා... කැලේ ගියත් ගඟෙ ගියත් ගහකට නැග්ගත් කට්ටියම හෙනම අවධානෙන් ඇයි දැං නයා ආවොත් එහෙම තඩියා හබක් නෙව.

                                                                     ඕං එක දවසක ඉතිං කට්ටියම ගඟ අයිනේ ගලක් උඩ කයියකට සෙට් වෙලා. මේ ලෝකේ අමතක වෙලා ඉඳපු වෙලාවක එක සැරේට උඩිං ආපු සර්පයෙක් වැටුනා තඩියගෙ ඇඟ උඩට "හපො නයා කෑවෝ" කියාගෙන කොල ලියපු එකා දුවපි! බය වෙච්ච අනිත් එවුනුත් සීසිකඩ දුවපි! තඩියා බය වෙච්ච පාර ගලෙන් වැටිලා ඔළුව වැදිච්චි දොඹ මුළක! අනේ ඉතිං බලපුවම අපි වගෙම නසරාණි ගල් ඉබ්බෙක් අපි සෙට් එක ඉන්නව දැකලා අහිංසක අහරකුක්කෙක් වලිගෙං අල්ලලා අපේ දිහවට වීසි කරලා. කරුමෙට ඒක වැටුනෙ තඩියගෙ උඩට. අපරාදේ කියන්න බෑ තඩියගෙ ඔළුවේ දොඹ ගෙඩියක් සයිස් එකට ගෙඩියක් ඇවිත් වැටුනු පාරට.

                                                                    නයි කතා බොහොමයක් මැද්දෙන් ඇවිත් කට්ටියම නැවතුනේ නාග මාණික්‍යක් ගැන බොහොම කුතුහලය දනවන කතා රාශියක් අහලා. නයාගෙ මැණික ගන්න අමාරුලු, එහෙම නාග මාණික්‍යයක් ගන්න පුළුවන් සිතු පැතු සම්පත් ලබා ගන්න පුළුවන්ලු. අනේ ඉතිං දැං ගැරඬියෙක් දැක්කත් පස්සෙං එලවනව නයෙක්ද බලන්න. ඒ කාලේ තිබුනු නයි හිටපු සියලුම හින්දි ෆිල්ම් ගෙනත් බැලුවා රෙකෝඩ් බාර් එකෙන්. කොච්චර නයින්ට ආශක්ත උනාද කියනව නම්....... රෑට හීනෙනුත් නයි දැක්කා. සමහර එවුං හීනෙන් නයින්ට බය වෙච්ච පාරට මර ළතෝනි තියාගෙන රෑ මැද නැගිටලත් තිබුනා. සෙට් එකත් එක්කම හොයනවා ගම අවට නයි සම්බන්ධ කතා.

                                                                  ඒක මාමෙක් කිව්වා ඉස්සර නයෙක් හිටියලු වැරැල්ලානේ නෙළුම්විල පන්සල පිටි පස්සෙ තියෙන විශාල බක්මී ගහේ. ඔය නයා සමහර දවසකට රෑ 12ට 1ට විතර බක්මී ගහෙන් බැහැලා රේල් පාරට ඇවිත් මැණික වමාරලා එළියෙන් තියනවලු, ඊට පස්සෙ ඒ මැණිකේ දීප්තියට එන සත්තුන්ව ගිල දමනවලු. පන්සල පිටි පස්සෙ බක්මී ගහ නම් මහ විශාල එකක්, කඳ වටේ මැන්නා එහෙම නං අඩි 8ක් 10ක් විතර ඇති. ඒ වගෙ තනි කෙළින් ගොඩාක් උසට තිබ්බ යම්කිසි ගුප්ත බවක් තිබුණු ගහක්. දැං කට්ටියටම නයා ඉන්නවද මැණික තියෙනවද කියලා සැක හැර දැන ගන්න උවමනාව. අනේ ඉතිං ඒ වෙනුවෙන්ම කට්ටිය සඳ ඇති සඳ නැති රැයවල් කියක් නම් රේල් පාර දිගෙ බඩ ගෑවද. තොටගමුව පැත්තෙ ඉඳන් රේල් පාර දිගෙ වැරල්ලානට යද්දි තියෙනව තල්ගස් කොරටුව කියලා පොට් එකක් මහ දවාලකවත් මනුස්සයෙක් නොයන. අනේ මේ අපත සෙට් එක මහ රෑ ඕක අස්සෙත් රිංගුව නෙව නයා හොයන්න. අනේ ඉතිං නයෙක් තියා ගැරඬියෙක්වත් නෙවෙයි ඒ කිසිම දවසක දැක්කෙ.
                                                            ඕං ඉතිං ඊළඟ වැඩිහිටියා කිව්වා "නා කන්දේ රජ ගල ඇමති ගල තියෙන තැන මහ විශාල නාගයෙක් ඉන්නව. අන්න මැණික තියෙන කුලවන්ත නයි" . ඕං ඕක ඇහුනට පස්සෙ දැං මහ රෑක රජ ගල ඇමති ගල බලන්න යන්නයි කල්පනාව. ඔය රජ ගල ඇමති ගල ගැනත් ජනප්‍රවාද රාශියක් තියෙනව. තොටගමුවෙන් මුහුදට වැටෙන උඩුමුල්ල ගඟෙ කෙළවරක තමයි ඔය ගල තිබුනෙ. ඔතන නිධානයක් තියෙන බවත් කිහිප දෙනෙකුටම නිධානයක් ලැබුනත් යම් යම් හේතු කාරණා නිසා අරං යන්න බැරි උන බවත් කියනව. අනික තමයි සෑම අවුරුදු 7කට සැරයක්ම ඔය ගල් දෙකෙන් එක ගලකට හෙණ වදිනවා. ඒ හෙණ වදින්නෙ ඇමති ගලට කියලයි කියන්නෙ, ඇමති ගලට හෙණ වදින්නෙ රජ ගලට වඩා ඉහලට ලියලන එක නවතින්නලු. හැබැයි ඒ ගල අවට ගඟත් ටිකක් වෙනස් සහ හඳ පායපු හැන්දෑවට හරිම ලස්සන තැනක් වගෙම බොහොම භයානක තැනක්. මොකද කිහිප දෙනෙක්ම ඔතනදි බය උනා සහ මයිනා ඇතුළු අපත නඩේටත් යම් යම් සිද්ධි කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ උනා.




                                                      ඕං ඉතිං එක හැන්දෑවක ලොකු ෆයිබර් ඔරුවක නැගපු මයිනා ඇතුළු අට දෙනෙකුගෙන් යුතු පිරිසක් ගියා රජ ගල ඇමති ගල තියෙන දිහාවට. සාමාන්‍යයෙන් ගඟේ කිලෝමිටර් 3ක 4කට වඩා දුරක් යන්න ඕනේ ඔතනට. ටෝච් 2ක් එහෙම අරං ගියේ නයා හිටියොත් මැණික උස්සං එන්න.

                                                                             ඔය ගල් තියෙන හරියෙ ගඟ පළලින් වැඩියි ඒක හිංදා වෙන්න ඇති ඒ හරියට කිව්වෙ "මහගඟ" කියලා. ඒ ගඟ පළල වැඩි නිසා හමන සුළඟත් ටිකක් සැරයි ඒ හරියෙ වතුරේ රළ පහරත් සැරයි. ඔය ගල් තියෙන කිට්ටුවකට රෑකට තියා දවාලකටවත් යන්න අමාරුයි ඒ හරියෙ තැන් තැන්වල වතුරෙන් උඩට මතු වෙච්ච ගල් තියෙනව. ඔය ගල් කිට්ටුව පාතට ආවේ නැති උනාට ගඟෙ සමහර තැන්වල ඒ පැතිවල මිනිස්සු මාළු අල්ලනව ඔරු වලින් ඇවිත්. වෙළාවත් රෑ 12ට විතර කිට්ටුයි," ඔහේ ඇති නයෙක් නෑ බොලව් යම දැං යන්න කියලා" කට්ටියම නැවත පිටත් උනා. ඔරුව ඉවුරට කිට්ටු කරගෙන කට්ටියම හෙමින් හෙමින ඉස්සරහට එනවා.. එහෙම ආවේ රෑට දාන කකුළු අතංගුවක්, කොරළි පැහැක් සෙට් උනොත් ඒකත් උස්සගෙන එන්න ඕන නිසා.ඔහොම එද්දි එක කඩොල් ගස් පේළියක කඩොල් ගස් මැද්දේ ටෝච් එළියක් වදිනවා. කට්ටියම සද්දෙ වහලා ඒ හරියට කිට්ටු වෙද්දි දෙන්නෙක් පොඩි ඔරුවකින් කකුළුවො අල්ලනව. කටයි තඩියයි ටොච් දෙක මුනේ උඩපැත්තට වෙන්න ගහගෙන අට දෙනා එක්කම දුන්නා හූවක් පලාතම දෙදරන්න. "බුදු අම්මො" ගාන සද්දෙ විතරයි ඇහුනේ. කට්ටියම ඔරු රේස් එකක් තියලා වගෙ පැද්දා ඔරුව.


                                                            එදා රෑ මයිනත් තඩියලගෙ ගෙදර නිදියලා, උදේ ගෙදර යද්දි එකෙක් ඇවිත් තාත්තා එක්ක කතාව. තාත්තා තඩියයි මයිනයි දිහා බලලා "බලපං ඊයේ රෑ ගඟෙදි මචා බය වෙලානේ හොල්මනකට"
අනේ ඉතිං දෙන්නම මොකුත් නොදන්න තොත්තබබාලා වගේ "නෑ.. ඒ කොහේදිද?" අහපි. "මහගඟ හරියෙදිලු" වෙච්ච දේ හිතාගත්තෑකි නේ දැං.
"ඊයේ ජෝන් ගුරුන්නාන්සෙගෙ පුතා නූලක් දාලා තොයිලයක් කරන්න වෙයිලු, ඒ වෙලාවේ ඉඳං මචාට බඩ එළිය යනවලු නවතින්නෙ නැතුව" මව්තුමියත් ඉතිරි තොරතුරු ලබා දෙනවා. දැන් අරුට තොයිලයක් කරා කියන්නෙ රුපිල් 20000ක් විතර ඉවර වෙනවා, බොහොම අමාරුවෙන් ගඟේ ගිහිං ජීවත් වෙන අහිංසක එකා ඌ. අනේ ඉතිං ගුටි කන්න හරි කමක් නෑ කියලා හිතාගෙන මව්දේවිය ඈතට වෙනකං ඉඳලා කිව්වා මෙන්න මෙහෙම සීන් එකක් අපි කරා හැබැයි මචාද දන්නෙ නෑ කියලා.

                   "තෝ කාගෙ විදියට හැදිච්ච බල්ලෙක්ද බොල, උස්සලා ගහනවා පොළවේ" කියාගෙ නැගිට්ටා පියරජානෝ, අනේ ඉතිං අතින් අල්ලං ෂේප් කරං මචාලගෙ ගෙවල් දිහාවට ගියා, හුටා මචා ඉන්නව හේබාලා ගිහිං කහ නූලකුත් බෙල්ලෙ දාගෙන. මචාව දැක්කම තඩියට හුචුස් ගාලා හිනා පැන්නා. "අනේ බලන්න මද්දු අයියෙ කොල්ලා බයවෙලා නේ" මචාගෙ අම්මා අඬාගෙන ආපි ඉස්සරහට. මයිනගෙ පියාණෝ ඉතිං මචා ළඟට ගිහින් කිව්වා. "උඹ බොරුවට බං බය වෙලා තියෙන්නෙ මෙන් මුං රෑ හූ තියලා තියෙන්නෙ" කියලා තඩියයි මයිනවයි පෙන්නුවා. රෑ මචා ඔරුවේ ඉඳලා තියෙන්නෙ අනිත් එකා ගඟට බැහැලා කකුළුවො අල්ලලා තියෙන්නෙ. මචා තමයි අපිව දැකලා තියෙන්නෙ අනිත් එකා ලොකු ඔරුවක කට්ටියක් හයියෙන් යනවා ලාවට දැකලා තියෙනව. අනිත් එකාටත් එන්න කියලා මචාගෙ බය ඇරවලා තමයි ඉතිං ගෙදර ආවේ..... තොයිලේ නං නැටුවේ නෑ, මචා බීලා එන වෙලාවක ලාවට හූවක් තිබ්බා නම් එහෙම සරම කරේ දාගෙන මචා පෙන්නන "ගජිඳා වන්නම" නං බලාගන්න පුළුවං හොඬවැල වන වන.

                                                   ඔය මචා කියන පොර මයිනට පට්ටම ආදරෙයි, "මචයියා මාළු නෑ ඕයි අද ගෙදර" කිව්වනං බිළි පිත්ත අරන් ගඟෙ ගිහිල්ලා හරි මාළු අල්ලගෙන ඇවිත් දෙන පොර. බීපු වෙලාවක පාරේ සෙට් උනා කියන්නෙ ඉතිං ඉවරයි තමයි. "බුදු ලොකු මල්ලි" කියලා අල්ලං ඉඹින එක තමා වැඩේ. මචයියා මීට අවරුදු කිහිපයකට කලින් මුහුදේ ගිහින් මැරුණා, එදා මුහුදු යන්න කලිනුත් මචයියා බීලා මයිනව අල්ලන් ආවම මයිනා බොහොම අමාරුවෙන් බේරිලා ගියා. වෙනදට එහෙම මචයියා අහු උනාම මයිනා වදෙන් පොරෙන් එක්කගෙන ඇවිත් කන්න මොනවහරි දීලා ගෙදරම නිදි කරවනවා. ඒත් එදා මයිනටත් එක්කගෙන එන්න හිතුනේ නෑ... සමහරවිට ඒක මචයියගෙ කරුමේ වෙන්නත් ඇති, අදටත් ඒ පසුතැවිම මයිනගෙ හිතේ තියෙනවා සහ මයිනගෙ අම්මා මචයියා මතක්කරපු වෙලාවට කියනවා "එදා මචාව ගෙදර එක්කගෙන ආවා නම් අදත් මචා ජීවත් වෙනව" කියලා.

                                              ජීවිතේ කියන්නෙ එහෙමයි අද මේ කතාව ලියන මටත් හෙට මොනව වෙයිද?සංසාර ගමනේ එක නවාතැන්පොළක් විතරයි මේ ජීවිතේ. එන්නං ඈ.......

@___මයිනා____

Friday 7 February 2020

මයිනාගෙ කතා... 70 මුහුදු යෑම

#මයිනාගෙ කතා... 70
මුහුදු යෑම


                                                    මයිනගෙ ගම තිබුනෙ මහමුහුද කිට්ටුව පාත නෙව. ටවුමට ගියත්, බස් එකට නගින්න ගියත්, කොතනට ගියත් මුහුදු හුළං වැදි වැදි තමා ගියේ. ගාළු පාර දිගෙ ඒ පැත්තට ගිහින් ආවත් මේ පැත්තට ගිහින් ආවත් අඩුවක් පාඩුවක් නැතුව ලුනු රස විඳගෙන එන්න පුළුවන්. අපේ ගම්පළාත්වල ඈයොන්ගෙ ප්‍රධාන ජීවන වෘතින් අතර එකක් තමයි මුහුදු රස්සාව.

                                                      මුහුදු රස්සාව කරන වෙනස් වු ක්‍රම තියෙනව, දකුණේ ධීවරයන් අතර ප්‍රචලිත ක්‍රම උනේ වල්ලම්, බළ ඔරු, පොඩි බෝට්ටු, හැඹිළි දැල් හෙවත් ලයිට් කෝස්, බහු දින ධීවර යාත්‍රා හෙවත් ටැංකි බෝට්ටු. මේ ක්‍රමවලටත් වෙන වෙනම මාළු ඇල්ලිමෙ විදි සහ කාළ වේලාවන් තිබුනා. අප්‍රියල්, මැයි මාසවල ඉඳලා අගොස්තු, සැප්තැම්බර් වෙනකම් ඇතිවෙන වාරකන් කාලේ බොහේ ධීවර පිරිස් මුහුදු රස්සාවෙන් ඈත් වෙනව. ඒ කාලේ ඇතිවන මුහුදේ රළු බව (අධික සුළං සහ වැසි) නිසා මුහුදු යෑම අනතුරුදායකයි. වසරේ එක එක කාළවල එක එක විදියට තමයි මාළ අහු වෙන්නෙ. හුරුල්ලා, බෝල්ලා, බළයා, අලගොඩුවා, කෙළවල්ලා, ලින්නා..... වගෙම සමහර ගල් මාළු වර්ගත් ඔය අතරෙ ඉන්නව.




                                                 දැනට ලංකාවෙ තහනම් පන්න ක්‍රමයක් වන හැඹිළි දැල් හෙවත් ලයිට් කෝස් වලින් තමයි වැඩිපුරම මාළු අල්ලන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රමය මත්ස්‍ය සම්පත විනාශයට කාරණාවක් නිසා සාම්ප්‍රදායික ධීවර ප්‍රජාව මේ ක්‍රමයට තදින්ම විරුද්ධයි. බළ ඔරුව කියන්නෙ ප්‍රමාණයෙන් විශාළ ඔරු විශේෂයක් මේ ඔරු අතීතයෙ ඉඳලම වැඩිපුරම තිබුනෙ දොඩන්දූවේ. දොඩන්දූව ප්‍රසිද්ද වෙන්නෙත් මේ බළ ඔරු නිසා.  උණ ගසක ආධාරයෙන් සාදා ගන්නා බිලී පිත්තකින් බළයන් ඇල්ලිමටම මෙම ඔරුව යොදා ගන්න නිසා මේ නම කිව්වා වෙන්නත් පුළුවන්. අනිත් ක්‍රමය තමයි වල්ලම් සහ පොඩි බෝට්ටු ඒ දෙකම කරෙ මුහුදේ යම් තරමක දුරකට ගිහින් යොත හෙවත් තංගුස් ආධාරයෙන් මසුන් මැරිම සහ කුඩා දැල්ලන් (වලා දැල්ලන්) අතංගුවක ආධාරයෙන් ඇල්ලිම ඒවට කිව්වෙ අත් පන්න කියලා. අනික තමයි බහුදින ධීවර යාත්‍රා හෙවත් ටැංකි බෝට්ටු, සතියක හො ඊට වැඩි කාළයක් මහමූදේම සැරි සරලා මසුන් අල්ලන ක්‍රමයක් තමයි ටැංකි බෝට්ටුවලට තිබුනෙ.

                                                අත් පන්නත් එක එක නම්වලින් හැඳින්නුනා. පුඩු පන්න, බටර් ලෝන්, මහ පන්න (මෝරුන්, කොප්පරුන්, තළපත් වැනි මත්සයන් ඇල්ලිමට යොදාගත් අතර තංගුස්පොට කෙළවරට කම්බියක් සම්බන්ධ කර එහි කෙළවර බිළි කොක්ක ගැට ගසා තිබුනි. විශාළ මත්සයන් තංගුස්පොට කටින් කපා දැමීම වැළැක් වීමට මෙම කම්බිය උපයෝගි කර ගන්නා ලදි.) වගෙ. තොටගමුවෙන් මුහුදත් එක්ක සම්බන්ධ උනු උඩුමුල්ල ගඟ හෙවත් මොළපු ඔය පුරා ඔරුවෙන් සහ පොඩි බෝට්ටු වලින් හක්කලං කරපු නසරාණින්ට මුහුදු යෑමේ ආශාවක් ආවා. මේ ආශාව වැඩි වෙලා ගිහින් තඩියගෙ මාමා කෙනෙකුගෙ පොඩි බෝට්ටුවෙන් මුහුදු යන්න කට්ටියම සෙට් උනා.

                                                දවසක් හැන්දෑවක කට්ටිය 5 දෙනෙක් මුහුදු යන්න පිටත් උනා. මයිනා සහ තවත් දෙදෙනෙක් ජීවිතෙ ප්‍රථම වතාවට මුහුදු යනව. එකෙක් කිහිප වතාවක් මුහුදු ගිහින් තිබුනට පොඩි බෝට්ටුවකින් යන පළවෙනි වතාව. තඩියා බෝට්ටුව පදවන්නා සහ එකම එක දවසක් මුහුදු ගිහින් තියෙන එකෙක්. රෑට කන්න පාන් සහ ජෑම් එහෙම අරන් කට්ටියම ගියා මූදු. තොටගමුවේ පාළමෙන් පන්නං මුහුදට ගියපු බෝට්ටුව රළ පාහර උඩින් පැන පැන ගැස්සි ගැස්සි පැද්දි පැද්දි යදිදි මයිනට බඩු බනිස්. දවල් කාපු අල, ළුනු, මිරිස් කෑලි තක්කාලි සහ බත් ඇට එළියට. ඒක දැකපු අනිත් එකෙකුටත් ඕවෑක්.......කා තමයි ඉතිං.
"වතුර ටිකක් බීපං අඩෝ"
"අර දෙහි ගෙඩිය කටිං හපලා ඇඹුල් ටික ටික බීපං"
"පළවෙනි පාර ඔහොම තමයි බං, ටිකකින් හරි යයි"

                                                     උපදෙස් ලෝකයයි හැබැයි වමනෙ නවතින්නෙ නැත, අනික තමයි තඩියා ගඟෙ බෝට්ටු පැද්දට මුහුදෙ රළ පහර එක්ක බොට්ටු පැදිල්ල ඌට තෙරෙන්නේද නැත. රළ පහරෙ සැරත් එක්ක තඩියත් බය වෙලා වැඩේ අංජ බජල් වෙන සයිස් එකටම ආවා. එක්කො බෝට්ටුව පෙරලෙනව නැත්තං නැත්තං තඩියා බෝට්ටුව ගල් පරෙකට නග්ගනව. වමනේ දාන එවුං දෙන්නා අන්තිම වෙද්දි මළමීණි දෙකක් ගානට වැටිලා බොඩිස් වෙලා. වමනේ නොදාපු එකා මර බයෙන් ඇලිලා මොකද ඌට පීනන්න බෑ. මුහුදු ගිහින් පොඩි පළපුරුද්දක් තිබුනු එකා තඩියට උපදෙස් දෙනව, තඩියා ඒ උපදෙස් වළට අනුව බොට්ටුව පෙරල ගන්නෙ නැතුව ඉන්න ෆුල් ට්‍රයි එක දෙනව.

                                                            වමනෙ දාලා දාලා බොඩිස් වෙලා හිටපු මයිනා තඩියට බොහොම අමාරුවෙන් කිව්වා "අල්ලපිය ගොඩට" කියලා. බොහොම අමාරුවෙන් ආයෙමත් ගොඩබිම දිහාවට එන්න ගත්තට මොකද ඇත්තම කතාව තමයි හික්කඩුව අවට මුහුදෙ ගොඩ බිමට ආසන්න වෙද්දි මාරාන්තික කපොලු කීහිපයක් තියෙනව. ඒ තැන්වලින් බොහොම පරිසමට බෝට්ටුව අරන් එන්න ඕනේ. එක කොටසක තියෙනවා රළ බිඳෙන තැනක් ඔය හරියට කිව්වෙ "හළන පරේ" කියලා එතනින් බොහොම පරිසමින් බෝට්ටුව ගන්න ඕනෙ. අනිත් තැන තමයි මුහුදෙන් ඇවිත් උඩුමුල්ල ගඟට ඇතුල් වෙන තැන, එතනින් කැරකිලා යන රළ සහ දිය පහර සීනිගම දේවාලේ දිහාවට ඇදගෙන යනව. එතනින් මිස් උනා කියන්නෙ කෙලින්ම ගල් පරේ වැදිලා තමයි නවතින්නෙ. ඉස්සර තිබුනු හික්කඩුව ධීවර වරායට බෝට්ටුවක් ඇතුල් කරනව කියන්නෙ හරිම අමාරු වැඩක්. හොඳම පළපුරුදු කෙනෙකුට ඇරෙන්න එතන දිය කපොල්ලෙන් එනව කියන්නෙ මරණයට අත වැනුවා වගෙ තමයි. දැන්නම් ධීවර වරාය ඉතාම උසස් විදියට හදලා තියෙනව. ඔය වරායට ඇතුල් වෙන්න නම් හරියටම රළ එන විදිය බළලා ඒක රළ පහරකුත් එක්කම වරාය ඇතුළට එන්න ඕනේ. හැබැයි ඔතනින් තඩියට ජීවිතේට බෝට්ටුවක් ගන්න බෑ. අන්තිමට තීරණය කලා සීනිගම දේවාලෙ ළඟට බෝට්ටුව ගොඩ කර ගන්න හැබැයි ඒ වැඩෙත් තඩියට කර ගන්න බෑ. මොකද දේවාලේ කිට්ටුවත් තැන් තැන්වල ගල් පර තියෙනව ඒ තැන්වලින් බොහොම පරිසමට බෝට්ටුව ගන්න ඕනේ.

                                                  දැන් ඉතිං මුහුදෙ ඉන්නත් බෑ ගොඩට යන්නත් බෑ. මයිනා සහ අනිත් එකාට වමනෙ කියලා දාන්න තව කිසිම දෙයක් ඉතිරි වෙලත් නෑ. ඔය හවස් අතේ හික්කඩුව වරායට ගොඩ වෙන්න එන ටැංකි බෝට්ටුවක හිටපු සෙට් එකක් ඈත ඉඳන්ම බලාගෙන ඇවිත් තියෙන්නෙ මොකක් හරි අවුළක තමයි බොඩි බෝට්ටුව තියෙන්නෙ කියලා. ඒ බෝට්ටුව ලං කරලා "මොකෝ මල්ලි අවුළ" කියලා ඇහුව්වා. මොකෝ ඉතිං අපි මුහුදු යන්න ආවා දැං කෙළවිලා ඉන්නෙ කියන්නයෑ. "අනේ අයියෙ අපි ගඟෙ ඉඳලා ඇවිත් පොඩ්ඩක් මූදට දැම්මා දැං ආයෙමත් යන්න විදියක් නැතුව ඉන්නෙ" කියලා කිව්වා. ඕං ඉතිං ඒ බෝට්ටුවෙ එකෙක් මේ බෝට්ටුවට පැනලා අර බෝට්ටුව පස්සෙම තියාගෙන ගිහින් ඇතුල් උනා වරායට. ඔය වරායෙ ඉන්න හැම බෝට්ටුකාරයම හැම ධීවරයම වගෙ මයිනගෙ තාත්තාව දන්නව සහ මයිනවත් දන්නව.

                                                  බෝට්ටුව ගොඩට අල්ලලා ඉවර උනාම මයිනා ඉතිං බොහොම අමාරුවෙන් නැගිට්ටා. හුටා සේකර මාමා කියලා පොරක් ඉන්නව මිනිහ ළඟට ඇවිත් "මද්දු අයියගෙ පුතා දැං මූදූත් යනවැයි" කියලා අහපි. "මොන මුදූද මාමේ මේන්න මූ ගඟේ ඉඳලා බොට්ටුව මූදට දැම්මා ආයෙමත් යන්න බැරුව මෙහෙට ගොඩ කර ගත්තෙ" කියලා බොහොම අමාරුවෙන් කිව්වා. මිනිහ දැන ගත්තා අම්බානක වමනේ දාලා තමයි මේ ඉන්නෙ කියලා. පස් දෙනාම එක්ක ගෙන ගිහින් ක්‍රීම් සෝඩා අරන් පොවලා "දැන් ගෙදර ගිහින් හෙට කවුරු හරි එක්ක ඇවිත් බෝට්ටුව අරන් යන්න පුතේ" කියලා මයිනව ගෙදර එව්වා. ඊළඟ දවසේ තඩියගෙ මාමා ගිහින් බෝට්ටු අරන් ආවා ආයෙමත්. එදා මෙදා තුර මයිනා නෙවෙයි මූදු යන්න හෙව්වෙ. හැබැයි ඉතිං අද දවසෙ උනත් මයිනා හික්කඩුව වරාය දිහාවට ගියොත් නිකං මාළු කූරියෙක් දෙන ධීවරයො ඉන්නව. ඒ මයිනගෙ තාත්තට තිබුනු ගෞරවෙට මිසක් මයිනට ඇති ලබ්බකට නම් නෙවෙයි. ගැංසියෙ එවුන් නම් කාඩ් එකක් ගැහුව්වා "මයිනයි, තඩියයි මූදු ගියා වගෙයි" කියලා. එන්නං ඈ....
___මයිනා__

Thursday 6 February 2020

මයිනාගෙ කතා... 69 ... ටිංකිරි

#මයිනාගෙ කතා... 69 ... ටිංකිරි

                                                                            ඉස්සර ටින්කිරි කියලා ටින් එකක් ආවා මතක ඇති ඔහෙලට. ගෑනු කෙනෙක් ඔළුව උඩ මොනවදො තියාගෙන යනව වගෙ රූපයක් තමා තිබුනේ. ටින්කිරි බොහො වෙලාවට ගෙනාවෙ මොනව හරි කෑමක් හදන්න තමා. කිරි ටොෆි, කිරි අළුවා, අලදෝසි..... වගෙ එක එක ජාති හදන්න.  ඒ කාලේ වෙළඳපොලේ තිබුනෙ "මිල්ක් මේඩ්" කියන නෙස්ලෙ බ්‍රෑන්ඩ් එක විතරයි වෙන්න ඕන. අධික සීනී සාන්ද්‍රණයෙන් අනූන ටිංකිරි පොඩ්ඩක් සමහර වෙලාවට අල්ලට හම්බ වෙනව ඉතිං ගෙදරට ගෙනාපු දවසට. ඕං ඔය ටින්කිරි කෑමට මයිනා පට්ටම පෙරේතයි.

                                      මේ කියන කාලේ මයිනා ඉස්කෝලෙ 10 වසර වගෙ වෙන්න ඇති. ඒ කාලේ තාක්ෂණික විශයන් යටතෙ ගෑණු ළමයින්ට ගෘහ විද්‍යාව කියල විශයක් තිබුනා. මතක විදියට අපේ ඉස්කෝලෙ ගෘහ විද්‍යාව ඉගැන්නුවෙ ලක්ෂ්මි කියලා ටීචර් කෙනෙක්. ශරිර ප්‍රමාණයෙනුත් ටිකක් මහත දෙහෙත කෙනෙක්. කොල්ලො නම් ඉතිං බැරි පුළුවන් ගානේ වානිජ හා ගිණුම් කරද්දි පංතියෙ කෙල්ලො දෙතුන් දෙනෙක් හැර අනිත් ඔක්කොම එවුන් කරෙ ගෘහ විද්‍යාව. ඒ වෙනකොට අපේ පංතියෙ හිටපු කෙල්ලො හිතාන හිටියෙ උං තමයි වැඩර්ලා කියලා. ඉඳ හිට වඩයක් බැද්දට, සීනී සම්බෝළයක් හැදුවට මුං හිතුවෙ හිල්ටන්, ගලදාරි හොටෙල්වල එවුන්ටත් අපි එක්ක උයන්න බෑ කියල.   
                     
                                                            ඔය සමහර කෙල්ලො මයිනා එක්ක සේෆ් උං ඉතිං ඔය මොනවහරි හදපු වෙලාවට මයිනටත් චුට්ටක් දෙනව. ඔය අතරෙ හිටියා කෙල්ලෙක් මයිනා එක්ක පට්ට මළ, කරපු වරදකුත් නෑ එන්නෙම වළියට. සමහර වෙලාවට කෙල්ලො කෑම එහෙම හදලා පංතියෙ අනිත් එවුන්ට බෙදුවට මේකි නෙවෙයි මයිනට අහක දාන දෙයක් දුන්නෙ. ඕං ඔහොම කාළය ගෙවීගෙන ගිහිල්ලා එක දවසක පංතියෙ කෙල්ලො ඉතිං කෑම වර්ග හදන්න සීනී, පිටි, පොල් එහෙම උස්සං ඇවිත්. අර මයිනත් එක්ක මළ ඕවර් එකී ටින් කිරි එකක් උස්සගෙන ඇවිත්. මේක දැකපු වෙලාවෙ ඉඳලා මයිනට මේ කිරි ටින් එක උස්සන්නම හිත. මයිනගෙ සියලු නසරාණි වැඩ එක්කම එකටම ඉඳපු එකෙක් හිටියා "දමියා" කියලා. මයිනා අරුට කිව්වා අර ටින්කිරි එක උස්සන්න ඕනෙ බං කියලා. ඕ ඉතිං ඉන්ටවල් වෙලාවෙ කෙල්ලො අර ගෙනාපු දේවල් ඔක්කොම ගිහින් ගෘහ විද්‍යාගාරය ඇතුලේ මේසයක් උඩ තියලා දොරත් ලොක් කරලා ආවා.
                                                              ගෘහ විද්‍යාව උගන්නපු මිසුත් බැළුවොත් ඇත්තං ඔය කාමරේ ඇතුලෙමයි. හැබැයි ඉන්ටවල් වෙළාවට ගුරු විවේකාගාරෙට යනව අනික් ගුරුවරු එක්ක තේ එහෙම බොන්න. ඉන්ටවල් එක ඉවරයි කියලා බෙල් එක වදිනකොටම ළමයි ඔක්කොම පංතිවලට දිව්වා. දමියා කොහෙන්දො හොයා ගනිපු වල් බෙළි අතු කෑල්ලක් ඇරපු ජනේලෙකින් දාලා ටින්කිරි එක තිබුනු සොපින් බෑග් එක පිටින්ම ගත්තා ළඟට. ටින්කිරි එක ගත්තට පස්සෙ එතනින්ම එහා පැත්තෙ වල් බෙළි ගස් අස්සෙන් කැලේට.

"මොකද බං මේකට කරන්නෙ"
"ගෙදර අරන් යමං"
"හපෝ බෑ ගෙදරිං ඇහුව්වොත් කොහෙන්ද කියලා"
"එහෙනං දෙන්නත් එක්කම කමු"
"හරි"
"එහෙනං ඉස්කෝලෙන් පනිමු, හිටපං මං පොත් ටිකත් අරන් එන්නං"
                                                    

                                                       දමියා ගිහින් පොත් ටිකත් අරන් ආවා හොරෙන්.... දෙන්නත් එක්ක දන්න සෙල්ලං ඔක්කො දාලා හිල් කර ගත්තා ටින්කිරි එක. ඊට පස්සෙ ඉතිං පිට්ටනිය එහා කෙළවර කැලෑවට වෙලා ටිංකිරි එක කට තියං බිව්වා. දමියා බාගයයි මයිනා බාගයයි වෙන්න, විනාඩි 2ක් ගියෙ නෑ හැදුනා කැරකිල්ලක් වගෙ හිට ගන්නත් බෑ ඉඳ ගන්නත් බෑ. දෙන්නත් එක්කම පොත් ටිකත් ඔළුවට තියං නිදා ගත්තා වෙන මොනව කරන්නද අර කැලේ මැද්දට වෙලා. නිදා ගනිපු නිදා ගැනිල්ල දෙන්නට ඇහැරුනෙ හවස 5ට විතර වගෙ. එතකොට නම් අර මත් ගතිය ගිහිල්ලා. දෙන්නත් එක්ක කැලේ පාරවල් වලින්ම ආවා දමියලගෙ ගෙදරට. දමියලගෙ ගෙදරින් මූණත් හෝදගෙන බත් පොඩ්ඩකුත් කාලා ගෙදර ගියා. මැණියන්වහන්සෙ ඉතිං කොස්සෙන් එකක් දුන්නා ස්කෝලෙ ගිය එකා නෑ කියල බය වෙච්ච හිංදා. "මම දමියලාගෙ ගෙදර ගියා" කියලා යංතං බේරුනා. ටිංකිරි එක නැති උනා කියලා හොරු හෙව්වට හොරු මාට්ටු උනේ නෑ, අපිත් ඉතිං දන්නෑ වගෙ හිටියා. අදටත් මයිනට ටිංකිරි අරහං
එන්නං ඇ.....
@____මයිනා____