Friday, 7 February 2020

#මයිනාගෙ කතා... 69
මුහුදු යෑම


                                                    මයිනගෙ ගම තිබුනෙ මහමුහුද කිට්ටුව පාත නෙව. ටවුමට ගියත්, බස් එකට නගින්න ගියත්, කොතනට ගියත් මුහුදු හුළං වැදි වැදි තමා ගියේ. ගාළු පාර දිගෙ ඒ පැත්තට ගිහින් ආවත් මේ පැත්තට ගිහින් ආවත් අඩුවක් පාඩුවක් නැතුව ලුනු රස විඳගෙන එන්න පුළුවන්. අපේ ගම්පළාත්වල ඈයොන්ගෙ ප්‍රධාන ජීවන වෘතින් අතර එකක් තමයි මුහුදු රස්සාව.

                                                      මුහුදු රස්සාව කරන වෙනස් වු ක්‍රම තියෙනව, දකුණේ ධීවරයන් අතර ප්‍රචලිත ක්‍රම උනේ වල්ලම්, බළ ඔරු, පොඩි බෝට්ටු, හැඹිළි දැල් හෙවත් ලයිට් කෝස්, බහු දින ධීවර යාත්‍රා හෙවත් ටැංකි බෝට්ටු. මේ ක්‍රමවලටත් වෙන වෙනම මාළු ඇල්ලිමෙ විදි සහ කාළ වේලාවන් තිබුනා. අප්‍රියල්, මැයි මාසවල ඉඳලා අගොස්තු, සැප්තැම්බර් වෙනකම් ඇතිවෙන වාරකන් කාලේ බොහේ ධීවර පිරිස් මුහුදු රස්සාවෙන් ඈත් වෙනව. ඒ කාලේ ඇතිවන මුහුදේ රළු බව (අධික සුළං සහ වැසි) නිසා මුහුදු යෑම අනතුරුදායකයි. වසරේ එක එක කාළවල එක එක විදියට තමයි මාළ අහු වෙන්නෙ. හුරුල්ලා, බෝල්ලා, බළයා, අලගොඩුවා, කෙළවල්ලා, ලින්නා..... වගෙම සමහර ගල් මාළු වර්ගත් ඔය අතරෙ ඉන්නව.




                                                 දැනට ලංකාවෙ තහනම් පන්න ක්‍රමයක් වන හැඹිළි දැල් හෙවත් ලයිට් කෝස් වලින් තමයි වැඩිපුරම මාළු අල්ලන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රමය මත්ස්‍ය සම්පත විනාශයට කාරණාවක් නිසා සාම්ප්‍රදායික ධීවර ප්‍රජාව මේ ක්‍රමයට තදින්ම විරුද්ධයි. බළ ඔරුව කියන්නෙ ප්‍රමාණයෙන් විශාළ ඔරු විශේෂයක් මේ ඔරු අතීතයෙ ඉඳලම වැඩිපුරම තිබුනෙ දොඩන්දූවේ. දොඩන්දූව ප්‍රසිද්ද වෙන්නෙත් මේ බළ ඔරු නිසා.  උණ ගසක ආධාරයෙන් සාදා ගන්නා බිලී පිත්තකින් බළයන් ඇල්ලිමටම මෙම ඔරුව යොදා ගන්න නිසා මේ නම කිව්වා වෙන්නත් පුළුවන්. අනිත් ක්‍රමය තමයි වල්ලම් සහ පොඩි බෝට්ටු ඒ දෙකම කරෙ මුහුදේ යම් තරමක දුරකට ගිහින් යොත හෙවත් තංගුස් ආධාරයෙන් මසුන් මැරිම සහ කුඩා දැල්ලන් (වලා දැල්ලන්) අතංගුවක ආධාරයෙන් ඇල්ලිම ඒවට කිව්වෙ අත් පන්න කියලා. අනික තමයි බහුදින ධීවර යාත්‍රා හෙවත් ටැංකි බෝට්ටු, සතියක හො ඊට වැඩි කාළයක් මහමූදේම සැරි සරලා මසුන් අල්ලන ක්‍රමයක් තමයි ටැංකි බෝට්ටුවලට තිබුනෙ.

                                                අත් පන්නත් එක එක නම්වලින් හැඳින්නුනා. පුඩු පන්න, බටර් ලෝන්, මහ පන්න (මෝරුන්, කොප්පරුන්, තළපත් වැනි මත්සයන් ඇල්ලිමට යොදාගත් අතර තංගුස්පොට කෙළවරට කම්බියක් සම්බන්ධ කර එහි කෙළවර බිළි කොක්ක ගැට ගසා තිබුනි. විශාළ මත්සයන් තංගුස්පොට කටින් කපා දැමීම වැළැක් වීමට මෙම කම්බිය උපයෝගි කර ගන්නා ලදි.) වගෙ. තොටගමුවෙන් මුහුදත් එක්ක සම්බන්ධ උනු උඩුමුල්ල ගඟ හෙවත් මොළපු ඔය පුරා ඔරුවෙන් සහ පොඩි බෝට්ටු වලින් හක්කලං කරපු නසරාණින්ට මුහුදු යෑමේ ආශාවක් ආවා. මේ ආශාව වැඩි වෙලා ගිහින් තඩියගෙ මාමා කෙනෙකුගෙ පොඩි බෝට්ටුවෙන් මුහුදු යන්න කට්ටියම සෙට් උනා.

                                                දවසක් හැන්දෑවක කට්ටිය 5 දෙනෙක් මුහුදු යන්න පිටත් උනා. මයිනා සහ තවත් දෙදෙනෙක් ජීවිතෙ ප්‍රථම වතාවට මුහුදු යනව. එකෙක් කිහිප වතාවක් මුහුදු ගිහින් තිබුනට පොඩි බෝට්ටුවකින් යන පළවෙනි වතාව. තඩියා බෝට්ටුව පදවන්නා සහ එකම එක දවසක් මුහුදු ගිහින් තියෙන එකෙක්. රෑට කන්න පාන් සහ ජෑම් එහෙම අරන් කට්ටියම ගියා මූදු. තොටගමුවේ පාළමෙන් පන්නං මුහුදට ගියපු බෝට්ටුව රළ පාහර උඩින් පැන පැන ගැස්සි ගැස්සි පැද්දි පැද්දි යදිදි මයිනට බඩු බනිස්. දවල් කාපු අල, ළුනු, මිරිස් කෑලි තක්කාලි සහ බත් ඇට එළියට. ඒක දැකපු අනිත් එකෙකුටත් ඕවෑක්.......කා තමයි ඉතිං.
"වතුර ටිකක් බීපං අඩෝ"
"අර දෙහි ගෙඩිය කටිං හපලා ඇඹුල් ටික ටික බීපං"
"පළවෙනි පාර ඔහොම තමයි බං, ටිකකින් හරි යයි"

                                                     උපදෙස් ලෝකයයි හැබැයි වමනෙ නවතින්නෙ නැත, අනික තමයි තඩියා ගඟෙ බෝට්ටු පැද්දට මුහුදෙ රළ පහර එක්ක බොට්ටු පැදිල්ල ඌට තෙරෙන්නේද නැත. රළ පහරෙ සැරත් එක්ක තඩියත් බය වෙලා වැඩේ අංජ බජල් වෙන සයිස් එකටම ආවා. එක්කො බෝට්ටුව පෙරලෙනව නැත්තං නැත්තං තඩියා බෝට්ටුව ගල් පරෙකට නග්ගනව. වමනේ දාන එවුං දෙන්නා අන්තිම වෙද්දි මළමීණි දෙකක් ගානට වැටිලා බොඩිස් වෙලා. වමනේ නොදාපු එකා මර බයෙන් ඇලිලා මොකද ඌට පීනන්න බෑ. මුහුදු ගිහින් පොඩි පළපුරුද්දක් තිබුනු එකා තඩියට උපදෙස් දෙනව, තඩියා ඒ උපදෙස් වළට අනුව බොට්ටුව පෙරල ගන්නෙ නැතුව ඉන්න ෆුල් ට්‍රයි එක දෙනව.

                                                            වමනෙ දාලා දාලා බොඩිස් වෙලා හිටපු මයිනා තඩියට බොහොම අමාරුවෙන් කිව්වා "අල්ලපිය ගොඩට" කියලා. බොහොම අමාරුවෙන් ආයෙමත් ගොඩබිම දිහාවට එන්න ගත්තට මොකද ඇත්තම කතාව තමයි හික්කඩුව අවට මුහුදෙ ගොඩ බිමට ආසන්න වෙද්දි මාරාන්තික කපොලු කීහිපයක් තියෙනව. ඒ තැන්වලින් බොහොම පරිසමට බෝට්ටුව අරන් එන්න ඕනේ. එක කොටසක තියෙනවා රළ බිඳෙන තැනක් ඔය හරියට කිව්වෙ "හළන පරේ" කියලා එතනින් බොහොම පරිසමින් බෝට්ටුව ගන්න ඕනෙ. අනිත් තැන තමයි මුහුදෙන් ඇවිත් උඩුමුල්ල ගඟට ඇතුල් වෙන තැන, එතනින් කැරකිලා යන රළ සහ දිය පහර සීනිගම දේවාලේ දිහාවට ඇදගෙන යනව. එතනින් මිස් උනා කියන්නෙ කෙලින්ම ගල් පරේ වැදිලා තමයි නවතින්නෙ. ඉස්සර තිබුනු හික්කඩුව ධීවර වරායට බෝට්ටුවක් ඇතුල් කරනව කියන්නෙ හරිම අමාරු වැඩක්. හොඳම පළපුරුදු කෙනෙකුට ඇරෙන්න එතන දිය කපොල්ලෙන් එනව කියන්නෙ මරණයට අත වැනුවා වගෙ තමයි. දැන්නම් ධීවර වරාය ඉතාම උසස් විදියට හදලා තියෙනව. ඔය වරායට ඇතුල් වෙන්න නම් හරියටම රළ එන විදිය බළලා ඒක රළ පහරකුත් එක්කම වරාය ඇතුළට එන්න ඕනේ. හැබැයි ඔතනින් තඩියට ජීවිතේට බෝට්ටුවක් ගන්න බෑ. අන්තිමට තීරණය කලා සීනිගම දේවාලෙ ළඟට බෝට්ටුව ගොඩ කර ගන්න හැබැයි ඒ වැඩෙත් තඩියට කර ගන්න බෑ. මොකද දේවාලේ කිට්ටුවත් තැන් තැන්වල ගල් පර තියෙනව ඒ තැන්වලින් බොහොම පරිසමට බෝට්ටුව ගන්න ඕනේ.

                                                  දැන් ඉතිං මුහුදෙ ඉන්නත් බෑ ගොඩට යන්නත් බෑ. මයිනා සහ අනිත් එකාට වමනෙ කියලා දාන්න තව කිසිම දෙයක් ඉතිරි වෙලත් නෑ. ඔය හවස් අතේ හික්කඩුව වරායට ගොඩ වෙන්න එන ටැංකි බෝට්ටුවක හිටපු සෙට් එකක් ඈත ඉඳන්ම බලාගෙන ඇවිත් තියෙන්නෙ මොකක් හරි අවුළක තමයි බොඩි බෝට්ටුව තියෙන්නෙ කියලා. ඒ බෝට්ටුව ලං කරලා "මොකෝ මල්ලි අවුළ" කියලා ඇහුව්වා. මොකෝ ඉතිං අපි මුහුදු යන්න ආවා දැං කෙළවිලා ඉන්නෙ කියන්නයෑ. "අනේ අයියෙ අපි ගඟෙ ඉඳලා ඇවිත් පොඩ්ඩක් මූදට දැම්මා දැං ආයෙමත් යන්න විදියක් නැතුව ඉන්නෙ" කියලා කිව්වා. ඕං ඉතිං ඒ බෝට්ටුවෙ එකෙක් මේ බෝට්ටුවට පැනලා අර බෝට්ටුව පස්සෙම තියාගෙන ගිහින් ඇතුල් උනා වරායට. ඔය වරායෙ ඉන්න හැම බෝට්ටුකාරයම හැම ධීවරයම වගෙ මයිනගෙ තාත්තාව දන්නව සහ මයිනවත් දන්නව.

                                                  බෝට්ටුව ගොඩට අල්ලලා ඉවර උනාම මයිනා ඉතිං බොහොම අමාරුවෙන් නැගිට්ටා. හුටා සේකර මාමා කියලා පොරක් ඉන්නව මිනිහ ළඟට ඇවිත් "මද්දු අයියගෙ පුතා දැං මූදූත් යනවැයි" කියලා අහපි. "මොන මුදූද මාමේ මේන්න මූ ගඟේ ඉඳලා බොට්ටුව මූදට දැම්මා ආයෙමත් යන්න බැරුව මෙහෙට ගොඩ කර ගත්තෙ" කියලා බොහොම අමාරුවෙන් කිව්වා. මිනිහ දැන ගත්තා අම්බානක වමනේ දාලා තමයි මේ ඉන්නෙ කියලා. පස් දෙනාම එක්ක ගෙන ගිහින් ක්‍රීම් සෝඩා අරන් පොවලා "දැන් ගෙදර ගිහින් හෙට කවුරු හරි එක්ක ඇවිත් බෝට්ටුව අරන් යන්න පුතේ" කියලා මයිනව ගෙදර එව්වා. ඊළඟ දවසේ තඩියගෙ මාමා ගිහින් බෝට්ටු අරන් ආවා ආයෙමත්. එදා මෙදා තුර මයිනා නෙවෙයි මූදු යන්න හෙව්වෙ. හැබැයි ඉතිං අද දවසෙ උනත් මයිනා හික්කඩුව වරාය දිහාවට ගියොත් නිකං මාළු කූරියෙක් දෙන ධීවරයො ඉන්නව. ඒ මයිනගෙ තාත්තට තිබුනු ගෞරවෙට මිසක් මයිනට ඇති ලබ්බකට නම් නෙවෙයි. ගැංසියෙ එවුන් නම් කාඩ් එකක් ගැහුව්වා "මයිනයි, තඩියයි මූදු ගියා වගෙයි" කියලා. එන්නං ඈ....
___මයිනා__

No comments:

Post a Comment