Saturday, 10 August 2019

මයිනාගෙ කතා ...48 ත්‍රයිලෝක විජයපත්‍ර..


මයිනාගෙ කතා ...(48) ත්‍රයිලෝක විජයපත්‍ර..

පුන්සඳ පායල ඇති රෑක..
ගඟ අද්දර පොඩි අතු ගේක..
නැති කර ගන්නට දුක ශෝක.
හැමදාමත් කරනව මේක.......
මල් ඔතනෝ...... මල් ඔතනො..... ඇට නැටි ඇහිඳල මල් ඔතනෝ....



                                   ඔන්න ඔහොම කියන්නෙ දීපාල් සිල්වා. ලංකාවේ තණමල්විළ ප්‍රදේශය ප්‍රසිද්ධ වෙන්නෙ ත්‍රයිලෝක විජයපත්‍රවලට කියලා හිතුවට ඇත්තම කතාව තමයි තණමල්විළ කියන්නෙ ලෝක වාර්ථාවකට හිමිකම් කියන ප්‍රදේශයක්. ලොව වැඩිම සිය දිවි හානි කර ගන්නා ප්‍රදේශය විදියටත් මේ ගම ලෝක ප්‍රසිද්ධයි ඕං.

                                        ඉස්සරම ඉස්සර මයිනාගෙ තරුණ අවදිය එහෙම නැත්තං 17-18 කාලේ ගැංසි ගැහී රංචු වැදි රස්තියාදු ගහපු සුන්දර කාලේ. ඔය කාලේ හැම දෙයක් ගැනම තියෙන්නෙ කුතුහල්යක් නේ.  සමාජ සම්මත අසම්මත බොහෝ දේවල් රහ බලන්න හිතෙන අත්විඳින්න හිතෙන අත්දකින්න හිතෙන හරි අමුතුම විදියෙ යුගයක්.  ආවේග, රඟපෑම්, පොරවීම්, යාළු පිට් එකට පු# දිලා වෙඩි කාලා මැරෙන්න උනත් සෙට් වෙන මාරම කාලේ.

                                    අපේ සෙට් එකේ විවිධ පොරවල් හිටියා, ඒ අතරින් අපි 4 දෙනෙක් කෑවේ බිව්වෙ කෑලි බලන්න ගියෙ රෑ 1011ට වෙන් වෙලා යනකම් හිටියෙ එකටම තමයි. ඒ අතරිනුත් තඩියයි මයිනයි කියන්නෙ අමුඩෙයි පුකයි වගෙ උදේ නැගිට්ට වෙලාවෙ ඉඳලා රෑ නින්නදට යනකං එකටම හිටපු එවුන් දෙන්නා.  තඩියගෙ අම්මා හිටියෙ රට, තාත්තා සතියකට දෙකකට සැරයක් තමයි ගෙදර ඉන්නෙ.  තඩියයි ආච්චියි නංගියි තමයි ගෙදර ඉන්නෙ.  හැම දවසකම අපේ ගෙදර තඩියා වෙනුවෙනුත් තඩියගෙ ගෙදර මයිනා වෙනුවෙනුත් කෑම සූදානම් කරලා තිබුනා.  ඊට අමතරව මයිනගෙ බාප්පා කෙනෙක් ඉන්නව ඒ ගෙදරත් මයිනගෙ කෑම පිඟාන බෙදලා තියෙනව ඒක අනිවාරයයි.  ඒ බාප්පටයි බාලම්මටයි මයිනා කිව්වෙ අම්මා තාත්තා කියලමයි, මොකද ඒ දෙන්නා තමුංගෙ දරුවන්ට වඩා මයිනට ආදරෙයි.
හුටා.... කතාව වෙන පැත්තකට ගියා..

                                                  අපේ අපත නඩේ ඔක්කොම හිටියා 17ක් විතර.. වයසින් අඩුම එකා ස්කෝලේ 8 වසරෙ හිටියෙ, වයසින් වැඩිම එකා අපිට වඩා අවුරුදු 3ක් වැඩිමහල්. ඔය 17න් 9 දෙනෙක් නිතර හමු වෙලා අපත..අධම..කුජීත වැඩ කලා. අනිත් එවුන්ගෙ ගේම්වලට සපෝර්ට් කරා ඔත්තු බැලුවා, ගේම් සෙට් කරා, නින්ජා ගැහුව්වා, රිටර්න් දුන්නා, ගහ මරා ගන්න බැරි එවුන්ව වෙන එවුන් එක්ක අවුලලා තියලා හිමිජ්ජො වගෙ හිටියා, ලව් කැඩුවා, ලව් හැදුවා, කොටු පැනපු එවුන්ගෙ රහස් දැනගෙන බ්ලැක් මේල් කරා...... ඕං ඔහොම ඉතිං දැහැමින් සෙමින් කාලය ගතකරගෙන යනකොට සිගරට් එකක් බීමේ සහ ඒ පිළිබඳව අත්දැකීම් ලබා ගැනිමේ කුතුහලයට අවතීර්ණ උනා.  කොල්ලෙක් උනාම ඒහෙම ඒවත් කරලා තියෙන්න ඕනැයි කියලා ගෝල්ඩ් ලීප් 9ක් ගෙනත් බීලා බැලුවා..හපෝ! මෙලෝ සංසාරෙක දෙයක් නෑ, දුංකොළ රහයි ගඳයි විතරයි .. ඒක හරි. ඊළඟ අත්දැකීම ත්‍රයිලෝක විජයපත්‍ර වලින් ලැබෙන ඒ ෆීලින්ග් එක මොන වගේද කියලා බලන එක.

                            ජොයිනට් එක, පැට්ටා, මිටිය, රොකට් එක, නිෂාන් වගෙ විවිධ නම්වලින් ගංජා කියන ඖෂධේ හැඳින්නුවා. කන්න ඕන උනාම කබරගොයත් තළගොයා කර ගන්න රටේ අපේ කටා කිව්වෙ ගංජා බිව්වම හොඳට මතක හිටිනව වගෙම කන්න පුළුවන් කියලයි. හරියටම ෆීලිං එක ගන්න නම් ගංජා මල් තමා හොඳ කියලත් අපේ කටා දැනුවත් වෙලා තිබුනා. ඒ කාලේ මල් පැකට් එකක මිල 60යි, කටාගෙ සල්ලි වලින් වෙනත් එකෙක් මලක් ගෙනාවා සහ උගෙ පළපුරුද්දෙන් ඒවා පෙට්ටි සුරුට්ටු ප්‍රමාණයට සැකසුනා. සිගරට් දෙක තුනක දුම්කොළ සහ සියුම්ව සකසා ගත් ගංජා මලේ කොටස් එකට එකතු වෙලා පොඩි ප්‍රමාණයෙ ගොට්ටක හැඩේට හැදුනු සුරුට්ටු උරන්නයි හදන්නෙ. පෙර සිට පුරුද්ද තිබු එකා එකක් පත්තු කර ගත්තා සහ ඉරුවා, අනිත් අපතයන් වගෙම මයිනා දුම් උගුරක් කටට අරන් ආයෙත් එළියට දැම්මා.



ඒක දැකපු පළපුරුදු බුවා "මයිනා මල්ලි ඔහොම බෑ බං දුම් ටික ගිලපං, ඊට පස්සෙ පිට වෙන්න ඇරපං" කිව්වා.
                                                                     ඒ ජේශ්ඨ උත්තමයගෙ මාර්ගෝපදේශය යටතේ දුම් උගුරු කිහිපයක් ඇතුලට සහ එළියට ගියා.  මයිනට නිකං දැනෙනව දැං මේ හමන හුළඟට මයිනව උඩින් ගිහින් ඈත දුරකට වැටෙයි කියල.  හිටපු තැනින් නැගිටලා එන්න හදද්දි අර පළපුරුදු ජේෂ්ඨය කියාපි "මයිනා මල්ලි හොඳට සීනී දාලා ප්ලේන්ටියක් ගහපං කික් එක එන්නෙ එතකොට" මයිනා ඉතිං පරිස්සමට පාරට ඇවිත් ගෙදරට එන්න එද්දි මයිනට හිතෙනව මේ එන වහන ඔක්කොම මයිනගෙ ඇඟටමයි එන්නෙ කියලා.  මයිනා ඉතිං පාරෙ අයිනට අයිනට අයිනටම ඇවිත් වැටවල්වල තියෙන කොළ අතු වල වැදි වැදි තඩියලගෙ ගෙදර කිට්ටුවට ආවා.  දැං මයිනට හිතෙනව තඩියලගෙ ගෙදර තමයි යන්න ඕනේ මයිනගෙ ගෙදරට වඩා තඩියලගෙ ගෙදර නියමයි මරු කියලා.  ඕං ඉතිං මයිනා තඩියලගෙ ගෙදරට ගියාම තඩියගෙ ආච්චිව පේනව කෝපි කඩේ හාමිනේ වගෙ, තඩියගෙ නංගිව පේනව නෑදෑයෝ කතාවෙ ලීලසේනගෙ ලව් එක සුදූ චූටී වගෙ. මයිනා පරිස්සමට බයිසිකලේ බිත්තියකට හේත්තු කරලා කතා බතා නැතුව තඩියගෙ කාමරේට ගිහින් ඇඳේ ඇල උනා. තඩියගෙ නංගි හෙවත් දැං "සුදු චූටී" ඇවිත් "දාඩියයිනේ අයියේ ෆෑන් එක දා ගන්න" කියලා ඒකිම ෆෑන් එක දැම්මා. ඈඳට උඩින් කැරකෙන ෆෑන් දැක්කම මයිනට හිතෙනව දැං උඩට කැරකිලා යයි ගිහින් ෆෑන් එක වටේ කැරකි කැරකි ඉඳි කියලා. ඒ බයට මයිනා ඇඳේ මුනින් අතට හැරිලා නිදා ගන්න බැලුවා, දැං මයිනට හිතෙනවා ඇඳත් හුළඟට අරන් උඩට පාවෙලා යයි කියලා.මයිනා කෝකටත් හොඳයිනෙ කියලා හිතලා ඇඳේ විට්ටමක් හයියෙන් අල්ල ගත්තා.

පැය කීයක් නින්ද ගියාද දන්නෑ ඉතිං මයිනා නැගිට්ටා, මෙන්න බොළං ඇඳ පල්ලෙ තඩියත් ඉන්නව. ටික වෙලාවකට පස්සෙ තඩියත් නැගිට්ටා

"
ඈ බං මයිනා ඒක මාර ආතල් එක නේ"

"
තොගෙ #ක යකෝ මම මාර බයෙ හිටියෙ හුළඟෙ ගහගෙන යයි කියලා"

"
අඩෝ මටත් එහෙමයි බං මම ආවේ හෙන පරිස්සමින් බං පාරෙ"

ඊට පස්සෙ අර මත් ගතිය එහෙම ගියා හැබැයි තඩියගෙ ආච්චියි නංගියි දැක්කම තනියම හිනා. එදායින් පස්සෙ අද වෙනකං ඒ ආතල් එකනං ගන්න ගියෙ නෑ. ත්‍රයිලෝක විජයපත්‍ර  උරන ඈයෝ නං මේ කතාව කියවයි මුල්ම සැරේ දැනුනු ෆීලින්ග් එකත් කියාගෙනම පලයල්ලා... එන්නං ඈ........

____
මයිනා____

මයිනාගෙ කතා..47 ගොළුවා..


මයිනාගෙ කතා..47... ගොළුවා.. 

                               අද කියන්න යන්නෙ වරදවා වටහා ගැනිම නිසාවෙන් අනුකම්පාකොට සත් ගුණවත් පොහොසත් පිරිසක් විසින් කරන ලද සංග්‍රහයක් ගැනයි. මයිනගෙ ගම්පලාත සංචාරක පුරවරයක් කිට්ටුව පාත තිබුනු නිසා ලෝකෙ වටේ තියෙන හොඳ නරක දෙකම උණු උණුවෙම ගොඩ බැස්සා එක එක විලාසෙන්. ඔය අතරිනුත් එක එක රටවලින් ගොඩ බැහැපු ධනපති පරිත්‍යාග ව්‍යාපෘති ගොඩක් තිබුනා. එක එක ව්‍යාපෘති තමයි ඉතිං පුණ්‍යාධාර වැඩසටහන් සහ තවත් බොහෝ දේ. ඇස් කණ්නාඩි නොමිලේ ලබා දීම, අඩු ආදායම්ලාභින්ට නිවාස තනාදීම, නොමිලේ වෘත්තිය පුහුණු වගෙම අන්ධයන්ට පෙනීම ලබා දීම, ගොළුවන්ට කතා කිරිමට සහ ලිවිමට ඉගැන්වීම වගෙ "මාර ව්‍යාපෘති" තමයි තිබුනේ. ඔය අස්සෙ වෙච්ච වෙන වෙන කතා දහසකුත් එකක් තිබුනා,ඒවා පස්සෙ ලියමුකො..

                                                    මයිනගෙ ගම දිහාවේ හිටියා ගොළුවො සෙට් එකක්. මයිනගෙ ගමේ ගොළුවො දෙන්නයි අල්ලපු ගම්වල ගොළුවො හය හත් දෙනෙකුයි එකතු වෙලා හැදුනු ගොළු ටීම් එකක්.. ගොළුවන්ට සමහර අපතයො වද වේදනා අඩන්තෙට්ටම් කරාට මයිනා එහෙම කරේ නෑ සහ මයිනා ඉන්න තැනක එහෙම උනා නම් මයිනා ගොළුවගෙ පැත්ත තමා ගත්තේ.. (එකපාරක් ගොළුවන්ට විහිළු කරපු එහෙකුට ගොළුවන්ට කියලම ගස්සවලා ඔළුවත් පැලෙව්වා ආං එහෙමයි මයිනගෙ වැඩ!)මේ ගොළු ටීම් එකත් මයිනා කොහෙදි දැක්කත් ඉතිං උංගෙ අර අංගචලන බාෂාවෙන් මයිනා එක්ක අදහස් හුවමාරු කරගෙන තමා යන්නෙ. ගොළුවන්ට පේන්න කොළයක් ඉරුවාම ගොළුවන්ට මාරවිදියට තරහ යනවලු නේ, අපේ අපත තඩියත් ගොළුවෙක් දැක්කම කොළයක් ගහකින් හරි කඩලා අරන් අරුට පේන්න ඉරනව. ගොළුවො සෙට් එක තඩියා දැක්කම ඉතිං පට්ට මළ.

                             ඔන්න ඔය ගොළුවො සෙට් එකට ජර්මානු ආධාර යටතේ පවත්වන අධ්‍යාපනය ලබා දිමේ වැඩසටහනකට යන්න අවශ්‍ය වෙලා. මුං සෙට් එකට මේ විස්තරෙ ගැන තොරතුරු දැනගන්න ක්‍රමයක් නෑ.. එක දවසක ගොළුවො සෙට් එකම ඇවිත් අංග චලන වලින් පෙන්නනවා මුංට ස්කෝලේ යන්න පුළුවන් උදව් කරන්න කියලා. මයිනා එක ගොළුවෙකුගෙ ගෙදරට ගිහින් ඇහුවම කිව්වා මේ අය අද්‍යාපනය ලබා දිමේ වැඩසටහනක් පටන් ගන්නව නාරිගම එක තැනක මේකට අදාලව කටයුතු කරන පුද්ගළයව මුණ ගැහෙන්න යන්න ඕනේ කියලා (ගොළුවන්ගෙ ගෙවල් වල ඉන්න හරක් මේකට කැමති බවක් පෙන්නුවේ නෑ).

ගොළුවො ගැන උපන් අනුකම්පාවෙන් පසුවදා ගොළුවො හය දෙනෙක් සමග අර සම්බන්ධිකරනය කරන පුද්ගළයා සොයාගෙන ඒ ගෙදරට ගියා.අදාළ කටයුත්ත සම්බන්ධව ඉදිරි දවසක දැනුවත් කරන බවත් එදිනට අසවල් විහාරස්ථානයට පැමිණෙන ලෙසටත් දැනුම් දුන්නා. ඒ දවසට එද්දි පුරවගෙන එන්න කියලා ෆෝම් වගයකුත් අම්මගෙ තාත්තගෙ විස්තර පුරවන්න වෙන කොළ ගොඩකුත් දුන්නා.

ඒ අරන් ආපු ඉල්ලුම්පත් ගොළුවන්ට පුරවලා දීලා අදාල දවසේ අයෙමත් ගොළුවො එක්ක අර එන්න කියු විහාරස්ථානයට ගියා උදේ 9 වෙද්දි.මයිනා ඉතිං ගොළුවො එක්ක ගිහිල්ලා මොනව කරන්නද කියලා හිතලා තනි නොතනියට කට්ටා කියලා එකෙක් හිටියා ඌවත් ඇදගෙන ගියා. මොකා ඇදං ගියත් අර ගොළු නඩේ මයිනා පස්සෙන්මයි, අන්තිමේ කට්ටත් ගොළු බාෂාවෙන්ම වැඩේ ඇදං යන තැනට පත් උනා පැයක් යද්දි. මයිනා ඉතිං වැදගත් තැනක මුල් තැන කියලා හිතලා ගෙදර තිබුනු හොඳම ඩෙනිම ඇඳලා සුදු පාට ටි ෂර්ට් එකක් එහෙම ඇඳන් ගියේ.

                  ඕං ඉතිං ඒ දැනුවත් කිරිමේ සහ ලියාපදිංචි කිරිමේ වැඩ කටයුතු වලට සහ සංග්‍රහ කටයුතුවලට ඇවිත් හිටියෙ නාඹර වයසෙ කැකුළියො ටිකක්. ගොළුවො හය දෙනාගෙම ෆෝම් අරං ලියාපදිංචි කරන තැනට ගියාම එතන හිටි කෙල්ලො දෙන්නා නම් බල බල එකා එකාව පැත්තකට කරනවා.අරුං හය දෙනාගෙන් එක ගොළුවෙක් මිසිං, මයිනගෙ අතේ ඉතිරි ෆෝම් එක. අර කෙල්ලෙක් බොහොම අනුකම්පා සහගත බැල්මක් හෙලලා අනිත් කෙල්ලට කියනවා,
"පව් බං මේ කොල්ලා නම්"

"ඒක තමයි බං හරිම අහිංසක පාටයි පව්, මමත් ආපු වෙලාවෙ ඉඳලම බලං හිටියෙ"

"කරුමේ තමයි ඉතිං කතා කරන්න පුළුවන් උනා නම් මම යාළු වෙනව කෝමහරි"

"ඔව් ඔව් උඹට හරි යන්නෙ ගොළුවෙක් තමා"

"හි..හී....හී..."

                             අනේ ඉතිං මයිනට හිනා පස්ස පැත්තෙනුත් එක්ක, ඒ මදිවට කට්ටා එතන හිටපු ගමේ වයසක උන්දලටත් කියලා මයිනත් ගොළුවෙක් කියලා (කට්ටා මයිනට කිව්වා කට වහං ගොළුවා වගෙම ඉඳපං කියලා).. උදේ තේ පැන් සංග්‍රහය,අර වයසක ඇන්ටිලා ආනමාලු කවනවා, කෙල්ලො කේක් කවනවා, නිළධාරි මණ්ඩලය බීම පොවනවා, ජර්මන් ජාතික කාන්තාවො අරෙං මෙහෙං අල්ල අල්ල ෆොටෝ ගහනවා.. ඒ අස්සෙ නාකි සුද්දෙක් ඇවිත් @# @#න්න හදනව. දැං ඉතිං මොනව කරන්නද මයිනා ගොළු දරුවෙක්ම උනා.




                                   උදේට කාපුවගෙ හැටියට දවල්ට කන්න බෑ.. කට්ටත් මයිනව පෙන්න පෙන්න   තමන්ගෙ වැඩකටයුතු කරගන්නවා. අනේ ඉතිං දවල්ට සමහර එකියො කට්ලට් බෙදනවා,ඇන්ටිලා චිකන් බෙදනව ඒකත් කටු නැති ඒවා තෝරලා, සුද්දියො අන්නාසි කවනව, නාකි සුද්දා ආනමාළු කවන්න ට්‍රයි කරනව....... හම්මෙ ඉතිං ඒ ජරමරේ.ඒ අස්සෙ එක ගොළුවෙක් උගෙ බාෂාවෙන් මයිනට කතා කරන්න පුළුවන් කියන්න හදනව, ඒක දැකපු කට්ටා ෂේප් එකේ අරුට අතිං අනිනනව. ඉස්මුරුත්තාව හැදෙනකං කාලා ෆොටෝ ගහලා හවස 5ට විතර ඒ සුකුරුත්තං වැඩ ඉවර වෙලා අර එක නිළධාරි මහත්මියක් පැත්තකට එක්කගෙන ගිහින් තඩි ටියුලිප් බැග් එකකට මොනවදෝ දාලා දුන්නා. නාකි සුද්දා රුපියල් 500ක් දුන්නා, සුද්දියො ටිකත් රුපියල් 800ක් විතර දුන්නා. ඒ අස්සෙ පංසලේ ලොකුනම කරුමය සහ ගොළු ආත්ම ලැබිමට හේතු වන කාරණා කියල දෙනවා.. සියළු වැඩ ඉවර වෙලා ගොළුවොත් එක්ක බයිසකලේ නැගල එන්න හැදුවම අර බෑග් එක දීපු නෝනා අනිත් එවුන්ට යන්න කියලා කට්ටගෙන් ඇහුව්වා මයිනා කොහෙටද යන්නෙ කියලා. කට්ටා ගත් කටටම කිව්වා සීනිගම දේවාලෙ ළඟට යන්නෙ මිස් කියලා.




"ගාළු පාරේ නේ මං බස්සසගෙන යන්නං" කියලා.

අනේ ඉතිං අර නෝනා මයිනවත් කාර් එකට පටවං කට්ටවත් පටවං එන ගමන් කට්ටගෙන් අහනව මයිනා ගැන. වල් කට්ටා ගල් පැලෙන බොරු දෙසනව
"ආච්චි තමයි මෙයාව බලා ගන්නෙ, තාත්තා නෑ අම්මා රට මෙයා වඩු වැඩ කරනව නිකං ඉන්නෑ මිස්"

"පව් මේ ළමයා නම් දකින කිසි කෙනෙක් කියන්නෑ මෙයා ගොළුවෙක් කියලා"

"මොනව කරන්නද මිස් පෙර පව් තමයි"

කතාවෙන් කතාවෙන් දේවාලේ ළඟට ආපු මිස් කට්ටට ටෙලිෆෝන් නම්බරෙත් ලියලා දිලා "මෙයාට තියෙන අඩුපාඩු ඔක්කොම කියන් මම ඒවා හරි ගස්සලා දෙන්නම්" කියලා මයිනගෙ මූණත් අතගාලා ඇස් දෙකේ කඳුළුත් පුරවන් සමු දුන්න. අනේ ඉතිං මයිනත් දේවාලෙට වැඳලා ඒ මිස් දිහාවටත් වැඳලා සමු දුන්නා.

මයිනයි කට්ටයි අර බෑග් එක ඇරලා බැළුවා මගදිම.. හම්මේ ඉතිං කේක්ද බිස්කට්ද කෝළිකුට්ටු ඇවරියක්ද තල පැකට් එකක්ද ඇතුළු කෑම පාර්සළයක්. ඒවා ගෙදර අරන් යන්නයෑ මගදිම අනිත් අපතයන්ට කෑම පාර්සලේ දීලා ගෙදර ගියා. වෙච්ච සිද්ධියත් අර අපත රැළට කිව්වා. ඕං ඉතිං ඊට මාසෙකට එකහාමරකට විතර පස්සෙ දවසක කට්ටා මයිනා සහ අපත රැළ ගියා හික්කඩුවෙ තිබුණු තොරණක් බලන්න රෑ යාමේ. අර ගොළු නඩෙත් හම්බවෙලා ඉතිං ටිකක් වෙලා ඉඳලා ගියා. අර සෙනග මැද්දෙ මයිනට ඇහෙනව
"අර අම්මෙ මම කිව්වෙ ගොළු කොල්ලෙක් ඒ කොල්ලා තමයි අර"

"අනේ පව් ඒ කොල්ලා"





අනේ අර සෙනඟ අස්සෙන් ඇවිත් එදා අර නම් ලිස්ට් හදපු තැන හිටපු එක කෙල්ලෙක් ඇඟට තට්ටු කරලා අතින් ගොළුවෙකුට කතා කරනව වගෙ කතා කරගෙන එක්කං ගියා.  මයිනට දැං කර ගන්න දෙයක් නෑ අනිත් අපතයො බලං ඉන්නව කෙල්ලෙක් ඇවිත් මයිනව එක්කං යන දිහා. කට්ටා සීන් එක දන්න හිංදා අවුළක් නෑ, කට්ටා අනිත් එවුන් දැනුවත් කරන අස්සෙ තඩියා සෙනග අස්සෙන් ඇවිත් පිට මැද්දෑවට එකක් දීලා "වරෙං වහෙ යන්න" කිව්වා. ගොළුව ගැන අනුකම්පාවෙන් හිටපු අර කෙල්ලගෙ හත්මුතු පරම්පරාවෙම ඈයො තඩියට වළිය දැම්මා. ඒ කෙල්ලගෙ ආච්චි අම්මා වගෙ හිටපු ගෑනි කියාපි "මේ මදාවියගෙ අත කැඩෙන්න එපැයි මේ අහිoසක කොල්ලට ගහපු" කියලා.

අපරාදේ කියන්න බෑ කඩල මලු, කජු ගොටු, බූන්දි, සීනී මුරුක්කු, අයිස් ක්‍රීම් මයිනට අඩු නැතුව ලැබුනා. ඒ ලැබිච්ච ඒවගෙ බාගෙ බාගෙ පිටි පස්සෙං හිටි කට්ටට ලැබුනා. ඕං ඉතිං කට්ටා ඇවිත් "ගෙදර අය බය වෙලා ඇති මෙයාව එක්ක යන්නං දැන්" කියලා මයිනව එක්කං ආවා. අර අත්තම්මා කට්ටට කියනව "මේ අහිංසකයා පරිසමින් එක්කං පළයං පුතේ" කියලා. අනේ ඉතිං ඒ දවසෙන් පස්සෙ මයිනා නොවෙයි අර ගම පැත්ත පළාතකින් ගියේ. අර ගොළුවන්ගෙ වැඩසටහනට නම් ගොළුවො හතර දෙනෙක් දිගටම සහභාගි උනා, කාලය ගෙවිලා ගිහින් මයිනත් සැහෙන කාලෙකින් ගමට ගියෙ නෑ.

මීට දවස් කිහිපයකට කලින් මගෙ අම්මා ගමට ගිය වෙලාවක ගමේ මළ ගෙදරකට සහභාගි උනා, එතනදි එක ගොළුවෙක් අපේ අම්මා ළඟට ඇවිත් හයියෙන් ඇඬුවලු මාව මතක් කර කර. ඒ ගොළුව අඬද්දි වටේ පිටේ මිනිස්සු අහනවලු ඇයි මේ ගොළුවා අඬන්නෙ කියලා. අදත් මගෙ ගම කියන්නෙ බොහො මතක ඉතිරිකල ඉතිරි උනු සොඳුරු තැනක්. අතීතයට යන්න පුළුවන් මතක අතරින් පමණයි ඒ මතක අදත් ඇස් අග තෙත් කරනව වගෙම තනියෙන්ම හිනා වෙන්නත් අවස්ථාව හදලා දෙනවා. අතීත මතක සහ සිදුවීම් රාශියක් හංගගෙන ඒ සොඳුරු ගම අභාවයට යන එක හරිම කණගාටුවක්. මත්කුඩු සහ පාතාළ කණ්ඩයම්වල තෝතැන්නක් වෙච්ච ගමේ විශේෂ කාර්‍ය්ය බළකා සෙබළුන්ගෙන් සමන්විත මුරපොළකුත් ස්ථාපිත කරලයි තියෙන්නෙ.ගම ගැනත් ලිවිය යුතු අපූරු කතාවක් තියෙනව ඒකත් ළඟදිම ලියන්නම ඕනේ, ගම අභාවයට ගිය කරුණු කාරණා කිහිපයක් ඒ කතාව ඇතුලේ මට ලියන්න පුළුවන් වෙයි.

එහෙනං අයේ දවසක එන්නං ඈ......
___
මයිනා____

Friday, 26 April 2019

මයිනාගෙ කතා... 46 නින්ද


මයිනාගෙ කතා... 46 ... නින්ද ...



                             නින්ද ගැන කියන්නයි යන්නෙ, එක එක ඈයෝ එක එක ඉරියව්වලට නිදා ගන්නව නෙව. පැත්තට, උඩුබැළි අතට, මූනින් පත බෑවිලා වගෙ ඇක්ෂන්වලට නිදා ගන්නව නේ. නිදා ගන්න ඉරියව් ගැනත් නින්ද ගැනත් බුදුන් වහන්සේ කරුණු කාරනා දේශනා කරලා තියෙනව නෙව. සමහර එවුන් ඉතිං නිදා ගන්නෙම මළ පෙරේත සෙයියාවෙන් දැක්කමත් සසර කළකිරෙනව. බුදුරජානන් වහන්සෙ සැතපුනේ සීහ සෙයියාවෙන්ය කියනව නේ, දකුනු ඇලයට හැරි දකුණු හස්තය මත සිරස තබා වම් හස්තය තමන්වහන්සෙගෙ දෙහය මත තබාගෙන සැතපිමට සීහ සෙයියාව එහෙමත් නැත්නම් ශ්රේස්ඨ සැතපිම කියනව නේ.

සමහර ඈයො ඉන්නව නේ රෑට නින්ද එන්නෙ නැති එහෙම අංකල් කෙනෙක් මයිනට සෙට් උනා කෙළඹදි, බළපිටිය පැත්තෙ කෙනෙක් රෑට නිදි නෑ ඇත්තටම මනුස්සයට නින්දක් එන්නෑළු. තව එවුං නිදා ගන්නෙ නෑ නේ රෑට අගුපිල් අස්සෙ රිංගන්න, කොටු පනින්න, බැළමට් දාන්න ඉන්න අපතයො සහ හොරකමෙ යන උං එහෙම. ඕං ඔය අස්සෙ තව සමහර අපතයො ඉන්නව නිදා ගන්න ගියපු වෙලාවෙ ඉඳල එහෙටයි මෙහෙටයි දඟළ ඳඟළ ඉඳල බොහොම අමාරුවෙන් තමයි නින්දට වැටෙන්නෙ. මයිනා වගෙ අපතයො ඉතිං ගෙම්බා පොළවේ ගැහුව්වා වගෙ වැටුන තැන නිදි තමා. සමහර එවුං ඉන්නව කමාන්ඩෝලා වගෙ කොයිතරම් නින්දක හිටියත් බොහොම සියුම් සද්දෙකට පවා ඇහැරෙනව. තවත් එවුං කණ ළඟ ක්ලේමෝ බෝම්බයක් පිපුරුවත් ඉතිං ෂපාන් එකේ නිදි වැඩේ කියන්නෙ මිත්රවරුනි මයිනත් අන්න ගොඩේ තමයි ඉන්නෙ.

මයිනා කියන අපත චරිතෙ නින්දට පට්ට ආදරෙයි හැබැයි ගෙවුනු අවුරුදු 17 කාලය පුරා නින්ද බොහොම දුරට ගිහින් කියලයි මයිනට හිතෙන්නෙ. ඉස්සර මයිනා සොහොන් උඩ, ළිං පඩි උඩ, ගස් උඩත් නිදි වැදිලා තියෙනව. ඕං ඉතිං මේ කියන දවසේ මයිනා දවල් බත් ගෙඩිය ගහලා අනිත් අපතයොත් එක්ක සිමෙන්තියෙන් බැඳපු සොහොන් දෙකක් උඩට වෙලා හරබර සංවාදෙක ඉන්නව. ටික ටික කාලේ ගත වෙද්දි ඕං ඉතිං නින්දක් ඇවිත් මයිනව ආක්රමණය කරා, ඇස්දෙක පියවෙන නොවෙන ගාණට එද්දි මහ ගෝෂාවක් ඇහෙනව.
"මරනවා ඩෝ..... අම්මට *%**"

"ගනිං ඔය කැ[]][}{ බොක්ක එළියට අදින්න"

මයිනා නිදිමත මැද්දෙන් ඔළුව උස්සලා බැළුවා ගමේම එක පැත්තක ඉන්න නැගගෙන එන අළුත් පරම්පරාවේ චණ්ඩි පැටව් ටිකක් තව එවුන් වගේකට ගහන්න ඇවිත්. අනුන්ගෙ ලබ්බවල් අපට මොකෑ කියපු මයිනා "තොපි පාඩුවේ හිටපියව් ඕකුංගෙ අස්සෙ රිංගන්නැතුව" කියාගෙන දෙනෙත් පියාගත්තා.

කොයිතරං වෙලාවක් නිදා ගත්තද කියන්න මයිනට මතක නෑ, හැබැයි තඩියා ඇවිත් "නැගිටපං වහෙ ගෙදර යමං සොහොන් උඩ දපන්නෙ" කියලා තමා නැගිට්ටුවේ. ගෙදර ගියාම ඉතිං අම්මා කියාපි
"පැටියා 99න් බේරිලා තියෙන්නෙ දයාරත්නගෙ කොල්ලා බෝම්බයක් ගහලා"


"බෝම්බයක් ගහලා"


"ඔව් උං පැටියට ගහන්න ඇවිත් ගෙදරට වසන්ත කඩුවෙන් ගහලා එකෙකුට, දයාරත්නගෙ කොල්ලා බෝම්බයක් ගහලා. අපි මහ සද්දෙට ඇහුනා මෙහට ගිහින් බලද්දි තමයි දන්නෙ වසන්තලගෙ ගෙයි පැත්තක බිත්තියක් බිමට වැටිලා" (බෝම්බේ ගහපු තැන ඉඳං අපේ ගෙදරට මීටර් 800 විතර දුර)


"එච්චර හරියක් වෙලාද"


"තෝ කොහෙද හිටියෙ තඩියයි සුද්දයි එතන හිටියානේ, තෝ යන්න ඇති අර තේ උඩිච්චිය බලන්න"


"මම ගිය ඇත්තෙකක් නෑ අනේ තඩියගෙං අහන්න කො බොරු නං"


ඕං ඉතිං තඩියා ආවා හැන්දෑවේ 7 විතර හොට් හොට් නිව්ස් ටිකත් අරං.
"සීටියා පොලිසියෙං අරං ගිහින් චූටියලා හැංගිලාලු"


" පුතේ ඔයතරං රණඩුවක් උනා අපේ එකා දන්නෙ නෑ නේ මේකා කොහෙද හිටියෙ වෙලාවේ"


"ජොසලිං ආත්තලගෙ සොහොන උඩ නේ මූ හිටියෙ, මයිනො උඹට බොම්බ සද්දෙ ඇහුන්නැද්ද බං"


"නෑනේ බං මට නින්ද ගිහින් තිබුනේ"


"අනේ ඉතිං කවුරු හරි ඇවිත් මුගෙ බෙල්ල කපලා ගියත් මු දන්නෙ නෑ නෙව" (ඔළුවට ටොක්කක් මව් තුමියගෙන්)


... බං මයිනො තෝ බිහිරි වෙලාද බොළ සද්දෙ ඇහුන්නෑ කියන්නෙ.
වෙලාවෙ බෝම්බ සද්දයක් ඇහුනේ නැත අපි සෙට් එක හිටපු තැන ඉඳලා රංඩුව සිද්ද වෙච්ච තැනට දුර මිටර් 50-60ක් වෙන්න ඇති උපරිම. අනේ ඉතිං කණ ළඟ බෝම්බයක් පිපිරිලත් ඇහැරු නේ කියන්නෙ ඉතිං තවත් කුමන කතාද?

එහෙනං ඉතිං සනීපෙට නිදා ගන්නයි තියෙන්නෙ.......
____මයිනා____