Saturday 10 August 2019

මයිනාගෙ කතා..47 ගොළුවා..


මයිනාගෙ කතා..47... ගොළුවා.. 

                               අද කියන්න යන්නෙ වරදවා වටහා ගැනිම නිසාවෙන් අනුකම්පාකොට සත් ගුණවත් පොහොසත් පිරිසක් විසින් කරන ලද සංග්‍රහයක් ගැනයි. මයිනගෙ ගම්පලාත සංචාරක පුරවරයක් කිට්ටුව පාත තිබුනු නිසා ලෝකෙ වටේ තියෙන හොඳ නරක දෙකම උණු උණුවෙම ගොඩ බැස්සා එක එක විලාසෙන්. ඔය අතරිනුත් එක එක රටවලින් ගොඩ බැහැපු ධනපති පරිත්‍යාග ව්‍යාපෘති ගොඩක් තිබුනා. එක එක ව්‍යාපෘති තමයි ඉතිං පුණ්‍යාධාර වැඩසටහන් සහ තවත් බොහෝ දේ. ඇස් කණ්නාඩි නොමිලේ ලබා දීම, අඩු ආදායම්ලාභින්ට නිවාස තනාදීම, නොමිලේ වෘත්තිය පුහුණු වගෙම අන්ධයන්ට පෙනීම ලබා දීම, ගොළුවන්ට කතා කිරිමට සහ ලිවිමට ඉගැන්වීම වගෙ "මාර ව්‍යාපෘති" තමයි තිබුනේ. ඔය අස්සෙ වෙච්ච වෙන වෙන කතා දහසකුත් එකක් තිබුනා,ඒවා පස්සෙ ලියමුකො..

                                                    මයිනගෙ ගම දිහාවේ හිටියා ගොළුවො සෙට් එකක්. මයිනගෙ ගමේ ගොළුවො දෙන්නයි අල්ලපු ගම්වල ගොළුවො හය හත් දෙනෙකුයි එකතු වෙලා හැදුනු ගොළු ටීම් එකක්.. ගොළුවන්ට සමහර අපතයො වද වේදනා අඩන්තෙට්ටම් කරාට මයිනා එහෙම කරේ නෑ සහ මයිනා ඉන්න තැනක එහෙම උනා නම් මයිනා ගොළුවගෙ පැත්ත තමා ගත්තේ.. (එකපාරක් ගොළුවන්ට විහිළු කරපු එහෙකුට ගොළුවන්ට කියලම ගස්සවලා ඔළුවත් පැලෙව්වා ආං එහෙමයි මයිනගෙ වැඩ!)මේ ගොළු ටීම් එකත් මයිනා කොහෙදි දැක්කත් ඉතිං උංගෙ අර අංගචලන බාෂාවෙන් මයිනා එක්ක අදහස් හුවමාරු කරගෙන තමා යන්නෙ. ගොළුවන්ට පේන්න කොළයක් ඉරුවාම ගොළුවන්ට මාරවිදියට තරහ යනවලු නේ, අපේ අපත තඩියත් ගොළුවෙක් දැක්කම කොළයක් ගහකින් හරි කඩලා අරන් අරුට පේන්න ඉරනව. ගොළුවො සෙට් එක තඩියා දැක්කම ඉතිං පට්ට මළ.

                             ඔන්න ඔය ගොළුවො සෙට් එකට ජර්මානු ආධාර යටතේ පවත්වන අධ්‍යාපනය ලබා දිමේ වැඩසටහනකට යන්න අවශ්‍ය වෙලා. මුං සෙට් එකට මේ විස්තරෙ ගැන තොරතුරු දැනගන්න ක්‍රමයක් නෑ.. එක දවසක ගොළුවො සෙට් එකම ඇවිත් අංග චලන වලින් පෙන්නනවා මුංට ස්කෝලේ යන්න පුළුවන් උදව් කරන්න කියලා. මයිනා එක ගොළුවෙකුගෙ ගෙදරට ගිහින් ඇහුවම කිව්වා මේ අය අද්‍යාපනය ලබා දිමේ වැඩසටහනක් පටන් ගන්නව නාරිගම එක තැනක මේකට අදාලව කටයුතු කරන පුද්ගළයව මුණ ගැහෙන්න යන්න ඕනේ කියලා (ගොළුවන්ගෙ ගෙවල් වල ඉන්න හරක් මේකට කැමති බවක් පෙන්නුවේ නෑ).

ගොළුවො ගැන උපන් අනුකම්පාවෙන් පසුවදා ගොළුවො හය දෙනෙක් සමග අර සම්බන්ධිකරනය කරන පුද්ගළයා සොයාගෙන ඒ ගෙදරට ගියා.අදාළ කටයුත්ත සම්බන්ධව ඉදිරි දවසක දැනුවත් කරන බවත් එදිනට අසවල් විහාරස්ථානයට පැමිණෙන ලෙසටත් දැනුම් දුන්නා. ඒ දවසට එද්දි පුරවගෙන එන්න කියලා ෆෝම් වගයකුත් අම්මගෙ තාත්තගෙ විස්තර පුරවන්න වෙන කොළ ගොඩකුත් දුන්නා.

ඒ අරන් ආපු ඉල්ලුම්පත් ගොළුවන්ට පුරවලා දීලා අදාල දවසේ අයෙමත් ගොළුවො එක්ක අර එන්න කියු විහාරස්ථානයට ගියා උදේ 9 වෙද්දි.මයිනා ඉතිං ගොළුවො එක්ක ගිහිල්ලා මොනව කරන්නද කියලා හිතලා තනි නොතනියට කට්ටා කියලා එකෙක් හිටියා ඌවත් ඇදගෙන ගියා. මොකා ඇදං ගියත් අර ගොළු නඩේ මයිනා පස්සෙන්මයි, අන්තිමේ කට්ටත් ගොළු බාෂාවෙන්ම වැඩේ ඇදං යන තැනට පත් උනා පැයක් යද්දි. මයිනා ඉතිං වැදගත් තැනක මුල් තැන කියලා හිතලා ගෙදර තිබුනු හොඳම ඩෙනිම ඇඳලා සුදු පාට ටි ෂර්ට් එකක් එහෙම ඇඳන් ගියේ.

                  ඕං ඉතිං ඒ දැනුවත් කිරිමේ සහ ලියාපදිංචි කිරිමේ වැඩ කටයුතු වලට සහ සංග්‍රහ කටයුතුවලට ඇවිත් හිටියෙ නාඹර වයසෙ කැකුළියො ටිකක්. ගොළුවො හය දෙනාගෙම ෆෝම් අරං ලියාපදිංචි කරන තැනට ගියාම එතන හිටි කෙල්ලො දෙන්නා නම් බල බල එකා එකාව පැත්තකට කරනවා.අරුං හය දෙනාගෙන් එක ගොළුවෙක් මිසිං, මයිනගෙ අතේ ඉතිරි ෆෝම් එක. අර කෙල්ලෙක් බොහොම අනුකම්පා සහගත බැල්මක් හෙලලා අනිත් කෙල්ලට කියනවා,
"පව් බං මේ කොල්ලා නම්"

"ඒක තමයි බං හරිම අහිංසක පාටයි පව්, මමත් ආපු වෙලාවෙ ඉඳලම බලං හිටියෙ"

"කරුමේ තමයි ඉතිං කතා කරන්න පුළුවන් උනා නම් මම යාළු වෙනව කෝමහරි"

"ඔව් ඔව් උඹට හරි යන්නෙ ගොළුවෙක් තමා"

"හි..හී....හී..."

                             අනේ ඉතිං මයිනට හිනා පස්ස පැත්තෙනුත් එක්ක, ඒ මදිවට කට්ටා එතන හිටපු ගමේ වයසක උන්දලටත් කියලා මයිනත් ගොළුවෙක් කියලා (කට්ටා මයිනට කිව්වා කට වහං ගොළුවා වගෙම ඉඳපං කියලා).. උදේ තේ පැන් සංග්‍රහය,අර වයසක ඇන්ටිලා ආනමාලු කවනවා, කෙල්ලො කේක් කවනවා, නිළධාරි මණ්ඩලය බීම පොවනවා, ජර්මන් ජාතික කාන්තාවො අරෙං මෙහෙං අල්ල අල්ල ෆොටෝ ගහනවා.. ඒ අස්සෙ නාකි සුද්දෙක් ඇවිත් @# @#න්න හදනව. දැං ඉතිං මොනව කරන්නද මයිනා ගොළු දරුවෙක්ම උනා.




                                   උදේට කාපුවගෙ හැටියට දවල්ට කන්න බෑ.. කට්ටත් මයිනව පෙන්න පෙන්න   තමන්ගෙ වැඩකටයුතු කරගන්නවා. අනේ ඉතිං දවල්ට සමහර එකියො කට්ලට් බෙදනවා,ඇන්ටිලා චිකන් බෙදනව ඒකත් කටු නැති ඒවා තෝරලා, සුද්දියො අන්නාසි කවනව, නාකි සුද්දා ආනමාළු කවන්න ට්‍රයි කරනව....... හම්මෙ ඉතිං ඒ ජරමරේ.ඒ අස්සෙ එක ගොළුවෙක් උගෙ බාෂාවෙන් මයිනට කතා කරන්න පුළුවන් කියන්න හදනව, ඒක දැකපු කට්ටා ෂේප් එකේ අරුට අතිං අනිනනව. ඉස්මුරුත්තාව හැදෙනකං කාලා ෆොටෝ ගහලා හවස 5ට විතර ඒ සුකුරුත්තං වැඩ ඉවර වෙලා අර එක නිළධාරි මහත්මියක් පැත්තකට එක්කගෙන ගිහින් තඩි ටියුලිප් බැග් එකකට මොනවදෝ දාලා දුන්නා. නාකි සුද්දා රුපියල් 500ක් දුන්නා, සුද්දියො ටිකත් රුපියල් 800ක් විතර දුන්නා. ඒ අස්සෙ පංසලේ ලොකුනම කරුමය සහ ගොළු ආත්ම ලැබිමට හේතු වන කාරණා කියල දෙනවා.. සියළු වැඩ ඉවර වෙලා ගොළුවොත් එක්ක බයිසකලේ නැගල එන්න හැදුවම අර බෑග් එක දීපු නෝනා අනිත් එවුන්ට යන්න කියලා කට්ටගෙන් ඇහුව්වා මයිනා කොහෙටද යන්නෙ කියලා. කට්ටා ගත් කටටම කිව්වා සීනිගම දේවාලෙ ළඟට යන්නෙ මිස් කියලා.




"ගාළු පාරේ නේ මං බස්සසගෙන යන්නං" කියලා.

අනේ ඉතිං අර නෝනා මයිනවත් කාර් එකට පටවං කට්ටවත් පටවං එන ගමන් කට්ටගෙන් අහනව මයිනා ගැන. වල් කට්ටා ගල් පැලෙන බොරු දෙසනව
"ආච්චි තමයි මෙයාව බලා ගන්නෙ, තාත්තා නෑ අම්මා රට මෙයා වඩු වැඩ කරනව නිකං ඉන්නෑ මිස්"

"පව් මේ ළමයා නම් දකින කිසි කෙනෙක් කියන්නෑ මෙයා ගොළුවෙක් කියලා"

"මොනව කරන්නද මිස් පෙර පව් තමයි"

කතාවෙන් කතාවෙන් දේවාලේ ළඟට ආපු මිස් කට්ටට ටෙලිෆෝන් නම්බරෙත් ලියලා දිලා "මෙයාට තියෙන අඩුපාඩු ඔක්කොම කියන් මම ඒවා හරි ගස්සලා දෙන්නම්" කියලා මයිනගෙ මූණත් අතගාලා ඇස් දෙකේ කඳුළුත් පුරවන් සමු දුන්න. අනේ ඉතිං මයිනත් දේවාලෙට වැඳලා ඒ මිස් දිහාවටත් වැඳලා සමු දුන්නා.

මයිනයි කට්ටයි අර බෑග් එක ඇරලා බැළුවා මගදිම.. හම්මේ ඉතිං කේක්ද බිස්කට්ද කෝළිකුට්ටු ඇවරියක්ද තල පැකට් එකක්ද ඇතුළු කෑම පාර්සළයක්. ඒවා ගෙදර අරන් යන්නයෑ මගදිම අනිත් අපතයන්ට කෑම පාර්සලේ දීලා ගෙදර ගියා. වෙච්ච සිද්ධියත් අර අපත රැළට කිව්වා. ඕං ඉතිං ඊට මාසෙකට එකහාමරකට විතර පස්සෙ දවසක කට්ටා මයිනා සහ අපත රැළ ගියා හික්කඩුවෙ තිබුණු තොරණක් බලන්න රෑ යාමේ. අර ගොළු නඩෙත් හම්බවෙලා ඉතිං ටිකක් වෙලා ඉඳලා ගියා. අර සෙනග මැද්දෙ මයිනට ඇහෙනව
"අර අම්මෙ මම කිව්වෙ ගොළු කොල්ලෙක් ඒ කොල්ලා තමයි අර"

"අනේ පව් ඒ කොල්ලා"





අනේ අර සෙනඟ අස්සෙන් ඇවිත් එදා අර නම් ලිස්ට් හදපු තැන හිටපු එක කෙල්ලෙක් ඇඟට තට්ටු කරලා අතින් ගොළුවෙකුට කතා කරනව වගෙ කතා කරගෙන එක්කං ගියා.  මයිනට දැං කර ගන්න දෙයක් නෑ අනිත් අපතයො බලං ඉන්නව කෙල්ලෙක් ඇවිත් මයිනව එක්කං යන දිහා. කට්ටා සීන් එක දන්න හිංදා අවුළක් නෑ, කට්ටා අනිත් එවුන් දැනුවත් කරන අස්සෙ තඩියා සෙනග අස්සෙන් ඇවිත් පිට මැද්දෑවට එකක් දීලා "වරෙං වහෙ යන්න" කිව්වා. ගොළුව ගැන අනුකම්පාවෙන් හිටපු අර කෙල්ලගෙ හත්මුතු පරම්පරාවෙම ඈයො තඩියට වළිය දැම්මා. ඒ කෙල්ලගෙ ආච්චි අම්මා වගෙ හිටපු ගෑනි කියාපි "මේ මදාවියගෙ අත කැඩෙන්න එපැයි මේ අහිoසක කොල්ලට ගහපු" කියලා.

අපරාදේ කියන්න බෑ කඩල මලු, කජු ගොටු, බූන්දි, සීනී මුරුක්කු, අයිස් ක්‍රීම් මයිනට අඩු නැතුව ලැබුනා. ඒ ලැබිච්ච ඒවගෙ බාගෙ බාගෙ පිටි පස්සෙං හිටි කට්ටට ලැබුනා. ඕං ඉතිං කට්ටා ඇවිත් "ගෙදර අය බය වෙලා ඇති මෙයාව එක්ක යන්නං දැන්" කියලා මයිනව එක්කං ආවා. අර අත්තම්මා කට්ටට කියනව "මේ අහිංසකයා පරිසමින් එක්කං පළයං පුතේ" කියලා. අනේ ඉතිං ඒ දවසෙන් පස්සෙ මයිනා නොවෙයි අර ගම පැත්ත පළාතකින් ගියේ. අර ගොළුවන්ගෙ වැඩසටහනට නම් ගොළුවො හතර දෙනෙක් දිගටම සහභාගි උනා, කාලය ගෙවිලා ගිහින් මයිනත් සැහෙන කාලෙකින් ගමට ගියෙ නෑ.

මීට දවස් කිහිපයකට කලින් මගෙ අම්මා ගමට ගිය වෙලාවක ගමේ මළ ගෙදරකට සහභාගි උනා, එතනදි එක ගොළුවෙක් අපේ අම්මා ළඟට ඇවිත් හයියෙන් ඇඬුවලු මාව මතක් කර කර. ඒ ගොළුව අඬද්දි වටේ පිටේ මිනිස්සු අහනවලු ඇයි මේ ගොළුවා අඬන්නෙ කියලා. අදත් මගෙ ගම කියන්නෙ බොහො මතක ඉතිරිකල ඉතිරි උනු සොඳුරු තැනක්. අතීතයට යන්න පුළුවන් මතක අතරින් පමණයි ඒ මතක අදත් ඇස් අග තෙත් කරනව වගෙම තනියෙන්ම හිනා වෙන්නත් අවස්ථාව හදලා දෙනවා. අතීත මතක සහ සිදුවීම් රාශියක් හංගගෙන ඒ සොඳුරු ගම අභාවයට යන එක හරිම කණගාටුවක්. මත්කුඩු සහ පාතාළ කණ්ඩයම්වල තෝතැන්නක් වෙච්ච ගමේ විශේෂ කාර්‍ය්ය බළකා සෙබළුන්ගෙන් සමන්විත මුරපොළකුත් ස්ථාපිත කරලයි තියෙන්නෙ.ගම ගැනත් ලිවිය යුතු අපූරු කතාවක් තියෙනව ඒකත් ළඟදිම ලියන්නම ඕනේ, ගම අභාවයට ගිය කරුණු කාරණා කිහිපයක් ඒ කතාව ඇතුලේ මට ලියන්න පුළුවන් වෙයි.

එහෙනං අයේ දවසක එන්නං ඈ......
___
මයිනා____

No comments:

Post a Comment