තොටගමුව පුරාණ රජමහ විහාරයට පිටුපසින් තියෙන ගමක් වු නු කිරළගහවෙල අසලින් ගලන ඔයක් තිබෙනවා රංගළු ඔය කියලා මේ ඔයේ ඉස්සර කිඹුලන්ගෙ පාරාදීසයක්. තොටගමුවේ හාමුදුරුවො තමන්ගෙ ගුරු හිමියන් සමග එකතු වෙලා මේ ඔයට ගල් වගයක් මතුරලා දැම්මලු. සමචතුරස්‍රාකාරයට කපපු ඒ ගල් වල එක පසක ඉරත් අනෙක් පසක සඳත් කොටලා තිබෙනවා. ඉර හඳ පවතින තුරා කිඹුලන්ට ඒ ඔයේදි බලය පවත්වන්න බැරි වෙන්න තමයි මේ ගල් දාලා තිබුනෙ. අදත් රංගළු ඔයේ ඉන්න කිඹුලන්ට නම් මිනිස් දඩයමක් කරන්න බැරි බව ඉර හඳ වගෙ විස්වාසයි කියලා ඒ පලාතේ පැරැන්නො කියනවා. මේ විදියට මතුරපු ගල් ගිංගඟටත් නිල්වලා ගඟටත් දාලා තිබුනා. ඒත් මීට වසර කිහිපයකට පෙර යම් අයෙකු විසින් නිල්වලා ගඟේ තිබුනු ගල් නොදැනුවත්කම නිසා ගොඩදාලා තිබුනා. දැන් නම් නිල්වලා ගඟෙ කිඹුල් අනතුරු මාසයකට සැරයක් වාර්ථා වෙනවමයි. ගිංගඟේ තත්වයත් මේ විදියමයි ඒ මන්ත්‍ර බලගන්වපු ගලක් ගිංඟෙන් ගොඩ අරන් තියෙනවා කවුරැ හරි. ඒ ගල දැන් බද්දෙගම සන්දරවල පන්සලේ දැක ගන්න පුළුවන්. දැන් නම් ගිංගඟෙත් කිඹුල්ලු සෙල්ලම් දානවා කාලයක ඉඳලා.
මේ රාහුළ හාමුදුරුවො සතුව ධ්වනි යන්ත්‍රය කියලා යම්කිසි උපකරණයක් තිබිලා තියෙනව. ඒ උපකරණයෙ ආධාරයෙන් යොදුනක් දුරින් ඇති වූ ශබ්දයක් උනත් ශ්‍රවණය කරන්න පුළුවන්කම තිබුනා කියලා ජනප්‍රවාදයෙ තිබෙනව. මේ රාහුළ හිමියන්ට කාකු සාස්තරෙත් හොඳහැටි පුළුවන්ලු ඒක නිසා කාක්කන්ගෙනුත් යම් යම් වැඩ කටයුතු කරව ගත්තා කියලයි කියන්නෙ.
තමන් උගත් මන්ත්‍ර සාස්ත්‍ර වලින් වැඩ ගන්න හිතපු රාහුළ හිමි බොහොම බළගතු යක්ෂයො හතරදෙනෙක් බැඳගෙන වැඩ ගත්තලු. හැබැයි ඉතිං මේ යක්ෂයන්ට කොයිතරම් වැඩ දුන්නත් ඉවර කරලා ඇවිත් තව වැඩ ඉල්ලනවලු. මේ පන්සලේ තිබෙන ගල්කණු, ගල් උළුවහු වගෙ දේවල් මේ යක්ෂ කෙරුවාවල් වලට සාක්ෂි සපයනවා.
ඒ වගෙම තමයි සමහර වෙලාවකට රාහුළ හිමි ගමන් බිමන් ගියෙ දෝළාවකින්. මේ දෝළාව උස්සන් ගිහින් තියෙන්නෙ අර යකුන් 4 දෙනා.
එක දවසක් මේ යකුන්ට හාමුදුරුවො කියලා තියෙනවා මාව තොටගමුවට අරන් පලයව් කියලා. (මේ තොටගමුව තමයි දැනට ගාළු පාරෙ සිනීගම දේවාලය පහු කරලා ගියාම හික්කඩුව අළුත්වල මාර්ගයෙ දකින්න ලැබෙන පළමු ගම). මෙහෙම යකුන්ට අණ කරපු රාහුළ හිමි කෙටි නින්දකට වැටිලා තියෙනවා. මෙන්න බොලේ රාහුළ හිමි නැගිටලා බලද්දි මුං මහා කැලෑවක් මැද්දෙන් යනවලු රාහුළ හිමි දැනගෙන තියෙනවා තමන් කියපු දේ යක්කු වැරදියට තේරැම් අරන් කියලා. ඒ කියන්නෙ තොටගමුව යක්කු හිතුවෙ තොපේ ගමට කියලා, වැඩේ වැරදුනු බව දැන ගත්ත රාහුළ හිමි යක්කුන්ට කිව්වලු "අද තොටගමු යන්න බෑ බොළව් මටගමුවට යමව්" කියලා. මටගමුව එහෙම නැත්නම් මගෙ ගමට, යක්කු හිමියන්ව ආයෙමත් පන්සලට අරන් ආවලු.
සරස්වති තෛලයෙ අනුහසින් අපූරු මතකයක් මේ රාහුළ හිමියන් තුල ඇති වුනා කියනව නේ. එවකට ඉංදියාවෙ ඉඳන් එක එක ජාතියෙ පණ්ඩිතයො, විශාරදයො, බ්‍රාහ්මණයො මේ විජයබා පිරිවෙණට එනවලු. විශේෂයෙන්ම හෙළ වෙදකම පිළිබඳව දැන ගැනීමටත්, අදත් රහසක්ව පවතින "කළුනික" කියන බෙහෙත් පැළෑටිය ලබා ගැනිමටත් මේ අය විශේෂයෙන්ම පැමිණිලා තියෙනව.
මෙහෙම ආපු එක බ්‍රාහ්මණයෙකුගෙ තිබිලා තියෙනවා අති විශේෂ වට්ටෝරුවක්. මේ බෙහෙත හරියට හැදුවොත් අහසින් යන්න පුළුවන්ලු. වට්ටෝරුව බ්‍රාහ්මණයා අතේ තිබුනට අවශ්‍ය සියළුම අඩුම කුඩුම තිබිලා තියෙන්නෙ ලංකාවේ. පන්සලට ආපු මේ බ්‍රහ්මණයා වීදාගම හාමුදුරැවන්ට තමන්ගෙ මේ බෙහෙත් වට්ටෝරුව ගැන පාරම්බෑවලු. එවකට විශාල අධ්‍යාපන අයතනයක් වුනු විජයබා පිරිවෙණට අයත් පුස්ථකාලය ඇතුලෙත් මේ බෙහෙත් වට්ටෝරුව සහිත පොතක් තියෙන බව වීදාගම හාමුදුරුවො බ්‍රාහ්මණයට කිව්වලු. එහෙම නම් තමුන්ගෙ පොතේ තියෙන විස්තරයි අපේ පොතේ තියෙන විස්තරයි හරිද බලන්න දෙන්නත් එක්ක කියවමුකෝ විස්තර කිව්වලු. මෙහෙම කියමු වීදාගම හිමියො තමන්ගෙ ගෝළයා වුනු රාහුළ හිමියන්ව නොපෙනෙන තැනකින් තියලා කිව්වලු මේ දේවල් ලියා ගන්න කියලා. බ්‍රහමණයා එක ඡේදයක් කියවනවා ඒ ඡේදයම වීදාගම හිමියො තමන්ගෙ පොතේ තියෙන විදියට නැවත කියවනවා. මේ දෙකම අහගෙන රාහුළ හිමියො තමන්ගෙ තල්පත් වල මේ දේවල් පිටපත් කර ගන්නවා. බ්‍රාහ්මණයගෙ පොතත් අපි ළඟ තියෙන පොතත් එක හා සමානයි කියපු වීදාගම හිමියො බෙහෙත හදන වැඩේට කැමති වුනා.
මේ බෙහෙත හදන්නෙ ගලක අඹරමින්. බෙහෙතේ පදම බලන්නෙ බෙහෙත අඹරන ගල යටින් රත්තරං කාසියක් තියලා. පදම හරියට එද්දි ඇඹරැම් ගල යට තියෙන රන් කාසිය පෙනෙන්න පටන් ගන්නවලු. ඇඹරැම් ගලත් පළිඟුවක් වගෙ දිළිසෙන්න ගන්නවලු.
දැන් බෙහෙත හදන අතරෙ ඒ අසල ගමක් තියෙනව මලවැන්න කියලා ඒ ගමේ එකෙක් දැකලා තියෙනවා හාමුදුරුවො මොනව හරි ලොකු වැඩක් කරනවා කියලා. ඌත් පන්සල් වත්තෙ ගහකට නැගලා හොරෙන් බලන් ඉඳලා මේ වැඩේ දිහා.
බෙහෙත් එක හරි පදමට එද්දි දැන් අර ගල යට තියෙන රන් කාසිය පේන්න අරන්. මේ වෙලාවෙ රාහුළ හාමුදුරුවො ටිකක් එළියට ගිහින්. අර බ්‍රහ්මණයා මොකද කරේ බෙහෙත් ටික ඔක්කොම එකතු කරන් අහසට පැනලා උඩින්ම ගියාළු. වීදාගම හාමුදුරුවන්ට කර ගන්න දෙයක් නැතුව කෑ ගහලා කිව්වළු රාහුලේ ආඬියා ගියා බොලන් කියලා. බෙහෙත හදන තැනට දුවගෙන ආපු රාහුළ හාමුදුරැවො දිළිසි දිළිසි තිබුනු බෙහෙත් අඹරපු ගල උස්සන් ගිහින් දැම්මලු කකුස්සි වලට. බෙහෙතෙ බල බිඳිලා බ්‍රාහ්මණයා මුහුදට වැටුනලු.
අර ගහ උඩට වෙලා හිටපු මලවැන්න ගමේ මනුස්සයා හිතුවෙ හාමුදුරුවො රත්තරං කුට්ටියක් කකුස්සි වලට දැම්මා කියලා. ගහෙන් බැහැලා ගමට දුවපු මේ මනුස්සයා ගමේ හැමෝටම කිව්වා අන්න හාමුදුරැවො දඹරන් කුට්ටියක් කකුස්සි වලට දැම්මා කියලා. මලවැන්නෙ මිනිස්සු ගල් ඉනි උදළු අරන් ඇවිත් පනසලේ ලැට්වල හෑරුවලු දඹරන් ගන්න. අදටත් මලවැන්නෙ මිනිස්සුන්ට මේ කතාව අවට ගම්වල අය කියනවා.
මලවැන්න තියෙන්නෙ නම් ගාළු පාරෙ සීනීගම දේවාලෙන් කොළඹ පැත්තට වෙන්න තියෙන හොංකංජි බුදු පිළිමය ලඟින් ඇතුලට තියෙන පාරේ. තෙල්වත්ත, පැරෑලිය, සීනිගම, තොටගමුව පැත්තෙ කාගෙන් හරි අහන්නකො මලවැන්න ගැන.
පස්සෙ කියන්නම්කො තව විස්තර.
___මයිනා___
හාමුදුරුවන් යන්තර මන්තර වැඩ කරන එක ගැන ඔතරම්ම විරුද්ධ අපේ 'ලාංකික' සිංහල බෞද්ධයෝ මොකද මන්ද මේ කතා ගැන පාරම්බාන්නේ??
ReplyDelete:D
ReplyDelete+++++++++
ReplyDeleteවැසිකිළි වලේ කතාව තුම්පනේ වගේම මලවැන්නෙ මිනිස්සුව සමච්චලයට ලක් කරන්න කියපු කතාවක් වෙන්නත් පුළුවන් ?
ReplyDelete