Monday 5 November 2018

මයිනාගෙ කතා... 26 මැණික් ගැරිල්ල

මයිනාගෙ කතා.... 26... මැණික් ගැරිල්ල...

එක එක කාලවල එක එක කේස් හින්දා ගමේ ඈයෝ ටිකක් අවුල් උනා. විශේෂම හේතුව උනේ නෑ සනුහරේ එකෙකුටම හොස්පිටල් යෑමට ඉඩ සැලැස්සිම නිසා නෑ සනුහරෙම ඈයෝ මයිනට විරැද්ධව නැගි සිටිම. ඒකට ආසන්නතම හේතුව නෑ සනුහරේ එකා අපේ අපත ගැංසියෙ යාව ජීව සමාජිකයෙකුට තනියම සිටින විටදි කන අතගෑම. නෑයා වෙන එකාගෙ යළුවෙකුත් මයිනා සහ සමාගමේ එකෙකුත් එකම කෑල්ලට ට්‍රයි කිරිම හේතුවෙන් නෑයා වෙන එකා මයිනාගෙ අපතයාට පාහර දී එය වහාම නවත්තන ලෙස දැනුම් දීම.

අනේ ඉතිං ගුටි කාපු එකා ඇවිත් අනිත් අපතයන්ට කියලා අරැ ගැහුව්වා බන් කියලා.   ගහාපු එකාට රිටන් එක දෙන්න විදියක් නෑ මයිනගෙ නැන්දගෙම පුතා නිසා. කට්ටියම ඇවිත් මයිනට සීන් එක

"මොකද බං කරන්නෙ මයිනො"

"ඌ නැන්දගෙ පුතා උනාට කමක් නෑ දෙමු"

"අඩෝ අම්මපා කියපං"

ඒ දවස් වෙද්දි හික්කඩුවෙ තොරණක් තිබ්බා. එදින රෑයේ නැන්දාගෙ පුතාට සහ උගෙ යාළුවාට බඩකට පුරා දුන්නා. ඊට දවස් දෙකකට පස්සෙ උං අපේ එකෙකුට තනියම ඉන්න වෙලාවක රිටන් එක දීලා. දැං ගින්න ඇවිලිලා පැතිරිලා යනවා. නැන්දගෙ පුතාව සොයාගෙන ගම පීරාගෙන යද්දි මූ එනවා වීරයා සේ හම්මා ඉතිං ආයෙ කොහොමද කපුටන්ට කුණු මාළුවෙක් සෙට් උනා වගෙ තමා. කුංෆු කරාටේ මරාටේ ගුජරාටි සියල්ල කවලං කරලා අරැට බෙදනවා. අරංචි වෙච්ච හැම එකාම දුවගෙන ආවට බේරන්න කවුරැත් එන්නෙ නැත හේතුව බේරන්න හදන එවුන්ට ගහාන්නම වෙනම 4 දෙනෙක් මුළින්ම යොදවා තැබිම.
                                       ඒ අස්සෙ එක බාප්පෙකුත් ඇවිත් බාප්පව දන්නැති එකෙක් බාප්පටත් පොලු පාරක් දීලා ඇරපි. වැඩේ ලෙඩේ උනා අපේ අම්මා ගෙදර ඉඳන් කොස්ස අරන් ඇවිත් තිබුනා කිලෝමිටර් 2ක් විතර දුරට මට ගහන්න. මයිනටද ඉබ්බටද හූනටද ලේනටද ගෙම්බටද හැමොන්ටම කොසු පාරවල් මව්තුමිය ගානේ. ගුටි කාපු එකා රෝහළට උගේ අනිත් එකා සොයාගෙන  එදා රෑ 10ට පමණ උගෙ ගෙදරට කඩු පොලු පිහි කිණිසි බයිසිකල් චේන් නංචක්කු සමග සන්නද්දව.

  එකෙක් ගිහින් අරැගෙ නම කියලා කතා කරා.  අරැංගෙ තාත්තා එළියට ආවා කෑළි 5හෙ ටෝච් එකත් අරන්. ගැහුව්වා ටෝච් එක ඉන්නවා 15ක් විතර උන්දා දැක්කා කඩු කිහිපයක් අත්වල පුතණ්ඩියගෙ අතපය හතර මුං කපනවා කියලා දැනුනු අප්පා දුන්නා මර හඬක්.

"මෙන්න මගෙ කොල්ලා මරණවො" කියලා.  ගේ ඇතුලේ හිටපු එකා පස්සෙ දොරෙන් පැන්නා එළියට දිව්වා වෙළට පැනලා. ගමේ අහාල පහාල ඈයො පිරැනා කට්ටියම මිසින්.පහුවදා උදේම අරැගෙ අම්මයි තාත්තයි මයිනගෙ ගෙදර.

"අනේ බුදු අයියෙ මොන වරදක් කරාටද මගෙ කොල්ලා මරන්න හදන්නෙ. මායි මගෙ ගෑණියි මරලා ඌවත් මරන්න කියාපං අයියෙ"

හුටා වැඩේ අංඤ්ඤකොරොස් නිදි ඇදෙං පැන්න මයිනා දිව්වා තඩියගෙ ගෙදරට

"තඩියො වැඩේ දෙල් පුංචා අපේ ගෙදරට ඇවිත්"

"හුටා දැං තොපේ තාත්තා අපේ ගෙදරට එනවා යමං වෙන කොහෙ හරි"

අරෑගෙ ගෙදරින් අඟුරැ කෑල්ලක් අරන් හප හපා දත් කූට්ටමත් මැද මැද තව එකෙකුගෙ  ගෙදරට. එහෙට ගිහින් විස්තරෙ කියද්දි ඒ ගෙදර එකාගෙ මාමා

"තොපිටත් උවමනාවක් නැති වැඩනෙ වහෙ කරන්නෙ"  කියලා එළියට බහිද්දි පුංචයි ගෑනියි බයිසිකලෙන් යනවා. අරෑගෙ මාමා ඉතිං

"පුංචයියෙ පුංචයියෙ"  කියලා කතා කරලා ඇහුව්වා   "කොහෙ මේ යන්නෙ" 

"මං යනවා මීටියාගොඩ. ඊයේ රෑ මගෙ කොල්ලා මරන්න ආවා. කඩු අරන් පිසතෝළ අරන් පොලීසියට ගිහිල්ලා දීපල්ලකෝ තොපේ අයූධ"

"කොල්ලො කොල්ලො රංඩුවෙනව බං උඹ ගෙදර පළයං මම උන්ට කියලා ඕවා ඉවර කරන්නං"

"ඇයි උඹ බය උනාද තොපේ එකත් හිටියා ඌ  තමයි පිසතෝලේ තියං හිටියෙ. මාමාගෙ පිසතෝලේ දෙන්නෙ නැතෑ බෑනා පොලීසියට"

"ඔන්න ඕවා අතෑරලා පලයං පුංචයියෙ ගෙදර"

"###%$&^()€&&^{#&$"

"චටාස්" "පටාස්" "ඩිං ඩිං" "ක්හැ කැහ්"

"මෙන්න මරණවො"

"ඊයේ රෑ මගෙ කොල්ලා මරන්න හැදුවා දැං මගෙ මිනිහ මරන්න හදනවෝ"

"පල පොලිසි තොට පුළුවන් දෙයක් කරපිය"  "තෝ පොලිසි ගිහිල්ලා ආයෙමත් මේ ගමට එන්න එපා යන තූත්තුකුඩියක පල"

මාමා දීලා පුංචට මැදෑ කොලා. දැං ඉතිං මයිනට ගෙදර බත් ලැබෙන්නෙ නෑ කියන එක 500% ෂුවර්.  මයිනා සහ තඩියා දස අතේ  කල්පනා කරනව මොකදෑ කරන්නෙ කියලා. තව යාළුවෙකුගෙ ගෙදරට ගිහින් මූනත් හොදගෙන උදේට එහෙං කාලා එහෙට වෙලා හිටියා.

දන්න අඳුරණ හිතවත් අයියෙක් ඉන්වා මූ කරන්නෙ කොළඹ ගෙවල් කොන්තරාත් ක්‍රමයට පේන්ට් කරන එක. මූ ඉතිං අහාපි

"මොකද උඹලා පාතාලේ බ්‍රාන්ච් එකක් ඇරලා කියන්නෙ"

"මොන පාතාලේද ඔයි මෙන්න මේ #%යට දුන්නා දෙකක් ඒක අවුල්"

"දැං මොකද උඹලා කරන්න හදන්නෙ"

"ගෙදර යන්න බෑ ඕයි දැං කොහෙ හරි යනවා"

"කොහෙද තොපි යන්නෙ"

"පොඩ්ඩලගෙ මාමා කෙනෙක් ඉන්නාළු ඔක්කංපිටියෙ එහෙ යනව"

"එහේ මොකටද"

"එහෙ පතල් හාරන්න පුළුවංලු"

"වහෙ පිස්සුද තොපිට එහෙ මදුරැවො ඉන්නව මැලේරියාව හැදෙනවා. පාඩුවේ ඉඳපියව් කොටි පනිනව එහෙට"

"බෑ බෑ අපි යනව එහෙ මැණික් ගරන්න"

"එහෙනං පළයව් තොපි බෙල්ල කපා ගන්න"

එක අපතයෙක් ෂේප් එකේ ගිහින් පොඩි අක්කට කියලා ටී සර්ට් දෙක තුනකුයි කලිසං දෙකකුයි සොපිං බෑග් එකකට දාගෙන ආවා.  දැං මයිනා පස්සෙන් වැටිලා තව එවුං 4 දෙනෙක් ඇඳුම් දෙක තුනකුත් අරං ආපි. පොඩ්ඩගෙ මාමා හොයාගෙන යන හිංදා පොඩ්ඩත් ආවා හැබැයි පොඩ්ඩත් උගෙ ගෙදරට කියන්නෙම නැතුව. ඇඳුම් පැළඳුං උස්සන් ආවට මොකද බස් එකේ යන්නවත් සල්ලි නැත.

මයිනගෙ ලොකු අක්කා ඉන්නෙ හික්කඩුව ටවුන් එක කිට්ටුවම. එකෙකුගෙන් ෆුට් සයිකලයක් ඉල්ලං අක්කලගෙ ගෙදරට ගිහින් රැපියල් 200ක් ඉල්ල ගත්තා. මස්සිනා ගෙදර නෑ එහෙම්ම මස්සිනා හිටපු තැනට ගිහිං තව රැපියල් 200ක් ඉල්ල ගත්තා. මස්සිනාට කිව්වා මම කොහෙ හරි යනව කාටවත් කියන්න එපා ගිහිං ලියුමක් එවන්නං කියලා.

                                    සහානාදාරත් එකතු කරං ගියා කිහාංකො ඔක්කංපිටි. ගෙවල් වල ඈයො දන්නෙ නෑ ගිය  තැනක්. මොණරාගලට ගිහිං ඊට පස්සෙ පරණ ලොරියකින් හදපු බස් එකකින් ඔක්කම්පිටියට. එතන හිටපු කෙනෙකුගෙන් විස්තර අහාගෙන පොඩ්ඩමාමගෙ ගෙදරට. මාමා උන්දැට පුළුවන් විදියට බත් පිඟානකුත් දිලා විස්තරෙ පැහැදිළි කරලා දුන්නා. එක කොටි ප්‍රශ්ණෙ දෙක අලි ප්‍රශණේ තුන වනජීවි ප්‍රශ්ණෙ ආදි ලෙසට පිළිවලට. පහුවදා මාමා සමග ගෝළයො රොත්ත කැලේ මැද්දෙ කිලෝමිටර් 10ක් 12ක් ගිහින් ගෝණියකට උස්සගෙන එන්න පුළුවන් තරං පස් එක තැනකින් හාරගෙන එනවා. සමහරවිට එතන වතුර හිඳුනු ගඟක් වෙන්නත් ඇති.පළවෙනි දවසේ දෙපාරකට පස් කපං ආවා එදා රෑ ඉතිං පොලිසියෙන් ගුටි කාලා වගෙ තමා ඇඟෙ පතේ රැදාව. එකාට එකා කෙඳිරි  ගගා පං පැදුරේ දොයි. එතැන් පටන් දවස් 5ක් විතර එක දිගට ඉල්ලං පස් කපාන ඇවිත්  පොඩි ඇළ පාරක් අයිනෙ ගොඩ ගහනවා. අර  මාමාගෙ මස්සිනා වෙන එකෙක් ඒවා හොදන  වැඩේ කරන්න ගත්තා. පැහැදිළිවම මාමා ඒ වැඩේට කැමති උනේ නෑ. ඒත් ඉතිං කොයි ලොක්කත් ඈඹේණියට පදිරි නේ. කෑලෑවෙ ඉල්ලං පස් කපන ගමං මාමා අපිට කිව්වා 
 "කොල්ලනෙ අරැ හෙණම #රියා ලොකු වාසියක් තිබුනත් ඕකා අපිට දෙන්නෙ නෑ. හෙට යමල්ලා ඉල්ලං පස් අපිත් හොදමු" කියලා.

ඉල්ලං පස් ගෙනත් දාන තැන හොද හොද හිටපු එකා නෑ. අර මාමාට දැං පට්ට සැකයි.

"අරැට මොනවම හරි හම්බ උනා නැත්තං ඌ මේක දාලා යන්නෑ බං"   කියලා මාමාත් හරිම දුකෙන් ගෙදර ගියා අපිත් එක්ක. ඉල්ලං හෝදපු එකා ගැන අහාද්දි මාමාගෙ ගෑණි කියාපි.



"අයියා මම ඉල්ලං හොදනවට කැමති නෑ කියලා මල්ලි ගියා යන්න"

හැබැයි ඒ වෙලාවෙ මාමට ආපු කේන්තියට ගෑණිගෙ බෙල්ල කපන සයිස් එකක් තිබුනේ. එදා හවස ගිහින් ඉල්ලං පස් හෝදන වැඩේ මාමත් එක්ක එකතු වෙලා අපිම කරා. මැණික් ගැන දැනුමක් නැති නිසා වෙනසක් ඇති සියළු ගල් මාමා ළඟට ගිහින් දෙනව. රෑට මාමා මූන ගලවපු ටෝච් එළියෙන් අර ගල් බලනවා. වැඩකට ඇති දෙයක් ලැබුනේ නම් නෑ ඒත් ඔය පොඩි ගල් කෑළි දිලා ඒ මනුස්සයා රැපියල් 1000ක් 500ක් අරන් ආවට  අපිත් ඒක එයාටම තියා ගන්න කිව්වා. ඔහොම ගිහින් සති 2කට විතර පස්සෙ සියඹලා ඇටේක ප්‍රමාණෙක රතු පාට ගලක් අහු උනා. මාමාට පට්ට හැපි ඉතිං මාමා අපේ  කොල්ලො දෙන්නෙකුත් එක්ක ගිහින් ඒ ගල විකුනුව රැපියල් 55000කට. මාමා සල්ලි සම සමව හැමෝටම බේදුවා. හැබැයි ඉතිං මයිනා ඇතුලු නඩේ ඔය සල්ලි වලින් කොටසක් ආයෙමත් මාමට දුන්නා. ගෙදර ගෑණිත් විස්සොප කරන් උන්දෑ අපිට කරන සේවයට සළකන්නත් එපැයි.

ඇවිල්ලා ගෙවුණු සති තුනකට පස්සෙ මුහුදු මාළු කෑල්ලක් කාලා ගමේ විදියට බත් වේලක් කෑවේ එදා තමයි. ගෙදරට අවශ්‍ය බඩුත් ඔක්කොම මොණරාගලටම ගිහින් අරන් ඇවිත් අපිම උයලා පිහලා කුස්සියෙ කටයුතුත් කරලා නැන්දවත් ෂේප් කර ගන්න පුළුවන් උනා එදා නම්. ඊළඟ දවසෙ සුපුරැදු  පරිදි ඉල්ලං පස් කපං එන්න කැලේට. පළවෙනි සැරේ පස් කපං ආවා දෙවැනි සැරෙට කැලේ කිලෝ මිටර් 5ක් විතර දුරදි වෙන පස් කපං එන්න ගියපු එවුං දුවගෙන එනවා පේනව. මාමා එකෙකුගෙං ඇහුව්වා

"හිච්චි මල්ලි මොකෑ බං"

"කොටි ඇවිල්ලා අයියෙ දුවපං" කිව්වා.

බෝල්ට් නං මොකෙද්ද අපිත් එක්ක අපිනේ රනර්ලා.

කොටි නිසා ඇති උනු මරණ බයත් හිත දරන් දැං මාමගෙ ගෙදර. අපරාදේ කියන්න බෑ ඒ වෙද්දි අප්‍රිකන් කාරයො වගෙ සොඳුරැ කළු පැහැයට හැරිලා. අත්වල කර ගැට ඇවිත්, හම කබර හමක් වගෙ වෙලා. දවස් 3කට 4කට පස්සෙ අරංචි උනා ආමි එකෙන් කැලේට බැහැලා කොටි හොයනව කියලා.   ඊටත් දවස් දෙක තුනකට පස්සෙ ආයෙමත් කැලේට රිංගලා වෙන තැනකින් ඉල්ලං පස් කපං එන්න පටන් ගත්තා. 

                                                    ඕං ඉතිං පොඩ්ඩගෙ තාත්තා හිටි අඩියෙ කඩා පාත් උනා. වැඩේ කියන්නෙ උන්දෑ දැකපු හැටියෙ මයිනා කිරි හට්ටියක් විතර හිනා කටක් දැම්මා මුන්දෑ යංතං හිනාවක් විතරක් දාලා ගෙට ගියා. අනේ ඉතිං මයිනට හෙණ අප්සට් ඇයි යකෝ ගමේ ඉන්දැද්දි මුන්දැ මයිනට මාර ආදරෙයි.මයිනා ගේ පිටිපස්සෙ හිටපු එවුන්ට කිව්වා.

"පොඩ්ඩා උඹලගෙ තාත්තා ආවා බං මා එක්ක කතා කරේවත් නෑ නේ"

"අපේ තාත්තා උඹ එක්ක කතා නොකර ඉඳිද බං යමං බලන්න"

අපතයො ටික උන්දෑ ළඟට ගියා. ටිකක් වෙලා බලං හිටියා


"ඈ බොළව් තොපිට මොකෑ මේ වෙලා තියෙන්නෙ. ලොකු පුතේ උඹ හිනා වෙලත් මට  අඳුර ගන්න බැරි උනා. හෙටම යමල්ලා ආපහු ගමේ මොනවත් අවුළක් නෑ"

"අනේ අයියෙ හෙට යන්න එපා අනිද්දා යන්න කොල්ලො ටිකත් අරන්"  අර මාමා බොහොම බැගෑපත්ව ඉල්ලා සිටියා. ඊළඟ දවසේ උදේන්ම නැගිටලා මාමා එකතු කරපු ගල් වගෙකුත් අරන් පොඩ්ඩගෙ තාත්තා එක්කම ගියා. අපි ටිකත් පට ගාලා කැලෑවට රිංගලා ඉල්ලං පස් ගෝණි 6කුත් ගෙනත් දාලා නාගෙන කොරගෙන ඇඟෙ පොල්තෙල් පාරකුත් ගාගෙන හිටියා. මාමත් ආවා මූනත් හිනාවකින් පිරිලා. නැන්දත් සැමං ටින් එකකුත් එක්ක බත් හදලා තිබුනා.

මාමා එදා රෑ හැමොගෙම අත්වලට රැපියල් 27000 ගානේ දුන්නා. එදා අපිට කිව්වා අපි ආපු මුල්ම දවස්වල ගෙනාපු ඉල්ලං වල තිබිලා මාමගෙ මස්සිනාට ලක්ෂ 12ක ගලක් හම්බ වෙලා තියෙනව. ඌ කරපු වැඩේට නැවත ඌ එක්ක කතා කරොත් එහෙම ගෑණීත් එළවනවා කියලයි කිව්වේ.

කට්ටියම ඉතිං ඊළඟ දවසෙ ගමට ආවා. ගම සන්සුන් වෙලා තිබුනට අපි ගමට ආවම සමහර ඈයොන්ට හරි අවුල්. අප්පොච්චිටත් අවුළ් සහිත හැපි ඇයි ඉතිං අප්‍රිකන් කාරයෙක් වගෙ එකෙක් නේ ඉන්නෙ. දවස් 5කට 6කට පස්සෙ ඔක්කම්පිටියෙ මාමා හදිස්සියෙම ආවා නැන්දයි ළමයි දෙන්නා එක්කම. අපි දාලා ආපු ඉල්ලං පස්වල තිබිලා  ලක්ෂ 7ක ගලක් හම්බ වෙලා. අපේ කොටස දෙන්නයි ඇවිත් තිබුනේ. හැබැයි අපි කිසිම කෙනෙක් ශත 5ක් නොගන්න තීරණය කරා. ඒ සල්ලි වලින් මාමට ගෙයක් හදා ගන්න කියලා  උපදෙසුත් දීලා අපිට පුළුවන් උපරිමයෙන් සළකලා යැව්වා. ඊට පස්සෙ මොකද්දො හේතුවකට ගමේ ඉන්න හිතුනෙත් නෑ.

1 comment:

  1. මේ කතාවලට නම් දාපං මයිනෝ!

    ReplyDelete