Sunday 14 April 2019

මයිනාගෙ කතා.... 42 කටා -3

මයිනාගෙ කතා....42... කටා -3

                                      නෑම,කෑම සහ ඉල්ලං කෑම මේ සියල්ල කටාගෙ ජීවිතේට බද්ධ වෙච්ච දේවල්. අපරාදේ කියන්න බෑ එකට ගියපු එකා දාලා එන්න බැරි අමාරුව නිසා කටා අපිට බුෆේ ක්‍රමේට හරි පස්සෙ පන්නා දෙන ක්‍රමේට හරි කෑමක් දුන්නා මාසෙකට සැරයක්.


                                   ඒ කාලේ අවේලාවේ පාරවල් ගානේ තාප්ප බෝක්කු වගෙ තැන්වල රස්තියාදු වෙන හාදයන්ට පොලිසියෙන් කම්බුල් පාර බැගින් එහෙමත් නැත්තං කණ පැලිමේ ව්‍යාපෘතියක් ආරම්භ කරලා තිබුනා. කටා සහ අපත පිරිස මයිනත් ඇතුළුව පාරක් අයිනේ වළක් බහින වෙලාවේ පොලිසියෙ මහත්තරු ටිකක් ආවා.

"මොකද තොපි පාරේ කරන්නෙ? "
"සර් දානේ ගෙදරක යන්න ඉන්නෙ"
"දානේ ගෙවල් තොපිට.... #@#%^& "
"පටාස්" පළවෙනි එකාට කනේ පාරක්
"චටාස්" දෙවනි එකාට කනේ පාරක්
අපේ කටා පැන්නා ඉස්සරහට,

කටා- "අතක් තියන්න එපා එක කොල්ලෙකුටවත් තරුවයි පටියයි නැතුව ගෙදර තමා ඉන්න වෙන්නෙ"

S.I. - "ඇයි තෝ මොනව කරන්නද?"

කටා -"කරන්නෙද යනවා මානව හිමිකම්. මාස 6ක් විතර ගෙදරට වෙලා ඉන්නකොට තේරෙයි තමුසෙට වෙච්ච දේ"

යකෝ S.I. මහත්තය ටිකක් පසු බැස්සා සිංහ සෙයියාව වෙනස් උනා.

කටා:- "පාරේ හිටියා කියලා කාටවත් ගහන්න ඔයාලට බෑ ප්‍රජාතන්ත්‍රවාදි රටක නිදහසේ රැස්විමේ සහ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය තියෙනවා"

S.I. - "තමුසේ කියවනව වැඩියි දැං තියෙන්නෙ හදිස්සි නීතිය ක්‍රියාත්මක කරලා."

කටා - "හදිස්සි නීතියෙන් සෝදිසි කරන්න පුළුවන් ගහන්න නීතියක් නෑ, හරි මම දැං මේ දෙන්නා අරං ඉපිරිතාලෙට යනව මෙඩිකල් එකක් අරං ඉතුරු ටික කරන්නම්"

        කටා ඉතිං සක්කුවෙන් පෑනක් අරන් අනිත් රාළාමිලගෙ නම්බර් 3ත් ලියා ගත්තා. පාරේ ආපු ත්‍රි වීල් එකට අත දාලා අනිත් උන් දෙන්නත් දාගෙන ගියා. වටේ පිටේ ආපු මිනිස්සුත් හොල්මං යකෝ ඒකට.




                   පහුවදා එක RPC කෙනෙක් ඇවිත් කටාව හොයනවා. ඒ රාළහමි අපේ ඉන්දිකයට සෙට් වෙලා අහලා "මල්ලි ඊයේ මෙහෙම පොඩි සීන් එකක් උනා ඒ මල්ලිව පොඩ්ඩක් හම්බවෙන්න බැරිද, ඒ මල්ලිට ඒක අමතක කරලා දාන්න කියන්න මල්ලි.අපි දරු පවුල්කාරයො නේ මල්ලි."කියලා.ඉන්දිකයත් කියල එයාලගෙ මාමා කෙනෙක් තමයි හයිකෝට් එකේ අර ලෝයර් කියලා තව ටිකක් රාහළාමිව අන්දවලා යවලා. බය වෙන්න එපා ඔයාලත් පාඩුවෙ ඉන්න එයත් පාඩුවේ ඉඳි කියලා. හැබැයි අර S.I. බුවා කටාට ගේමක් දෙන සයිස් එකේ හිටියෙ ඒත් ඊට කලින් උන්දෑ මාරු වෙලා ගියා වෙන පොලිසියකට. කියන්න අමතක උනා අර S.I. ලොක්කගෙ දෙවනි කනේ පාර කාටද ලැබුනෙ කියලා හිතා ගන්න පුළුවන් නෙ?


                                          තව දවසක කටාගෙ වද කිරිමකට කටා කෑල්ලක් දැකලා ඒක බලන්න යමල්ලා කියලා ඉතිං ඩබල් දාලා බයිසිකලේ කට්ටියම ගියා රත්ගම මොන්ටෝරියා වත්ත කියන පැත්තට. කටා එක්ක ගියා කියන්නෙම කෑමක් බව දන්න හින්දා මයිනා බයිසිකලෙ ගෙනාවෙ නෑ. කටාගෙ බයිසිකලෙ පොල්ලෙ තමා ගමන් කරේ. කටා ඉතිං ගියා කෑල්ලගෙ ගෙවල් දිහාවෙ පාරෙන් ගිහින් එන ගමන් මූ කෙල්ල දැකලා පාරෙදි කතා කරන්න නැවතුනා. අර කෙල්ල මූ දැක්කා විතරයි ස්පීඩ් එක ඩබල් කරා. මූත් මී හරකා වගෙ අර කෙල්ලගෙ අතිං ඇල්ලුවා නවත්ත ගන්න හිතන්.


                                                 ඒක දැක්ක ඒ ඉස්සරහ ගෙදර හිටපු එකා, ඌ ඒ කෙල්ලගෙ අයියලු . ආයේ ඉතිං මොනවද ආපු ගමන් බයිසිකලේ අල්ලන් හිටපු මයිනට දුන්නා පයින් එකක් මයිනයි බයිසිකලෙය  දඩෝරියං ගාලා බිම! වටේ පිටේ හිටපු කොල්ලො කුරුට්ටො ඉතිං අතට අසුවන සියළු දේ සමග සටන් බිමට. සමහර ඇන්ටිලා කොස්සද, ඉදළද, කොහු පොල්ලද රැගෙන පාරට! බයිසිකලේ කෙලින් කරන් පැදගෙන යන්න තරං වෙලාවක් නෑ බයිසිකලේ කේබල් ලොක් එක ගත්තා අතට මයිනා ගම හරහා දුවන්න සූදානම් උනා.

                                               කෙල්ලගෙ අයියා සහ පිරිස කටාට නෙළනව හො ගාලා. මයිනා දුන්නා කේබල් පාරක් අයියට! "දුවපං කටෝ" කියලා. මයිනගෙ උරපත්තට එකෙක් ගැහුව්වා ස්ටම්ප් පාරක්, තව එකෙක් පස්ස පැත්තට බැට් පාරක්, පහර පිට පහර ලබමින් මයිනා ගම හරහා! අපිට වඩා මීටර් 100ක් විතර ඉස්සරහින් ආපු අනිත් පිරිසත් හැටට හැටේ පදිනව ඩබල් දාලා අපිත් එක්ක ආවේ නෑ වගෙ. එකෙක් ගල් පාරක් එව්වා මයිනගෙ අතට වැදුනු පාර කේබල් එක බිම, කටා පේනතෙක් මානෙක නැත. මයිනා අතනින් මෙතනින් කැලෑවලින් කුරුඳු වතු මැද්දෙන් දුවලා දුවලා ගෝනපිනුවල මහවේල්ල කියන හරියට ආවා. පාරේ ගිය ලෑන්ඩ් මාස්ටර් එහෙක නැගලා හික්කඩුවට ඇවිත් ගෙදරට සේන්දු උනා. 


                                                        ඒහෙමයි කියලා පාඩමක් ඉගෙන ගත්තද නෑ නේ. අපේ ගම්පලාතට ටිකක් එහා ගමක තිබුනා අවුරුදු උත්සවයක්. වැඩක් පලක් නැතිකමට ඉතිං අවුරුදු ඉවර වෙලා තියපු අවුරුදු උත්සවේ බලන්න කට්ටියම ගියා. අපි ගිහින් මද වෙලාවකින් කටා අපේ ඉව පාරේ ඇවිත් උත්සව භූමියට සේන්දු උනා. දැන් කෑමක් ෂුවර් බව දන්නම නිසා කට්ටියම නැවත යමු කිව්වට එකෙකුටවත් යන්න හිතක් නෑ. ඇයි ඉතිං වටේ පිටේ චීත්ත කෑලි, ගවුම් කෑලි, සායකොට දාලා යන්න හිතේයෑ. ටික වෙලාවක් යද්දි කටා චාටර් වෙන්න ගත්තා. ඒ වෙනකොට සැඳෑ අඳුර ගලාගෙන එනවා එකාට එකා පෙනෙන නොපෙනෙන තරමට අඳුරුයි, කටා කෙල්ලෙක්ගෙ කොහෙන්දො අතගාලා කෙල්ල යාළු කොල්ලා උගෙ සෙට් එකත් එක්ක ඇවිත් කටා පැත්තකට එක්ක ගිහින් සළකනව.

                                                                                               
                     අපේ එවුනුත් ඉතිං අපේ එකාව හොයාගෙන ගිහින් සංග්‍රම භූමියට ප්‍රවිශ්ඨඋනා. මයිනා ඇඳං හිටි ටි ෂර්ට් එක ගලවලා ඉනේ බැදං වළියේ!  ඇඟෙන් පතෙන් ලොකු- මොලෙන් පොඩි තඩියා කොහෙන්දො අතට අහු වෙච්ච පොල්ලකින් හතර පැත්තටම වනනවා! වළියට ආපු ඒ පැත්තෙ එවුං දිව්වා ටි සර්ට් එක නැතුව හිටපු මයිනව ඒ පැත්තෙ එකෙක් කියලා හිතපු තඩියා දුන්නා මයිනටත් පොලු පාරක් නළල පැලි පැණි බහින්න. "තඩියො මං හු## මයිනා" කියාගෙන පත බෑවුනා බිම. අපරාදේ කියන්න බෑ මැහුං 3ක දැම්මා වැඩියෙ නෑ, අදටත් නළල්තලාවෙ විරාජමාන වන කැළල අන්න ඒ වැරදි පොලු පාර තමයි.

කටා ගැන කියනව නම් කතා ගොඩයි ඌ ගැනම කියලා හරි යන්නෙ නෑනේ ඒක නිසා වෙන කතාවකට යමු නේ
...... එන්නං ඈ......
___මයිනා____

2 comments: