Saturday 24 August 2019

මයිනාගෙ කතා... 54 සමණළ තටු...

මයිනාගෙ කතා (53) සමණළ තටු... 

    සිංහල සිනමාවේ  හිටපු සුපිරි වීරයා තමයි ගාමිණි ෆොන්සේකා.  විවිධ චරිත සහ  විවිධ සිනමා නිර්මාණ තුලින්  එකළ තරුණ හදවත්  අමානන්දයට පත් කරපු  ගාමිණි  එවකට හින්දි සිනමාවේ  රාජ් කපූර්ගේ ජීවිතේ කොපිකරාද කියලත් හිතෙනවා.. මොකද කියනව නං රාජ් කපූර් ඒ කාලේ  ලෝකේ තියෙන හොඳම වර්ගවල මධුවිත තමයි  පාවිච්චි කරලා තියෙන්නේ..  50 - 60 දශකයෙදි  දවසකට  රුපියල් 10,000ක  මධුවිත පානය කරාලු.  එවකට  සිනමාවට  ආපු  හැම අයිටම් එකකම රස බැලුවා මදිවට හින්දි සිනමාවට  වීදේශිය  කාන්තාවන් මුලින්ම එකතු කරෙත් රාජ් කපූර්ලු.  

    ගාමිණි වගෙම සිංහළ සිනමාව ආකර්ෂණය කරපු  අනිත් කෙනා  තමයි  විජය කුමාරතුංග. විජයගෙ හදිසි අභාවයෙන් පස්සෙ සිංහළ සිනමාවත් අභාවයට ගියා කියලයි  මයිනට හිතෙන්නෙ. කඩවුනු පොරොන්දුවෙන් පටන් අරන් අද වෙනකම් සිංහළ සිනමාවේ එක එක විදියෙ චිත්‍රපටි හැදුනා.    එදා සිනමාවෙ  නළු නිළියො රඟපාද්දි  ගැළරියෙ ප්‍රේක්ශකයො කඳුළු  පෙරාගෙන ඇඬුවා.    පික් පොකැට්, අදට වැඩිය හෙට හොඳයි, චංචල රේඛා වගෙ චිත්‍රපටි  බලලා මයිනත් අඬලා තියෙනව...  අද කාලේ  නං උන්  රඟපාලා , උන්ම අඬලා චිත්‍රපටිය ඉවර වෙනව නොවෑ...  මයිනා  මුළින්ම  චිත්‍රපටියක්  බැලුවේ  හික්කඩුවේ  සිනමා ශාලාවක්  තිබුනු කාලේ ඒ ගැන තියෙන්නෙ නම් බොහොම අපෑහැදිළි මතකයක්.  මයිනා එතරම් කුඩා අවදියෙදි තමයි ඒ  සිනමා ශාලාව තිබුනෙ ඒත්  කාලෙක  ඒක කවුදෝ ගිනි තිබ්බලු.

      එක එක වයස් කාණ්ඩවලදි පවුලේ සැමත් එක්ක චිත්‍රපටි බලන්න ගියාට  සා.පෙළ විභාගෙන් පස්සෙ නම්  මිතුරන් හෝ පෙම්වතිය එක්ක තමා ඒවට ගියේ..  පෙම්වතියෝ එක්ක සිනමා ශාළාවට ගිහින් ෆිල්ම් බලන්න වෙන්නෙ නෑනෙ,  වෙන වෙන වැඩ තියෙනව නොවෑ.  අතපත  ගෑම්, පරික්ෂා කිරිම්, ගණනය කිරිම්, ඇඟිළි ගැසිම්, කුඩාවට  ඇති දෙහි දොඩම්  වගෙ ඒවා  ලොකු කිරිම  හො  ජොල් කිරිම ආදි  බොහොමයක් දේවල් ඒ අතරෙ වෙනවා.  පසුකාලෙක  ප්‍රසව හා  නාරිවේද  වෛද්‍යවරුන්  බවට  ඉහළ සුදුසුකම්  ලබන්නෙ  එහෙම ඈයො තමා.  මයිනත් එහෙම ෆිල්ම් නම් කිහිපයක් බැලුවා  හැබැයි ඉතිං බැලුව ෆිල්ම් එකවත් මතක නෑ එළියට ආවම.  කිණිහිරියා මල්  කියන  ෆිල්ම් එක හතර සැරයක්ම  බැලුවා  ඉතිං මතකවත් නෑ  මොනවද ඕකේ තිබුනෙ කියල.  ෆිල්ම් එක  හොඳයි කියලා හිතුනු නිසා  තනියෙන්  ගිහින් පස්සෙ  දවසක  ෆිල්ම් එක  බැලුවා ඉතිං.

      මෑත කාලේ සිනමා කර්මාන්තය කඩා වැටිම නැවතුනෙ ළමයින්ට සුදුසු චිත්‍රපට නිෂ්පාදනයෙන්.සූරිය අරණ  වගෙ චිත්‍රපටිවලින් පටන් අරන් හොඳ ගැම්මක් සිංහළ සිනමාවට අරන් ආවේ සෝමරත්න මහත්තයා.  ඊට  පස්සෙ රජ කතා,ඉතිහාස කතා  වගෙ  ඒවා. මේ චිත්‍රපටිවල  දෙබසුත්  සැරින් සැරේට  ජන හදවත්වලට සමීප වෙනවා. "රජ කුමාරයෙක් නොවෙයි  මං ගමේ  කොල්ලෙක්"  වගෙ  දෙබස් මුහුණු පොත පුරාම  දැක්කා පහුගිය කාලේ.


        "සමණළ තටු"  වෙනස්ම විදියෙ තේමාවක්  එක්ක  සිනමාවට ආපු  ළමා  චිත්‍රපටියක්. ඒ දවස්වල හැමෝම  ළමයි ඔය චිත්‍රපටිය බලන්න යනවා. සමහර  පාසල්වල  ළමයි එක්කගෙන ගියා මේ ෆිල්ම් එක පෙන්නන්න ඒ තරං ඉටිකිරිස් ෆිල්ම් එක.  මයිනගෙ  අතීජාත  මිත්‍රයෙක්  හිටියා  විවාහ වෙලා  ළමයි  දෙන්නෙක් හිටියා.  ලොකු  ළමයට අවුරුදු  8ක් 9ක් වගෙ ඇති, පොඩි ළමයට 5ක් විතර ඇති. මයිනගෙ මිත්‍රයා  ළමයින්ව  රූපවාහිනීය  වගේ දේවල් වලින් ඈතින් තමයි තියලා තිබුනේ, ළමා වැඩසටහනක්,ඩිස්කවරි වැඩසටහනක්  හැර ගෙදර රූපවාහිනී බොහො දුරට ක්‍රියා විරහිත කරලා තමා තිබුනෙ. මයිනප්පු ලංකාවට ගොඩ බැහැපු  කාලෙක  ඕං ඔය  "සමණළ තටු"  තිරගත  වෙනවා.  හවස් ජාමෙට මයිනා සහ තවත් හාදයෝ කීප දෙනෙක් අර අතිජාත මිත්‍රයගෙ  ගෙදරට යනවා  වැදගත් හරවත් කතාබහක යෙදෙන්න. මෙහෙම  ගියපු  වෙලාවක  මිත්‍රයාගේ  පුතණ්ඩියා ඉන්නවා මූණ හපුටු කරන් බොහොම දුකින්.මයිනා  යාළුවගෙන්  ඇහුව්වා,

"ඇයි බං පොඩි එකා මූන එල්ලන්?"

"අර කෙහෙම්මල් ෆිල්ම් ඇවිත් බලන්න යමුලු"  
පොඩි එකා ඉතිං ඈත ඉඳං,

" ඒක  කෙමේමලක්යෑ  සමනළ  තටු නේ, අපේ  ස්කෝලේ ළමයිනුත්  ගියේ බලන්න" 

"අනිත්  එවුන් කරන දේවල් අපි කරන්න ඕනේ නෑ, ෆිල්ම් නෑ ගිහිං  ඉස්කොලේ  වැඩ කරනවා..."          
  තාත්තගෙ විධානයෙන් පොඩි  එකා  ඉතිං  පරල වෙලා ගියා.    
            ඕං  ඉතින් එදා  මාතෘකාව  උනේ  "සමණළ  තටු"  හෙළ  සිනමාවෙ  එදා  සහ  අද නළු නිළියන්ගෙ ඇද කුද. සිනමා කර්මාන්තය  කඩා වැටිමට  හේතු  සහ  දේශපාළන  අත පෙවීම් ඒ වගෙ  හර බර  සාකච්ඡාවට  පස්සෙ මිත්‍රයගෙ ළමයි එක්ක ගිහින්  " සමණළ තටු" පෙන්විය යුතුය කියන තැනට ආවා. අකමැත්තෙන් උනත් මිත්‍රයා  එළඹෙන සෙනසුරදා ළමයි සමග "සමණළ තටු" බැලීමට එකඟ උනා. මයිනත් ඉතිං ඒ  ගෙදරින් එන ගමන් ෆිල්ම් එක  බලන්න ගියාම  මොනව හරි  ගන්න කියලා පොඩි  එකාට  රුපියල් 1000කුත්  දීලා ආවා.

              මිත්‍රයා ළමයි එක්ක "සමණළ තටු" නරඹලා  අවිත්  දවස්  දෙක තුනකට  පස්සෙ  මයිනා  හැන්දෑ වරුවක ඒ දිහාවට ගියා.  මිත්‍රයා ඉන්නව  මූන  #ක  කරන්  මිත්‍රයගෙ  පොඩි එකා  ඉන්නව ඉකි  ගගහා.  

"මොකෝ  බං  පොඩි  එකා අඬන්නෙ?"

"අඬන්න? මූව ගහනවා කකුල් දෙකෙන් අල්ලලා පොළවේ"

"මොකද උනේ කිහාංකෝ වහෙ"

"සමණළ තටු"  ෆිල්ම්  එකේ එක දෙබසක්  තියෙනවා ජයලත් මනෝරත්න  කියනව දුලීකට  "පයිප්පෙකට  අල්ලලා දූවිළි  හෝදලා ගත්තනං උඹත් දොස්තර නෝනෙක් වගෙ තමයි"  කියලා.  ෆිල්ම්  එක  බලලා  ආපු  පොඩි  එකාට අර  දෙබසත්  මතක  හිටලා ඉතින්, ඊට පහු දවසක  මිත්‍රයගෙ  නෑනා  හෙවත් මේ පොඩි  එකාගෙ  පුංචි අම්මා  එද්දි මේකා  කියලා  "පයිප්පෙන්  නාවලා  ගත්තනං  පුංචිත්  දොස්තර  නෝනා කෙනෙක් වගෙ ඉඳි  තාත්තෙ"  කියලා.  

අන්තිමේ  වැඩි  හොඳ  කරන්න  ගියපු  මයිනත්  බැණුම්  ඇහුව්වා  "තෝ  තමයි  ඔය  මගුල් පෙන්නන්න එක්ක යන්න කිව්වෙ"  කියලා.  චිත්‍රපටි  දෙබසක්  හින්දා උනු  දෙයක් ඕං ඉතිං.  එන්නං  ඈ.....

2 comments:

  1. පයිප්පෙන් නාවලා ගත්තා නම් මයිනාත් මොණරෙක්වාගේ වෙයිද?

    ReplyDelete