Saturday 24 August 2019

මයිනාගෙ කතා.... 50 ආදර කතා .. කුක්කුඩෝල්


මයිනාගෙ කතා.... 50 … 
ආදර කතා .. කුක්කුඩෝල්

                             මයිනගෙ කුළුඳුල් ප්‍රථම ආදර කතාව පටන් ගත්තෙ කුක්කුඩෝල් එක්ක. හැබැයි ඉතිං මයිනගෙ හැළප ලුක් එකට සෙට් වෙන කෑල්ලක් නොවෙයි කුක්කුඩෝල් කියන්නෙ.ඒත් සෙට් උනා සිකුරු උච්ච වෙච්ච වෙලාවක මල්සරා විදපු හී සැරක් කැරකිලා වැදුනු නිසා. ඒත් ඉතිං ඇත්තම කතාව නං අහල ගම් 7ක එකෙක් නොවෙයි කුක්කුඩෝල්ට ට්‍රයි කරේ. ඒකට හේතු උනේ රටේ බේබද්දෙක් වෙච්ච කුක්කුඩෝල්ගෙ තාත්තා නිසා, අනික තමා වත්ත උඩින් ගියා කියලා කුඩුකාරයෙකුටත් මන්න පාරක් කෙළපු හෙනම නසරාණියා. කෙල්ලට ට්‍රයි කරපු ගමේ එක කොල්ලෙක්ව පොල් ගහාක බැඳලා අම්බානක ගහපු නිසා වෙන කොල්ලෙක් නෙවෙයි එකි දිහා ඇහැක් ඇරලා බැලුවේ.ඒ කලේ කුක්කුඩෝල් හිටියෙ 10 වසරේ ස්කෝලේ හිටපු දක්ෂම ළමයෙක් වගෙම අමුතු පෙනුමක් තිබුනු පට්ට කෑල්ල.



මයිනා ඉතිං ස්පෝර්ට් මීට් එකක් බලන්න ගියපු වෙලාවක කුක්කුඩෝල්ව දැකලා පොඩි ට්‍රයි එකක් දුන්නා. කොල්ලෙක් දෙසවත් නොබලා වේළි වේලි හිටපු මේකි දැම්මා ෆුල් ආඩම්බරේ, මයිනත් ඉතිං "ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන්ඩේ යූ කැන් ඩයි" කියලා උපරිම උත්සහයෙන් හිටියා.අම්මා කවපු බතුයි බල මාළුයිවල හයියට මයිනා අභියෝග ජය ගන්න හරි හපනා වෙලා හිටියෙ, කුක්කුගෙ අප්පට #€% ගං කියලා මයිනා දුවට ට්‍රයි කරා. ඒත් ඉතිං මේකිගෙ හෙනම කලර්. හවසට ස්කූල් ටයිම් එකට එහෙම ගියාම ගැස්සිලි පැද්දිලි ඇඹරිළි කෝටියයි. ඒ අල්ල පනල්ලෙ ඒකිගෙම පංතියෙ හිටපු තෙල්වත්තෙ කෙල්ලෙක් ඉතිං මයිනා දැකපු ගමං ළඟට ඇවිත් කටපුරා සිනාසි හද පුරා නැගුණු ප්‍රේමෙන් කතා බහ කරනව. ඒ කෙල්ල දුරින් මයිනට නෑ කමකුත් තිබුනා. ඕං ඉතිං මයිනා කල්පනා කරා මේ ගල් ඉබ්බිගෙ ආඩම්බර මොකට බලනවයෑ ට්‍රයි කරනව තෙල්වත්තෙ එකට කියලා හිතලා අවසාන වතාවට ගිහින් කුක්කුඩෝල්ගෙ ඇහුව්වා.

මයිනා :- ඔයා මොකද කියන්නෙ හා ද, බෑ ද එච්චරයි ආයෙමත් මම කරදර කරන්න එන්නෑ.

කුක්කුඩෝල්:- මගෙ පස්සෙ එන්නෙ නෑනේ ප්‍රියංකගෙ පස්සෙන්නෙ එන්නෙ ඉතිං එයා එක්කම යාලු වෙන්න එපැයි.

මයිනා :- හපෝ ඒ මගෙ නෑයෝ ඔයා මොකද කියන්නෙ කියනවකො.

කුක්කුඩෝල්:- මං කැමතියි ආයෙමත් ප්‍රියංකා එක්ක කතා එපා හරිද?

                                             මේකි කල්පනා කරන්න ඇති වේලි වේලි නියඟෙට අහු වෙලා හිටපු හම්බන්තොටට වතුර බවුසරයක් වගෙ ආවෙත් මූ විතරයි මූත් නැති උනොත් වේලෙන්නම තමා වෙන්නෙ කියලා. ඕං ඔහොම මයිනා සහ කුක්කුඩෝල් ආදර කතාව පටන් ගත්තා, ඒ වෙද්දිත් කුක්කුඩෝල්ගෙ පංතියෙ හිටපු මයිනගෙ ගමේ කෑලි ටිකයි ඒ පංතියෙම හිටපු මයිනගෙ ආදරණිය බාප්පා කෙනෙකුගෙ දුවයි සීන් කෝන් එක දැන ගත්තා.අර තෙල්වත්තෙ නංගිගෙ "පෙම් කැකුළ පිපි එනවිට මහදේ.... එය පරව ගියා" සීන් එක නිසා ඒකි දුෂ්ඨයාගෙ චරිතයට ප්‍රවිශ්ඨ උනා. එහි ප්‍රථිඵළය ලෙස පොඩි අක්කා හමුවි සියල්ල පවසා කුක්කුඩෝල් සහ මයිනාගෙ ප්‍රේම කතාවට තවත් දුෂ්ඨයෙක් එකතු කරලා දුන්නා.

                                     ඒ කාලේ ඉඳළම මයිනා කවි, නිසඳැස් එහෙම ලියාගෙන නිවාඩු පාඩු වෙලාවක චිත්‍රයක් එහෙම අඳිමින් තමා හිටියෙ. සඳරේණු කියලා තිබුනු පත්තරෙ හැම සතියෙම මයිනා ළඟට ඒමත් ඉඳ හිට මයිනා ලියපු අකුරක් දෙකක් ඔය පත්තරේ තිබිමත් නිසා ගෙවල් වටේ හිටපු කෙල්ලො ටිකත් මයිනට ඉතිං විශේෂ තැනක් දීලා තිබුනා. ඔය අතරෙ හිටපු මයිනගෙ ගෙදරට එහා පැත්තෙ ගෙදරක කෑල්ලක් මයිනා ගැන ආල හිතක් පහල කරන් හිටියා. කුක්කුඩෝල්ගෙ ලව් එකට ඊළඟ හෙනහුරා විදියට පහත් උනේ අන්න ඒ අටමගලේ. පොඩි කාලේ ඉඳලා හොරා - පොලිස්, හැංගි මුත්තං, අල්ලං සෙල්ලං, ගල් 7 කැඩිම, සිං සිං නෝරු, රෑළි රැළි මාලේ, මේ ඔක්කොම කරෙ ඕකිත් එක්ක. මුන හැඩයි උනාට ඒකිගෙ තිබ්බ ළප තොගෙ දන්නෙ මමයි අපේ මල්ලියි නේ, ඒක නිසා ඒකි දෙස නොවෙයි අපිනං බැළුවේ. ආං..... ඒ සෝකෙට ඒකිත් දුෂ්ඨයගෙ පිළට එකතු උනා.

                                   මයිනත් හවසට හවසට ටවුම දිහාවට සයිකල් පදින්න පටන් ගත්තා , තඩියගෙ තනි නොතනියට කවදත් හිටපු මයිනා වෙනුවෙන් තඩියා මිත්‍රයා උදෙශා දිය හැකි උපරිම සහය දුන්නා. මයිනාගෙ හැට හුටාමාරක් වෙච්ච අපත ගැන්සියම ලව් එකට උදව් කරා සහ දෙපැත්තෙම ගෙවල් වලට ලීක් නොවන ලෙසට වග බලා ගත්තා. ඔය අතරෙ මයිනගෙ එක යාළුවෙක් හිටියා ඌට තමා කට්ටා කියන්නෙ. කුක්කුඩෝල්ගෙ ආච්චියි ඌගෙ ආච්චියි සහොදරයො. හැබැයි ඉතිං කට්ටා මයිනගෙ බුදු බොක්ක. කට්ටත් ඔය ලව් එකට ෆුල් සප් එක දුන්නා වගෙම මයිනා හින්දා කුක්කුඩෝල්ගෙ තාත්තා කට්ටා එක්ක මළ තරහයි.

                                 ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියනව නේ, කුක්කුගෙ ලොකු නැන්දගෙ පුතා කුක්කුගෙ ගෙදරට කේළම් කීම ආරම්භ කරා. දෙපැත්තෙම ඈයෝ දෙන්නට වළිය, රංජනී මාතාවට අනුව රදා, බෙරව බැරිනං අභිකුණ්ඨක කෙල්ලෙක් උස්සං වර තොටගමුවේ @සාවියො නැතුව. ගෑණිගෙ බරට රත්තරං දුන්නත් අනෝතප්ත විලෙන් නාවලා ගෙනාවත් තොටගමුවෙන් ගෑණු එපා. පිළිගන්න මිත්‍රවරුනි තොටගමුව එතරම් චාටර් දෙයියනෙ. කේළම් කියන කුක්කුඩෝල්ගෙ නැන්දගෙ පුතා ස්කෝලෙ ගියෙ අම්බලන්ගොඩ, පංති ගියෙ හික්කඩුව ශිල්ප ශාලිකා එකට.දවසක් හැන්දෑවේ හික්කඩුවෙ පොළ පාරෙ මයිනයි කුක්කුයි කතා බහක නිරත වෙලා ඉන්දැද්දි අර අපතයට මාට්ටු. කුක්කු කිව්වා "අද නම් මං ඉවරයි අයියෙ" කියලා. අනේ
ඉතිං මයිනා අරූට කිව්වා
"
මල්ලි උඹ ගෙදරට කියන්න එපා මේකිට තාත්තා ගහනව පව්නේ බං"
"
මං කියනව තමයි මේකි තෝ එක්ක පඳුරු ගානේ රිංගන්න"
"
තෝ මතක තියා ගනිං එක පහරක් හරි ගහලා තිබුනොත් මං තොගෙ කණ පළනව"
ඕං ඔහොමයි පළවෙනි වළිය ඇති උනේ, ඌ ගෙදරටම ගිහින් මාමට විස්තරේ කියලා කුක්කුඩෝල්ට අම්බානක බඩු ලැබුනා.



                                    ඊට දවස් දෙකකට පස්සෙ ඉතිං මයිනා සහ අපත රෑළ අර කේළමාට අම්බානක බඩු දුන්නා හික්කඩුවෙ ස්ටේෂන් එකේ දාගෙන. වැඩේ ලෙඩේ වෙලා පැමිණිල්ල ගෙදරට, රංජනී මාතාව සහ පියරජානේ පුතණ්ඩියගෙ ප්‍රේම කතාන්දරේ දැන ගත්තා. අන්න එදා ඉඳං මයිනට හෙනහුරා ලැබුවා "කෑමට පෙර කෑමට පසු, නින්දට පෙර නින්දට පසු සහ නින්ද අතරමැද" ආදි වශයෙන් වෙලාවක් කලාවක් වග විභාගයක් නැතුවම කොස්සෙන්, ඉදලෙන්, කුරුඳු පොල්ලකින් සංග්‍රහ සත්කාර ලැබුනා අඩු නැතුව. බොහොම සුළු වරදකටත් කුරුඳු පොළු පාර නම් ෂුවර්, ප්‍රසාද දීමනා සහ වෙනත් පොකට් මනි එහෙම කප්පාදු උනා.

                                          මයිනගෙ මල්ලිට වරදාන වරප්‍රසාද වැඩි උනා සහ උගෙ මාතෘ සෙනෙහස උතුරා ගියා. ඒ මදිවට අර අට මගලේ පොඩි අක්කාගෙ කේළම්කාරියන් සමග ගැටිම නිසා ලව් එක මළ ඉළව්වක්ම වෙන්න උනා. රෑ 12ට එකට ගඟෙ පැනිම, දැළි පිරිච්ච චිමිණි දිගෙ බඩ ගෑම වගෙ දේවලුත් සිද්ධ උනේ ඔන්න ඔය ලව් එක හන්දා තමයි. අපරාදේ කියන්න බෑ දෙන්නා රෝමියො ජුළියට් වගෙ ආදර කතාව දිගටම ඇදං ගියා. ඔන්න  ඔය අටමගලේ ගැනත් ටිකක් කියන්න තමා හදන්නෙ.
____
මයිනා____

No comments:

Post a Comment