Wednesday 4 September 2019

මයිනාගෙ කතා..... 61 ඉබ්බා

#මයිනාගෙ කතා..... 61... ඉබ්බා
ඉබ්බා කිව්වහාම එක එක ජාතියෙ නම් තියෙන එවුන් ඉන්නවා නෙව. කිරි ඉබ්බා, ගල් ඉබ්බා, තාරකා ඉබ්බා, වෙහෙර ඉබ්බා වගේ. හැබැයි එකම ඉබ්බට විවිධ පළාත්වල වෙන වෙන නමුත් කියනවා. කොහොම උනත් ඉබ්බා හට්ටියෙන් නවතින තැනුත් බොහොමයි. ඉබි මස් කෑවා වගෙ නොවෙයි පහු කාලෙක ඉබ්බගෙ වගෙ හම ඝණ වෙලා ඉන්ජෙක්ෂන් කට්ටක්වත් ඇඟට ගහන්න බැරි වෙන එකයි අවුල.

මයිනලගෙ ගම් පළාතේ හිටියා පොරක් මතක විදියට පරාක්‍රම ද කොහෙදයි නම, මිනහත් ඉතිං ඉබ්බෙක් පාර ක්‍රොස් කරා නං මඤ්ඤොක්කා හට්ටිය ලිපට කරා සං ගාලා. අපරාදේ කියන්න බෑ මිනහගෙ හයි හත්තියත් ඒ වගෙම තමා.... කොල්ලෙකුට පොළු පාරක් ගහලා තිබුනා මරණ පරික්ෂකත් මඤ්ඤං වෙන්න. මිනිහා වඩු වැඩ කලේ , දවසක වහලේ ඉඳන් බිමට පැන්නම පරාළ කොන් කෑල්ලක තිබුනු ඇණයක් කකුලෙ ඇනිලා දෙයියනෙ කියලා පරාළ ඇණේ දෙකට නැමිලා තිබුනා. වැඩකට ගියත් යකාසේ තමා අළවංගු දෙපාරෙන් මහ ට්‍රැක්ටරෙ පිරෙන්න පස් කණඩිය කඩනවා. දැං ඉතිං තොපි ඉබ්බො තළන්න යන්න එපා පරක්‍රමයා වගෙ ශක්ති සම්පන්න වෙන්න හිතාගෙන...

තව ඔය "මළවැන්න" කියන දිහාවෙ ඉඳල තියෙනව සුගතයියා කියලා මරු ඩයල් එකක්. රැකියාව රා මැදීම සහ විකිණිම. මිනිහා ඉතිං මඤ්ඤොක්කා විකුණන පොරක් පාරේ ගියානං ටාර් ගාලා කිලෝ 2ක් ගත්තා ගෑණිට දුන්නා "ඕක තම්බපං හොඳට" කියලා, සුගතං ගොයියා පනිනවා ඒබරං කිරි මහත්තයගෙ වත්තට ඉබ්බො හොයන්න. දැන් ඔය සුනාමි කෞතුකාගාරය හදපු තැන ඉස්සරහ පැත්තෙ ඉඩමට. ඒක මහ විශාල වත්ත, ඒ වත්තෙ තිබ්බා පොල් කාණුත් එක්කම හැදිච්චි පොඩි ඇළ පාරවල් ඕවගෙ ඉතිං ඉබ්බා ෂුවර්ම තමයි.  ඒත ඉතිං සමහර දවසට ඉබ්බො නැත සුගතං හිස් අතින් තමා එන්නෙ. තව සමහර දවසකට වැස්සක් එහෙම වැහැලා ඇළවල් උතුරලා පාරට එනව එහෙම දවස්වල ඉබ්බයි සුගතං ගොයියයි දෙන්නා මූනට මුණ ගැහෙනව. සුගතං ඉබ්බත් අරං ගිහින් ගෙදර තියං බලන් ඉන්නව මඤ්ඤොක්කා විකුණන පොර එනකං අනේ ඉතිං එහෙම දවසට ඌ එන්නෑ. "ෂික් බලාපිය ඉතිං ඉබ්බා ඉන්න දාට මඤ්ඤොක්කා නෑ, මඤ්ඤොක්කා තියෙන දාට ඉබ්බා නෑ" ඕං ඔහොම කියලා සුගතං බොහොම කණස්සල්ලෙන් තමා ඉන්නෙ.

ඔය සුගතං ගැන කිවයුතුම කතාවක් තියෙනව. ඔය ගොයියගෙ රා බොන්න එක එක වහෙලා එනව නෙව සුගතං ඉතිං පුළුවන් විදියට සැපයුම කරනව. එක දවසක පිට පළාතකින් ආපු කොල්ලො වගේකට රා බීමේ ආශාවක් ඇති වෙලා විස්තර අහගෙන සුගතංගෙ ගෙදරට සේන්දු වෙලා.
"අනේ මාමේ අපිට රා පොඩ්ඩක් බොන්න ආශාවක් ආවා පුළුවන්ද බෝතල් 3ක් දෙන්න"

"දැං නං පරක්කු වැඩියි පුතාලා ඕඩර් එකක ඒවා විතරයි තියෙන්නෙ, හෙට උදේං එන්න"

"අනේ මාමේ නෑ කියල නම් කියන්න එපා කියක් ගත්තත් කමක් නෑ අපිට බෝතල් 3ක් දෙන්න"

ඇත්තටම ඒ වෙද්දි රා බෝතල් තුනක් දෙන්න රා තිබිලා නෑ, මුට්ටියෙ ඉතිරි වෙච්ච මණ්ඩිත් එක්ක රා බෝතල් එකහමාරක් විතර තමයි තිබිලා තියෙන්නෙ.
"ඉන්නකො බලන්න" කියලා අර ඉතිරි වෙච්ච මණ්ඩි එක්කම මුට්ටිය අරං වත්ත පහළට ගියපු සුගතං ගොයියා පාළු ළිඳකින් මුට්ටියට වතුර ටිකක් දාලා ඉතිරි මණ්ඩියි රායි හොඳට කවලං ඩිස්ප්‍රීන් පෙත්තකුත් දාලා කරලා බෝතල් තුනක් හදලා ගෙනත් දීලා. ඔය රා බොද්දි රා පෙරන්නෙත් පොල් ගහෙන්ම ගන්න හනසු කෑල්ලකින්. ලොකු වීදුරුවලට බොතලේ රා අර පොල් මටුල්ල හරහා පෙරද්දි මෙන්න බොලේ ඉස්ගෙඩියෙක් ආවලු රාත් එක්ක. අර ආපු එක කොල්ලෙක් කිව්වලු " හපෝ මාමේ මෙන්න ඉස් ගෙඩියොත් ඉන්නව" කියලා. සුගතං ඇඟට පතට නොදැනි කීවලු "ළමයිනේ ඕක තමයි අපේ මදින්නගෙ අත්ගුනේ, දැක්කද ඇලේ හිටපු ඉස් ගෙඩිත් මළට ඇදිලා" කියලා. ඉබ්බා ගැන කියන්න ගිහින් සුගතංගෙ ගෙදරත් ගිහිල්ලයි නැවතුනෙ......





මේ සිද්දිය වෙන කාලේ ලංකාවේ බොහොම දරුණුවට යුද්දෙ තිබුනා සහ ඊට සමගාමීව හැම තැනම සෝදිසි කිරිම් වගෙම බස් සහ දුම්රිය විශේෂ පරික්ෂාවට ලක් උනා. ඕං ඔය කාලේ මයිනප්පුගෙ පදිංචිය මාලබේ ස්කීම් එකේ, අර අපත නඩෙත් එක්ක තමා ඉතිං. ඔන්න ඔය නඩේ හිටපු එක අපතයෙකුගෙ බත්තරමුල්ලෙ ඥාති නිවසක නැවතිලා අඹන්පොළ දිහාවේ සුපිරි ඉටිකිරිස් කෑල්ලක් උසස් අද්‍යාපනයට අදාල මොකද්දො එකක් කරා. අපේ අපතයා සමග ඒ නිවසට යමින් එමින් සෙමින් සෙමින් මයිනා අර අඹන්පොළ එකට කොක්කක් ගහ ගත්තා. ඊට පස්සෙ සැන්දෑවේ රන්වලා තමයි පාර්ළිමන්ට් පාර දිගෙ, හැන්දෑවේ හයට වගෙ ලලලා..... තමයි ඉතිං.

මේං මෙහෙම මෙහෙම වෙලා දවසක ඒ ඉටිකිරිස් නිවාඩුවකට ගමේ යද්දි අපේ අර අපතයටත් මයිනප්පුටත් ආරාධනා කරා අඹන්පොළ යන්න. මයිනටයි අනිත් එකාටයි විතරක් යන්න බැරි නිසා තවත් අපතයො තුන්දෙනෙකුත් සමග පස් දෙනෙක් අර ඉටිකිරිස්ගෙ ගෙදර ගියා. අඹන්පොළ කිව්වට ඉතිං අඹන්පොළ ඉඳළත් යන්න ඕනේ අබකොළ වැව හරියට. ගෙදරට අබකොළ වැව පේන දුර වැවේ නාලා වැව් මාළු පොඩ්ඩක් එක්ක බත් චුට්ටක් එහෙම කාලා සංග්‍රහ සත්කාර එහෙම විඳලා ගම වටේ ඇවිදින්න ගියා. ඕං ඔහොම ඇවිදගෙන ගිහින් වැව පැත්තෙන් එද්දි අනේ ඉතිං හුරුබුහුටි ඉබි පැට්ටෙක් පාර පනිනව. ඌව දැක්ක පාර මයිනට ඌ ගැන ආදරේ හිතිලා අර ඉටිකිරිස්ගෙ අක්කට කියල ඉබි පැටියව අල්ලවගෙන ආවා. ඊළඟ දවසෙ කොළඹ එද්දි ඉබි පැටියව අරන් එන්න ඉටිකිරිස්ගෙ අක්කා පොඩි මාරි බිස්කට් පෙට්ටියකට ඉබි පැටියව දාලා ඒ පෙට්ටියට ගෝවා කොළ ටිකකුත් දාලා ලස්සනට පැක් කරලා දුන්නා. කට්ටියම අඹන්පොළ ඉඳන් මහවට ඇවිත් මහවෙන් කුරුණෑගළට ට්‍රේන් එකේ ආවා.. ඉබ්බා සහිත පෙට්ටිය වෙන තැනක, අපි වෙන තැනක. වනජීවි එකෙන් ප්‍රශ්ණයක් ආවොත් කියලයි එහෙම කරෙ. කෝච්චියෙ සිංදු කකා විහිළු කර කර කුරුණෑගලින් බහිද්දි අර ඉබ්බා සහිත පෙට්ටිය අමතක උනා. කෝච්චියත් මිනිස්සු බැස්සට පස්සෙ වෙනත් වේදිකාවකට ගාල් වෙන්න ගියා ඊළඟ ගමනට කලින් නිදහසෙ ඉන්න හිතාගෙන.
ඔන්න ඉතිං මයිනට එක සැරේ මතක් උනා ඉබි පෙට්ටිය, ඒ වෙද්දි පැය බාගයක් හො විනාඩි 45ක් විතර ගෙවිලා ඉවරයි. "අඩා මගෙ ඉබ්බා" කියලා අර කෝච්චිය හොයාගෙන යන්න හැදුව විතරයි මෙන්න බොලේ ආමි එකෙන් දුවගෙන එනව. "කරුණාකර සියළු දෙනාම මෙම ස්ථානයෙන් ඉවත් වෙන්න" කියලා පොළිසියෙන් සද්දෙකුත් දැම්මා. ඒ අවට පහත හිටපු එවුනුත් ඈතට උනා, කමාන්ඩො සෙබළ පිරිසකුත් කඩාන පැන්නා එකම ගාල ගෝට්ටියයි. බෝම්බයක් තියෙනව කියලා දැං අර මයිනල ආපු කෝච්චියට සෙබළ පිරිසක් ඇතුල් උනා. මයිනයි අනිත් ඈයොයි ඈතට වෙලා බලං ඉන්දැද්දි අර සෙබළ පිරිස හිනා වේවි ඉබ්බා සහිත පෙට්ටිය අරන් එනව. අනේ ඉතිං මයිනා දුක්මුසු මුහුනින් බලා සිටිය මයිනගෙ අනාගත සුරතළා හමුදාවෙන් අරන් යන දිහා. ඉබ්බා ඉල්ලන්න ගිහිල්ලා කණ පළා ගන්නයෑ මොකෝ....

ඕං ඔහොමයි ඉබි කතාව ඉවර උනේ. ආ.... මතක තියා ගනිල්ලා ලංකාවේ සියළුම මස් වර්ග වල නම් කිය වෙන්නෙ පිරිමි සතාගෙ නමින් ඒත් ගෑණු සතාගෙ නමින් කියැවෙන එකම මස තමා ඉබි මස.....

"දවසක්දා තඩි ඉබ්බා එකෙක් පාර ක්‍රොස් කරා.....
ඒක දැකපු කොල්ලො.. රැළක් ඉබ්බා මස් කරා...
වනජීවි එක ඒවි කියලා කටුත් අස්කරා......
පාප කරුමේ... විබාග කොරනා... දවස ඇවිල්ලා..."
එහෙම කියන්නෙ දීපාල් සිල්වා
එන්නං ඈ.....
___මයිනා___

No comments:

Post a Comment