Wednesday 19 February 2020

මයිනාගෙ කතා.... 71 ...නාග මාණික්‍යය...

මයිනාගෙ කතා.... 71 ...නාග මාණික්‍යය...

බොලා නාග මාණික්‍ය දැකලා තියෙනවද?
                                                               නැතුව ඇතිනෙ ..මමත් දැකලා නෑ බං. හැබැයි චූඩා මාණික්‍යය නම් දැකලා තියෙනව අර චෛත්‍යය උඩ තියෙන්නෙ. හරි දැං ඒක ඇතෑරලා දාපල්ලාකො. බොලාට මතක ඇති ඉස්සර එක කාලයක් ආවා අනුරාධපුරේ ගල්ලෙනකින් නයෙක් මතු වෙලා හාමුදුරුනමකට මොනවද කියලා අතුරුදහන් වෙලා ගියාලු කියලා. ඒ විස්තරෙ හෑන්ඩ් බිල් එකක් විදියට මුද්‍රණය කරලා බෙදපු අයට වාසනාව ලැබුනලු. ඒ කොලේ ඉරලා විසි කරපු ඈයොන්ට කළු නයෙක් දෂ්ඨ කරලා මලාලු. ඒ කොලේ හුලං විස්කොතු ඔතාන ගියපු එකෙක් ලොරියකට යට වෙලා මලාලු. ඔන්න ඔහොම කතා ගොඩයි ඉතිං...
                                                                      අපේ හිටපු කණ්ඩායමේ එවුනුත් දෙපැත්ත බෙදිලා ඔන්න ඉතිං තර්ක කරන්න ගත්තා. ඒ වෙද්දිත් එකෙක් අතින්ම ලියලා කොල බෙදන්න පටං අරගෙනත් ඉවරයි. කෝකටත් ගොනා වෙච්ච තඩියා ඉතිං..... "අනේ මේවා බොරු හු##" කියලා අර කොලයක් ඉරලා ඉරලා වීසි කරලා දැම්මා. දැන් ඉතිං බය වෙච්ච එවුං තඩියට නයා ගහලා මැරෙනකම් බලං හිටියා... කැලේ ගියත් ගඟෙ ගියත් ගහකට නැග්ගත් කට්ටියම හෙනම අවධානෙන් ඇයි දැං නයා ආවොත් එහෙම තඩියා හබක් නෙව.

                                                                     ඕං එක දවසක ඉතිං කට්ටියම ගඟ අයිනේ ගලක් උඩ කයියකට සෙට් වෙලා. මේ ලෝකේ අමතක වෙලා ඉඳපු වෙලාවක එක සැරේට උඩිං ආපු සර්පයෙක් වැටුනා තඩියගෙ ඇඟ උඩට "හපො නයා කෑවෝ" කියාගෙන කොල ලියපු එකා දුවපි! බය වෙච්ච අනිත් එවුනුත් සීසිකඩ දුවපි! තඩියා බය වෙච්ච පාර ගලෙන් වැටිලා ඔළුව වැදිච්චි දොඹ මුළක! අනේ ඉතිං බලපුවම අපි වගෙම නසරාණි ගල් ඉබ්බෙක් අපි සෙට් එක ඉන්නව දැකලා අහිංසක අහරකුක්කෙක් වලිගෙං අල්ලලා අපේ දිහවට වීසි කරලා. කරුමෙට ඒක වැටුනෙ තඩියගෙ උඩට. අපරාදේ කියන්න බෑ තඩියගෙ ඔළුවේ දොඹ ගෙඩියක් සයිස් එකට ගෙඩියක් ඇවිත් වැටුනු පාරට.

                                                                    නයි කතා බොහොමයක් මැද්දෙන් ඇවිත් කට්ටියම නැවතුනේ නාග මාණික්‍යක් ගැන බොහොම කුතුහලය දනවන කතා රාශියක් අහලා. නයාගෙ මැණික ගන්න අමාරුලු, එහෙම නාග මාණික්‍යයක් ගන්න පුළුවන් සිතු පැතු සම්පත් ලබා ගන්න පුළුවන්ලු. අනේ ඉතිං දැං ගැරඬියෙක් දැක්කත් පස්සෙං එලවනව නයෙක්ද බලන්න. ඒ කාලේ තිබුනු නයි හිටපු සියලුම හින්දි ෆිල්ම් ගෙනත් බැලුවා රෙකෝඩ් බාර් එකෙන්. කොච්චර නයින්ට ආශක්ත උනාද කියනව නම්....... රෑට හීනෙනුත් නයි දැක්කා. සමහර එවුං හීනෙන් නයින්ට බය වෙච්ච පාරට මර ළතෝනි තියාගෙන රෑ මැද නැගිටලත් තිබුනා. සෙට් එකත් එක්කම හොයනවා ගම අවට නයි සම්බන්ධ කතා.

                                                                  ඒක මාමෙක් කිව්වා ඉස්සර නයෙක් හිටියලු වැරැල්ලානේ නෙළුම්විල පන්සල පිටි පස්සෙ තියෙන විශාල බක්මී ගහේ. ඔය නයා සමහර දවසකට රෑ 12ට 1ට විතර බක්මී ගහෙන් බැහැලා රේල් පාරට ඇවිත් මැණික වමාරලා එළියෙන් තියනවලු, ඊට පස්සෙ ඒ මැණිකේ දීප්තියට එන සත්තුන්ව ගිල දමනවලු. පන්සල පිටි පස්සෙ බක්මී ගහ නම් මහ විශාල එකක්, කඳ වටේ මැන්නා එහෙම නං අඩි 8ක් 10ක් විතර ඇති. ඒ වගෙ තනි කෙළින් ගොඩාක් උසට තිබ්බ යම්කිසි ගුප්ත බවක් තිබුණු ගහක්. දැං කට්ටියටම නයා ඉන්නවද මැණික තියෙනවද කියලා සැක හැර දැන ගන්න උවමනාව. අනේ ඉතිං ඒ වෙනුවෙන්ම කට්ටිය සඳ ඇති සඳ නැති රැයවල් කියක් නම් රේල් පාර දිගෙ බඩ ගෑවද. තොටගමුව පැත්තෙ ඉඳන් රේල් පාර දිගෙ වැරල්ලානට යද්දි තියෙනව තල්ගස් කොරටුව කියලා පොට් එකක් මහ දවාලකවත් මනුස්සයෙක් නොයන. අනේ මේ අපත සෙට් එක මහ රෑ ඕක අස්සෙත් රිංගුව නෙව නයා හොයන්න. අනේ ඉතිං නයෙක් තියා ගැරඬියෙක්වත් නෙවෙයි ඒ කිසිම දවසක දැක්කෙ.
                                                            ඕං ඉතිං ඊළඟ වැඩිහිටියා කිව්වා "නා කන්දේ රජ ගල ඇමති ගල තියෙන තැන මහ විශාල නාගයෙක් ඉන්නව. අන්න මැණික තියෙන කුලවන්ත නයි" . ඕං ඕක ඇහුනට පස්සෙ දැං මහ රෑක රජ ගල ඇමති ගල බලන්න යන්නයි කල්පනාව. ඔය රජ ගල ඇමති ගල ගැනත් ජනප්‍රවාද රාශියක් තියෙනව. තොටගමුවෙන් මුහුදට වැටෙන උඩුමුල්ල ගඟෙ කෙළවරක තමයි ඔය ගල තිබුනෙ. ඔතන නිධානයක් තියෙන බවත් කිහිප දෙනෙකුටම නිධානයක් ලැබුනත් යම් යම් හේතු කාරණා නිසා අරං යන්න බැරි උන බවත් කියනව. අනික තමයි සෑම අවුරුදු 7කට සැරයක්ම ඔය ගල් දෙකෙන් එක ගලකට හෙණ වදිනවා. ඒ හෙණ වදින්නෙ ඇමති ගලට කියලයි කියන්නෙ, ඇමති ගලට හෙණ වදින්නෙ රජ ගලට වඩා ඉහලට ලියලන එක නවතින්නලු. හැබැයි ඒ ගල අවට ගඟත් ටිකක් වෙනස් සහ හඳ පායපු හැන්දෑවට හරිම ලස්සන තැනක් වගෙම බොහොම භයානක තැනක්. මොකද කිහිප දෙනෙක්ම ඔතනදි බය උනා සහ මයිනා ඇතුළු අපත නඩේටත් යම් යම් සිද්ධි කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ උනා.




                                                      ඕං ඉතිං එක හැන්දෑවක ලොකු ෆයිබර් ඔරුවක නැගපු මයිනා ඇතුළු අට දෙනෙකුගෙන් යුතු පිරිසක් ගියා රජ ගල ඇමති ගල තියෙන දිහාවට. සාමාන්‍යයෙන් ගඟේ කිලෝමිටර් 3ක 4කට වඩා දුරක් යන්න ඕනේ ඔතනට. ටෝච් 2ක් එහෙම අරං ගියේ නයා හිටියොත් මැණික උස්සං එන්න.

                                                                             ඔය ගල් තියෙන හරියෙ ගඟ පළලින් වැඩියි ඒක හිංදා වෙන්න ඇති ඒ හරියට කිව්වෙ "මහගඟ" කියලා. ඒ ගඟ පළල වැඩි නිසා හමන සුළඟත් ටිකක් සැරයි ඒ හරියෙ වතුරේ රළ පහරත් සැරයි. ඔය ගල් තියෙන කිට්ටුවකට රෑකට තියා දවාලකටවත් යන්න අමාරුයි ඒ හරියෙ තැන් තැන්වල වතුරෙන් උඩට මතු වෙච්ච ගල් තියෙනව. ඔය ගල් කිට්ටුව පාතට ආවේ නැති උනාට ගඟෙ සමහර තැන්වල ඒ පැතිවල මිනිස්සු මාළු අල්ලනව ඔරු වලින් ඇවිත්. වෙළාවත් රෑ 12ට විතර කිට්ටුයි," ඔහේ ඇති නයෙක් නෑ බොලව් යම දැං යන්න කියලා" කට්ටියම නැවත පිටත් උනා. ඔරුව ඉවුරට කිට්ටු කරගෙන කට්ටියම හෙමින් හෙමින ඉස්සරහට එනවා.. එහෙම ආවේ රෑට දාන කකුළු අතංගුවක්, කොරළි පැහැක් සෙට් උනොත් ඒකත් උස්සගෙන එන්න ඕන නිසා.ඔහොම එද්දි එක කඩොල් ගස් පේළියක කඩොල් ගස් මැද්දේ ටෝච් එළියක් වදිනවා. කට්ටියම සද්දෙ වහලා ඒ හරියට කිට්ටු වෙද්දි දෙන්නෙක් පොඩි ඔරුවකින් කකුළුවො අල්ලනව. කටයි තඩියයි ටොච් දෙක මුනේ උඩපැත්තට වෙන්න ගහගෙන අට දෙනා එක්කම දුන්නා හූවක් පලාතම දෙදරන්න. "බුදු අම්මො" ගාන සද්දෙ විතරයි ඇහුනේ. කට්ටියම ඔරු රේස් එකක් තියලා වගෙ පැද්දා ඔරුව.


                                                            එදා රෑ මයිනත් තඩියලගෙ ගෙදර නිදියලා, උදේ ගෙදර යද්දි එකෙක් ඇවිත් තාත්තා එක්ක කතාව. තාත්තා තඩියයි මයිනයි දිහා බලලා "බලපං ඊයේ රෑ ගඟෙදි මචා බය වෙලානේ හොල්මනකට"
අනේ ඉතිං දෙන්නම මොකුත් නොදන්න තොත්තබබාලා වගේ "නෑ.. ඒ කොහේදිද?" අහපි. "මහගඟ හරියෙදිලු" වෙච්ච දේ හිතාගත්තෑකි නේ දැං.
"ඊයේ ජෝන් ගුරුන්නාන්සෙගෙ පුතා නූලක් දාලා තොයිලයක් කරන්න වෙයිලු, ඒ වෙලාවේ ඉඳං මචාට බඩ එළිය යනවලු නවතින්නෙ නැතුව" මව්තුමියත් ඉතිරි තොරතුරු ලබා දෙනවා. දැන් අරුට තොයිලයක් කරා කියන්නෙ රුපිල් 20000ක් විතර ඉවර වෙනවා, බොහොම අමාරුවෙන් ගඟේ ගිහිං ජීවත් වෙන අහිංසක එකා ඌ. අනේ ඉතිං ගුටි කන්න හරි කමක් නෑ කියලා හිතාගෙන මව්දේවිය ඈතට වෙනකං ඉඳලා කිව්වා මෙන්න මෙහෙම සීන් එකක් අපි කරා හැබැයි මචාද දන්නෙ නෑ කියලා.

                   "තෝ කාගෙ විදියට හැදිච්ච බල්ලෙක්ද බොල, උස්සලා ගහනවා පොළවේ" කියාගෙ නැගිට්ටා පියරජානෝ, අනේ ඉතිං අතින් අල්ලං ෂේප් කරං මචාලගෙ ගෙවල් දිහාවට ගියා, හුටා මචා ඉන්නව හේබාලා ගිහිං කහ නූලකුත් බෙල්ලෙ දාගෙන. මචාව දැක්කම තඩියට හුචුස් ගාලා හිනා පැන්නා. "අනේ බලන්න මද්දු අයියෙ කොල්ලා බයවෙලා නේ" මචාගෙ අම්මා අඬාගෙන ආපි ඉස්සරහට. මයිනගෙ පියාණෝ ඉතිං මචා ළඟට ගිහින් කිව්වා. "උඹ බොරුවට බං බය වෙලා තියෙන්නෙ මෙන් මුං රෑ හූ තියලා තියෙන්නෙ" කියලා තඩියයි මයිනවයි පෙන්නුවා. රෑ මචා ඔරුවේ ඉඳලා තියෙන්නෙ අනිත් එකා ගඟට බැහැලා කකුළුවො අල්ලලා තියෙන්නෙ. මචා තමයි අපිව දැකලා තියෙන්නෙ අනිත් එකා ලොකු ඔරුවක කට්ටියක් හයියෙන් යනවා ලාවට දැකලා තියෙනව. අනිත් එකාටත් එන්න කියලා මචාගෙ බය ඇරවලා තමයි ඉතිං ගෙදර ආවේ..... තොයිලේ නං නැටුවේ නෑ, මචා බීලා එන වෙලාවක ලාවට හූවක් තිබ්බා නම් එහෙම සරම කරේ දාගෙන මචා පෙන්නන "ගජිඳා වන්නම" නං බලාගන්න පුළුවං හොඬවැල වන වන.

                                                   ඔය මචා කියන පොර මයිනට පට්ටම ආදරෙයි, "මචයියා මාළු නෑ ඕයි අද ගෙදර" කිව්වනං බිළි පිත්ත අරන් ගඟෙ ගිහිල්ලා හරි මාළු අල්ලගෙන ඇවිත් දෙන පොර. බීපු වෙලාවක පාරේ සෙට් උනා කියන්නෙ ඉතිං ඉවරයි තමයි. "බුදු ලොකු මල්ලි" කියලා අල්ලං ඉඹින එක තමා වැඩේ. මචයියා මීට අවරුදු කිහිපයකට කලින් මුහුදේ ගිහින් මැරුණා, එදා මුහුදු යන්න කලිනුත් මචයියා බීලා මයිනව අල්ලන් ආවම මයිනා බොහොම අමාරුවෙන් බේරිලා ගියා. වෙනදට එහෙම මචයියා අහු උනාම මයිනා වදෙන් පොරෙන් එක්කගෙන ඇවිත් කන්න මොනවහරි දීලා ගෙදරම නිදි කරවනවා. ඒත් එදා මයිනටත් එක්කගෙන එන්න හිතුනේ නෑ... සමහරවිට ඒක මචයියගෙ කරුමේ වෙන්නත් ඇති, අදටත් ඒ පසුතැවිම මයිනගෙ හිතේ තියෙනවා සහ මයිනගෙ අම්මා මචයියා මතක්කරපු වෙලාවට කියනවා "එදා මචාව ගෙදර එක්කගෙන ආවා නම් අදත් මචා ජීවත් වෙනව" කියලා.

                                              ජීවිතේ කියන්නෙ එහෙමයි අද මේ කතාව ලියන මටත් හෙට මොනව වෙයිද?සංසාර ගමනේ එක නවාතැන්පොළක් විතරයි මේ ජීවිතේ. එන්නං ඈ.......

@___මයිනා____

1 comment:

  1. Use this diet hack to drop 2 lb of fat in just 8 hours

    Well over 160k men and women are trying a simple and secret "liquid hack" to burn 1-2lbs each and every night in their sleep.

    It's scientific and it works every time.

    Here's how you can do it yourself:

    1) Take a clear glass and fill it up half glass

    2) Now use this weight losing hack

    and become 1-2lbs thinner in the morning!

    ReplyDelete