Saturday, 23 February 2019

මයිනාගෙ කතා.. 32 මළ ගෙදර

මයිනාගෙ කතා..32  මළ ගෙදර...

ගොක් කොළයක් කපන තැනක
බෙර පදයක් ඇහෙන තැනක
සුදු කොඩියක් බඳින තැනක
මයිනා ඇත ඕන තැනක.......




                                                      මයිනා ඇතුළූ අපත රැළ නයිටක් නොගහාපු  මළ ගෙදරක් අහාල ගං හතකවත් නෑ. ළඟම හිතවත් ඥාති නම් මැරැණා කියන ආරංචිය ලැබුනු තැන ඉඳලා තුන්මාසේ දානේ  දක්වා ඒ ගෙදරමයි. ළඟම මිත්‍රයෙකුගෙ නම්  මැරිච්ච දවසෙ ඉඳලා හත් දවසේ දානෙ දෙනකම් එතනමයි. දන්න කියන අඳුරණ එකෙකුගෙ නම් මිනිය ගෙදර තියං ඉන්න දවස් 3ම ඒ ගෙදරමයි. මිත්‍රයෙකුගෙ ඥාතියෙකුගෙ නම් හැන්දෑවක ගිහින් කොපි කෝප්පයක් බීලා මාරියක් කාලා ඉන්න කෑල්ලකට සෙවළ පෙර පෙර ඉඳලා එන එක තමා කරන්නෙ.

                                            මයිනා මළ ගෙදරකට සෙට් උනාම ඉතිං දන්න කියන ගැටව්නුයි ගැටිස්සියොයි මයිනා වටේ තමයි. මොකද එළි වෙනකං නිදිමතක් නැතුව ඉන්න පුළුවන්. ඇම්ඩාගෙ කතා ඇතුළු රස කතා, දෙපැත්ත කැපෙන කතා, කුණුහරැප කතා ඇතුළු තවත් දේ. කැරමක්,  ඕමියක් වගෙම නිදි කිරා වැටෙන එවුන්ගෙනුත් ආතල් එකක් අරන් වටේ පිටේ ඉන්න ඈයො සිනා සයුරේ ගිල්ලවන්න මයිනට  තිබ්බෙ සුපිරි හැකියාවක්.

                                                      ඕං ඔහොම ඉඳලා එක දවසක දන්න මිත්‍රයෙකුගෙ ආච්චි මැරිලා නයිටකට සෙට් වෙන්න උනා. අරැගෙ අච්චිගෙ මළගම තිබ්බෙ උගෙ බාප්පගෙ ගෙදර, බාප්පා ජීවත් උනේ වෙන ගමක. මළ ගෙදරට යන්න කලින් මිත්‍රයගෙ අවවාදය "බාප්පා වහ ඇවිළෙන සුළුයි ප්‍රවේශමෙන් හැසිරියල්ලා". එදින සන්ධ්‍යවේ 7 විතර වෙද්දි මළ ගෙදරට සෙට් උනා. මිත්‍රයගෙ නංගි සහ අර බාප්පගෙ දුවත්  මයිනා ඇතුළු නඩේ දැකපු හැටියෙම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් මයිනලට ගරැ සැළකිළි කෝටියයි.

                                    මුළින්ම අතිං අල්ලං එක්කං ගිහිං බයියං කැව්වා, ඊට පස්සෙ කුස්සිය පැත්තෙ තේ කෝපි කෝස් එක යන හරියෙන් වාඩි කරවං එක එක කතා. ඉස්සරහ පැත්තෙ මයිනත් එක්ක අපු අනිත් අපත නඩේ කැරම් බෝඩ් එකක් දෙස කෙළ හල හල බලං ඉන්නවා. වෙලාව රෑ 11ට විතර කිට්ටුයි කැරම් බෝඩ් එකකිං වීසි වෙච්ච තඩියා එකෙක් එක්ක අඳුරැ මුල්ලක කතාව. අර මළ ගෙදර බාප්පගෙ දූ කිව්වා

"ආං ඔයාලගෙ යාළුවා අර පිස්සු කොල්ලා එක්ක ලොකු කතාවක" කියලා.

"පිස්සු මොනවා වෙලාද"

"ඒ ළමයා මන්ද බුද්දික වගෙ ළමයෙක් හරි මෝඩයි අනේ"

"ඇත්තද" කියලා මයිනයි ඉංදික කියලා එකෙකුයි අර මෝඩ කොල්ලා ළඟට කිට්ටු කලා. තඩියා අයෙමත් කැරම් බෝඩ් එකකට යට උනා.

මයිනා-: ඒයි මල්ලි උඹට අර තඩි එකා මොනවද කිව්වෙ

මන්ද බුද්ධික -: ඒවා මේවා කතා කරා එයාලගෙ ගෙදර එන්න කිව්වා.

මයිනා -: උඹ දන්නවද ඔය තඩියා හිරේ ඉඳලා ආවේ.

ම. බුද්ධික -: ඇයි ඒ...

ඉංදිකයා -: පොඩි කොල්ලෙක් දූෂණය කරලා, ඒ ළමයගෙ පුප පැළිලා.

ම. බුද්ධික -: හපෝ එයා එහෙම එක්කෙනෙක්ද

ඉංදික -: නැත්තං පරිසමින් හිටපං හරිද රෑට තෝ උස්සං ගිහින් පුප පළයි

ම.බුද්ධික -: ඔයාල බොරැ කියනව

මයිනා :- අපි බොරැ නං කියන්නෙ ගිහින් අහපං සංජිවයියලගෙ නංගිගෙන්

මන්ද බුද්ධික ගිහින් බාප්පගෙ දූගෙන් ඇහුව්වා.

"අක්කෙ අර මහාත එක්කෙනා පිරිමි ළමයි දූෂණය කරනවද? හිරේ ඉඳලද ආවේ"

මයිනා ඉතිං අතින් සිග්නල් එකක් දුන්නා.
අරකිත් ගජබින්නාලංකාරය අපූරැවට ආලවට්ටං දාලා දෙසා බෑවා. මන්ද බුද්ධික ඉස්සරහ පැත්තටවත් යන්නැතුව අර කෙල්ලො තේ හදන පැත්තට වෙලා ඉන්නවා. රෑ එකට විතර මන්ද බුද්ධික ඇළුමිනියම් පුටු පේළියක් දිගට තියලා ඒක උඩ නිදි. තඩියත් රෑ 2ට විතර කැරම් බෝඩ් බූරෑ කුට්ටං වලට ටටා බායි කියලා කුස්සි පාටියට  සෙට් උනා. මයිනා ඉතිං තඩියට විස්තරේ කිව්වා.

"අපි අරැව බය කරා අරැව ටිකක් බය වද්දපං" කියලා තඩියට කිව්වා.

තඩියා ඉතිං අරැ නිදාගෙන ඉන්න තැනට ගියා. තේ හදන තැන මැරිච්ච උන්දැගෙ ළමයින්ගෙ ළමයිනුයි මැරැණු උන්දැගෙ බාලම දූයි ඒ පවුලේ ඥාති !ෙකල්ලො කිහිප  දෙනෙකුයි තව අයත් එක්ක දොළහක් නැත්තං පහළොවක් විතර කට්ටිය. අර මන්ද බුද්ධිකයව බය කරපු සීන් එක මුන් ඔක්කොම දන්නව. තඩියා අරෑ නිදා ගන්න තැනම පුටුවකින් වාඩි වෙලා. හෙමිහිට අරැ ඇඳං හිටපු කොට කළිසමෙ කකුළ අස්සෙන් අත දාලා. මන්ද බුද්ධික ඇහැරිලා තඩියා දිහා බලලා, තඩියා අරැට කියලා "මල්ලි පුප පොඩ්ඩක් දෙනවකෝ" කියලා.

ආයේ මොනවද මන්ද බුද්ධික බය වෙච්ච පාරට දුන්නා සද්දයක්.

"මෙන්න මට පුපේ අරින්න හදනවෝ"     කියලා. පුටුත් පෙරලං තඩියවත් තල්ලු කරං මන්ද බුද්ධික දුවපි. අර තේ හදන තැන හිටපු නෑම්බියොයි මයිනයි ඉංදිකයයි තඩියයි දැම්මා හිනාවක් මළ ගෙදරම සිනහා සයුරේ  ගිල්වලා. මළ ගෙදර තිබුනු ගෙදර බාප්පට පැන්නා මළ හොඳම එකෙන්. දුන්නා කොස්සක් ගෙනත් උන්දැගෙ දුවටයි නංගිටයි  කොස්ස කැඩෙනකං. මයිනයි තඩියයි ඉංදිකයයි සුං ගාලා මාරැ. නැත්තං අරැ උදැල්ලක් ගෙනත් අපි තුන් දෙනාව වළ දානවා ෂුවර් එකටම. මාස ගානක් යනකං අපිට හිනා වෙච්ච වැඩේට, අර බාප්පගෙ දූට අපිව කොතන දැක්කත් හුචුස් ගාලා හිනා පනීනව. අන්තිමෙ අපේ මිත්‍රයා බාප්පා එක්ක වලිය දාලා තරහා උනා අපි හින්දා, මළ ගෙදරට ආපු යාළුවො එළව ගත්තා කියලා.

මයිනාගෙ කතා.... 31 චිමිනිය

මයිනාගෙ කතා.... 31 ... චිමිනිය...

මයිනගෙ ප්‍රතම ප්‍රේමයට බාධක එන්න එන්නම වැඩි වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම මයිනගෙ මව් දේවිය තදින්ම විරැද්ධ වීම නිසා ප්‍රශ්ණ පිට ප්‍රශ්ණ ඉතිං. කුක්කු ඩෝල්ගෙ අප්පත් හෙණහුරා වගෙ හරහාටම හිටපු නිසා ලව් එක රෝමියෙ ජුලියට් සිද්ධියට සමාන වෙමින් පැවතුනා. මයිනගෙ මල්ලි අපතයත් දුෂ්ඨයගෙ චරිතයටම පණ පොවපු නිසා වැඩේ අවුලෙන් අවුළටම ගියා.

                                              වෙනදට හික්කඩුවෙ ස්ටේෂන් එක කොනක හරි පොළ පාරෙ මුල්ලක හරි ආල කතා ප්‍රේමකතා කරපු එකත් නවත්තන්න උනා. පොළ පාරේ ප්‍රේම කතාවක ඉන්න මොහොතක මයිනගෙ මල්ලි දුෂ්ඨයා දැක මව්තුමියට කේළම දෙසා බෑම ඊට ආසන්නතම හේතුව උනා. ඒ පැත්තෙන් කුක්කු ඩෝල්ට දවසට වේලක් කොස්සකින්, ඉදළකින්, පියාණන්ගෙ මුෂ්ටි ප්‍රහාරයකින් සැළකුම් ලැබේනව. මයිනට කියලත් වෙනසක් නෑ ඉතිං පියතුමා නැති වෙලාවක හදිස්සි ප්‍රහාරයක් ඇතිවීම වලක්වන්න බෑ. පොල්කටු හැන්දකින්, කුරැඳු දර පොල්ලකින්,  කොස්සකින්, දමා ගැසිය හැකි කුමන හො භාන්ඩයකින් ඒ ප්‍රහාරය ලැබිය හැක. මයිනත් ඉතිං කොටි පාළන කලාපෙකට ඇතුල් වෙච්ච කමාන්ඩෝ සෙබලෙක් වගෙ පුල් ඇලට් එකේ ඉන්නව. මයිනත් මව්ගෙ දයා අනුකම්පාව ලබා ගන්න නොකර කෙහෙම්මලක් නෑ. දර පළනවා, වතුර අදිනව, පොල් කඩනව අනේද කියන්නෙ මව් නොවෙයි අනුකම්පාවක් පෑවේ. සියල්ල ඉවසා දරා ගත්තත්    "තෝ බාල එකාගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම් වටින්නෑ"     අන්න ඒ වැකිය නම් දිරවන්නෙම නැත. අන්න ඒ වෙලාවට තමයි අරැට වෙඩි තියන්න හිතෙන්නෙ.

                                 ඒ මදිවට වටේ පිටේ හිටපු නෑයෝ උං ඊට හපං, ඇවිලෙන ගින්නට පැට්‍රල් ඉහ ඉහ උනුත් රංජනි අක්කා ෆෝම් කර කර වෙනම ආතල් එකක් ගත්තා. ඒ මදිවට කුක්කු ඩෝල් ගෙ ගෙදරට පේන දුර රේල් පාරේ ගියත් ඒ ගෙදර උන් ඒකිව මරන් කන්න හදන නිසා රේල් පාරෙ ගමන් කිරීමත් නවත්තලා දැම්මා.   රෑ තිස්සෙ ගඟෙ පැනපු සීන් එකෙන් පස්සෙ ඒකිගෙ අම්මත් පාඩම් කරලා ඉවර වෙනකං ඒකි ළඟට වෙලා ඉන්න පටන් ගත්තා. හැම පැත්තෙම තහාංචි වැඩිවෙලා මුරකාවල් තර වෙලා ලව් එක පුල් අබ්ලික් උනා. හැබැයි ඉතිං කුක්කු ඩෝල්ගෙ ලොකු මල්ලි මයිනට මනාපයි. මූනට මූන මයිනා එක්ක කතා නොකලට ඌ ඉතිං අක්කට මයිනා දැක්කම එහෙම ගිහින් කියනව. එතකොට ඌ හිටියෙ 7 වසරේ 8 වසරෙ විතර කොල්ලො වළිය දැම්මාම එහෙමත් මයිනගෙ නම විකුණලා ඌ බේරෙන සීන් එකකුත් තිබුනා. හැබැයි ඌ හොඳ එකා මයිනා එක්ක අවුළක් නෑ වෙන මස්සිනා පැටව් වගෙ.

                                                    රොමියො ජුළියට්ලට වගෙම තමා මයිනලගෙ ලව් එකටත් තහාංචි වැටුනු නිසා හමු විය නොහැක තමා. ඕං ඉතිං එහෙම මෙහෙම වෙලා කුක්කු ඩෝල්ගෙ යාළුවෙකුගෙ ගෙදර එවුන් සියල්ලෝම බැහැරකට යන දවසක යාළුවගෙ තනියට කුක්කු ඩෝල්ට එන්න කියලා. සෙනසුරාදා දවසක් යාළුවට තනියම ඉන්න බැරිකමට වඩා කුක්කු ඩෝල්ට සහ මයිනට හමු වීමට තමා ඒ යාළුවා අවස්තාව හදලා දුන්නෙ. අනේ ඉතිං මයිනා දවල් 10.30ට විතර අර යාළුවගෙ ගෙදරට ගියා තඩියා එක්ක. තඩියට පැය දෙක තුනකින් විතර වරෙං කියලා මයිනා කුක්කු ඩෝල් එක්ක ප්‍රේම ජලාශේ කිමිදෙන්න පටන් ගත්තා.

                                         ආළය අන්ධයි කිව්වට මයිනා හිටියෙ ෆුල් ඇළට් එකේ. අර ගෙදර කාඹරෙ ජනෙල් කූරැ අතරෙන් පේනව කුක්කු ඩෝල්ගෙ අම්මයි නංගියි ලොකු මල්ලියි එනව. මයිනා පැන්නා සාලේට එතනින් කුස්සියට, හුටා කුස්සියෙ දොර ලොක් කරලා යතුරත් නෑ. ඉස්සරහ පැත්තෙන් නැන්දම්මා ගෙට ගොඩ උනා. කුක්කු ඩෝල්ට බනිනව මයිනා මෙහෙ ආවා කියලා.

"අම්මට පිස්සුද මෙහෙ ඇති මයිනෙක් නෑ"

"කාමරෙක හැංගිලා ඇති ඕකා"

"නැන්දට සැක නං නැන්ද ගේ ඇතුලේ බලන්න ඉවරයි නේ"





කාමර අල්මරි ඇඳන් යට ආදි වශයෙන් සොදිසි කරලා නැන්දා ඊළඟට එන්නෙ කුස්සියට. එළියට පනින්න විදියක් නෑ කුස්සයෙ දොර ලොක් කරලා ජනෙල් වලින් යන්න බෑ ග්‍රිල් නිසා. එකම තැනයි හැංගෙන්න තියෙන්නෙ ලිපට උඩින් තියෙන චිමිණිය. බය සහ ත්‍රාසය නිසාම මයිනා රිංගුවා චිමිනිය අස්සට දෙපැත්තට අත් දෙකයි කකුල් දෙකයි තිය තිය. නැන්දම්මා බෝම්බෙ කුස්සියට ඇවිත් බැළුවා දොරත් ලොක් කරලා. සෝදිසි මෙහෙයුමෙන් පස්සෙ මව්තුමිය යන්න හදනව අර ගෙදර කෙල්ල

"නැන්දෙ ඉන්න තේ එකක් හදනකං" කියපි.         හුටා අර චිමිනිය ඇතුලේ මයිනා ඉන්දැද්දි අරකි තේ හදන්න.   දෙයියො මයිනා දිහා බලලා කුක්කු ඩෝල් අම්මට වළිය ඇද්දා.

"දැං පොලීසියෙන් පැනලා වගෙ හෙව්වෙ මෙතන, හම්බ උනාද මයිනෙක්"

"මෙයාලට දෙන්න ඕන තේ එකක් නෑ චනදිමා, කොයි වෙලවෙ හරි මම බොනව වහා ටිකක්"          
                   කුක්කු ඩෝල්ගෙ සද්දෙට අම්මා  පසුබෑමට ලක් වෙලා යන්න ගියා හැබැයි මස්සිනා පැටියා නවත්තලා ගියා. අනේ ඉතිං මයිනා චිමිනිය අසසේ ඉන්දැද්දි අරැං දෙන්නා කතා වෙනවා මයිනා කෝ කියලා.

"කුස්සියෙ දොරත් වහාලා යතුර මේෂෙ උඩ එළියට යන්න විදියකුත් නෑ"

"ඒක තමා මාර වැඩේ කොහෙද මෙයා ගියේ"

"මං මෙහේ ඕයි"        කියාගෙන මයිනා චිමිනියෙන් එළියට ආවා. අරැන් දෙන්නයි මස්සිනා පැටියයි ඒකාට එකා හිනා වෙනවා. අනේ ඉතිං මයිනා අර චිමිණියෙ තිබුනු දුං කළු වලින් නෑවිලා අළව් යකා සේ විරාජමාණ වෙලා. ටික වෙලාවකට පස්සෙ තඩියා ආවා එක්කගෙන යන්න. තඩියගෙ සයිකලෙන් ඇවිත් පර්ස් එකයි කලිසමයි ටී සර්ට් එකයි ඌට දීලා ගඟෙන් පැනලා තඩියලාගෙ ගෙදරට පීනගෙන ගියා. හැබැයි ඉතිං මස්සිනා පැටියා මයිනට අළුත් නමක් දීලා තිබුනා ලිප් බොක්කා කියලා. ඕං ඔහොමයි මයිනා චිමිනි අස්සෙ රිංගුවේ.

Sunday, 27 January 2019

මයිනාගෙ කතා... 30 සමාජවදේ..

මයිනාගෙ කතා..30.. සමාජවදේ..

එක එක වාද තියෙනව නෙ, ලංකාවෙ වාද අතර ප්‍රසිද්දම වාදය තමයි පානදුරා වාදය. සුද්දගෙ රෙද්දෙ රෙවෙන්න උත්තර දීපු සුපිරි වාදයක් වෙච්ච පානදුරා වාදයෙන් පස්සෙ තමයි පිට රටවල ඈයොත් මේ බුදු දහාම ගැන වැඩි පුර සොයලා තියෙන්නෙ. ඕල්කට් තුමා එහෙම ආවා කියන්නෙ ලංකාවට ඊට පස්සෙ නොවෑ.

                                  ඇත්තම කියනව නම් ලංකාවේ හිටපු සහ ඉන්න සුපිරිම මරි මෝඩ අපතයෝ තමයි සමාජවාදේ වැළඳුනු සෙට් එක. සමහරවිට උං වළිගෙ පාගං නැත්තං සමාජවාදය කියලා මුංට වෙන වෛරස් එකක් ලැබිලා. සාපේක්ෂතාවාදය, පරිණාමවාදය.... වගෙ තව තව වාද අස්සෙ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පාර්ළිමේන්තුවට වෙලා වාද විවාද  කරන අයියලා සෙට් එකකුත් ඉන්නව නොවෑ. වාද විවාද සාද මැද්දෙ සමහාර එවුන් ගෙවන ලයිෆ් එකත් පට්ට.

                                              මං කියන එකා රට කාලා කාලා බැරිම තැන පිට රටවල් කන්න කියලා ගුවන් ගත උනානේ. ආං එහෙම ගුවන් ගත වෙලා ඉඳලා ලංකාවට ආපුවහාම සමහර එවුන්ට මාර අවුළ් නේ. ආං එහෙම අමාරැවක් තිබුනු එකෙක් අපේ අම්මගෙ කණට දැම්මා "පුතාට  මනමාළියක් හොයමු" කියන තේමා පාඨය. ඕං ඉතිං අම්මට වඩා අනිත් එවුන්ගෙ අමාරැවට දැං එනවා එක එක විස්තර. මනමාළිට තිබිය යුතු සුදුසුකම් මයිනා පාර්ශවයෙන් ඉදිරිපත් කලා. කොණ්ඩය දිග, වැඩියෙ මහාත නැති, පැහැපත්, රෑමත්, උගත්......

ඕහොම ලැව් ගින්නක් පැතිරිලා ගිහින් එක එක ඒවා ගැන ආරංචි අරන් එක එක එවුන් එනව. ඒ අතරිනුත් පවුළේ හිතවතෙක් වෙච්ච එකෙක් මේ සිද්ධිය බොහෝම බැරෑරැම්ව කරටම අරගෙන වැඩේට බැස්සා. ඕං ඉතිං මූ එක එක විස්තර අරන් එන අතරෙ මූත් දන්න හිතවත් කෙනෙකුගෙ විස්තර සමග වර්ණනාව වැඩි උනා. අවසාන ප්‍රථිඵළය උනේ මනමාළිය බලන්න යායුතු බව. හැබැයි යන්නෙ හිතවතා මයිනගෙ අපත සංගමේ යාවජීව සමාජික තඩියා සහ මයිනගෙ බාප්පගෙ පුතෙක් වෙච්ච මයිනා සේම නස්කූනියෙක්.


එක සෙනසුරාදාවක හතර දෙනත් එක්ක ගියා අහම්බෙන් ආවා වගෙ මනමාළිගෙ ගෙදරට. ඕං ඉතිං ගෙට ගොඩ උනු හැටියෙ මයිනගෙ දෙනතට දර්ශණය වෙනවා ලෙනින් ඉන්නව එක බිත්තියක විරවගෙන. පළවෙනි නිගමනයට ආවා මේ ගෙදර මූළිකයා සමාජවාදියෙක් වෙන්න ඕනේ. සාලේ තිබුනු පුටුවක වාඩි උනා ස්ටූල් එක උඩ මැක්සිමම් ගෝර්කිගෙ පොත් පෙළක් සහ චේ ගූවේරා රැව සහිත පොතක්. දෙවනි නිගමනයට ආවා  මේ මාමා සමග කතා කරන්න වෙන්නෙ පරිසමින්.

                       ඕං ඉතිං මාමා ආවා කතා කරගෙන යනකොට තේරැණා අනේ මේ මාමා හොඳ මාමෙක් වග. ඉන්න රට තොට රැකියාවේ තොරතුරැ සහ බුද්ධ දර්මය ගැන කතා කලා. දේශපාළන දැක්මත් වමට බර සරළ දැක්මක්. මාමා සතුව මොළේ උණ නැති බව ස්තීර උනා. ඕං ටිකකින් අර ෆොටෝ එකෙ හිටපු මනමාළිගෙ රැව ඇති එකිත් ආවා. ගේ ඇතුලෙන් එළියට බැහැලා සිහිළ් සුළං රැල්ලෙ සිසිළස විඳින ගමං කතාවට මාතෘකා හොයනව.

"කවුද මේ මල් වවලා තියෙන්නෙ"

"අපේ අම්මා"

"අර එළවළු පාත්ති"

"තාත්තා"

"මොනවද ඔයා කරන්නෙ"

"මොනවත් නෑ ඩිග්‍රිය කරා, සමාජසේවා වැඩ පොදු කටයුතු තමයි"

"ඒක හොඳ වැඩක් පොදු කටයුතු වලට උදව් වීම"

"මේ රටේ පවතින ක්‍රමය වෙනස් කරන්න, ශ්‍රම  සූරා කෑම නවත්තන්න, ධනවාදින් අතරට විතරක් ඇති පහසුකම් පොදු මහජනයාට ලබා දෙන්න අපි කැප වෙනව"

"ඇත්තට"

"ඕව් විජේවීර සහොදරයා අරගළය තුලින් බළාපොරොත්තු උනේ ඒක, ජීවිත පරිත්‍යාගයෙන් අපේ සහොදරවරැ කැප උනේ  සමානාත්මතාවය වෙනුවෙන්" "මේ රට ඇතුලේ ඉන්න ධනවාදීන් පන්නලා බළයට පත් වීම සහා මේ රට සමෘදිමත් දේශයක් කිරිමයි අපේ බළාපොරෙත්තුව. දිවා රෑ කැප වෙමින් අපි උත්සහා කරන්නෙ ඒකට"


වෙන්න මනමාළිගෙ හඬ උස් වෙලා, ගිරිය පිප්පිලා, නහාර ඉළිප්පිලා එකම එක මළම මළ විකාරයක් උනා. ඒ වෙද්දි වෙන්න මනමාළිගෙ තාත්තා ඔළුවෙ අත තියං ඉන්නව. අම්මා කුස්සියට වෙලා දවල් කෑම හදනව. ජෙ.වි.පි. කියන අකුරැත් ඇලජික් වෙච්ච මගෙ ප්‍රතිචාර දන්න බාප්පාගෙ පුතා සහ මිත්‍රය තොළ හපං හිනා වෙනව.

"ඈ කෙල්ලෙ අර මල් ගස් වැව්වෙ අම්මා, එළවළු පාත්ති හැදුවෙ තාත්තා"

"අපි ආපු වෙලාවේ අපිට තේ හදලා දීලා සංග්‍රහ කරේ අම්මා, යකෝ ඉන්න ගෙදර දොරට පළක් නැති තොපි තමා රට හදන්න යන්නෙ"

"අර අම්මා නැහි ගෙන උයනව කුස්සියට ගිහින් ඒ අම්මට පොල් ටිකක් ගාලා දෙන්න බැරි තොපි තමා රට හදන්න යන්නෙ"

"හදලා වඩලා අධ්‍යාපනේ දීලා ලෙඩට දුකට බලලා, අවුරැදු විසි ගාණක් වෙනකං තමුං වෙනුවෙන් යුතුකම් ඉටු කරපු දෙමව්පියන්ට තමුං හම්බ කරලා තමුංගෙ මහාන්සියෙන් රෙදි කෑල්ලක් දෙන්න බැරි තොපි තමයි මේ රට සුඛිත මුදිත කරන්න හදන්නෙ"

"රට හදන්න කලින් තොපි හැදියව්. ධනවාදින්ට ශාප කරන්න තොපිට උගන්නපු තොපේ නායකයා (එවකට ජෙ.වි.පෙ. නයකයා  සෝමවංශ) ඉන්නෙත් එංගලන්තෙ"

"රෝහණ විජේවිර කියන පිස්සා පස්සෙන් ගිහින් මේ රටට නැති උනු තරැණ ජීවිත, පොදු දේපළ, ඒ මිලේඡ් තුප්පහියො තමා අද රට හදන්න කතා කරන්නෙ"

"රට හදන්න කලින් තොපි හැදියව් ඊට පස්සෙ රට නිකම්ම හැදෙයි"



දේශනය ඉවර කරන්න හම්බ උනේ අරකිගෙ අම්මා අත්පොලසන් දීපි.

"ඔය ළමයගෙ කටට මසුරං දාන්න ඕනේ" කියලා.

"හැබැයි වරද ඔයාලගෙ මොලේ කොලොප්පං වෙන පොතුයි මෝඩ දේශපාළනේටයි ගියාම ගෙදරින් කිසිම දෙයක් දෙන්න එප. ඔය පක්සෙන්ම ඉල්ලං කාලා ඇඳලා ඉඳපං කියලා ගෙදරින් පන්නන්න"

අර අම්මටයි තාත්ටයි කට උත්තර නැත අපි එතන රැඳෙන්නෙ නැතුව මාරැ උනා.
හැබැයි මයිනගෙ බාප්පගෙ පුතණ්ඩියා එන ගමන් අර කෙල්ලගෙ තාත්තට කිව්වා.

"මාමෙ විමල් වීරවංශට හරි ටිල්වින් සිල්වට හරි දුව බන්දලා දෙන්න, සමාජවාදෙන්ම වැඩේ ඇදන් යයි." කියලා

හැබැයි අර ලෙනින්ලා, චේ ලා, රැසියානු පොත් සහ පත්‍රිකා සියල්ල ගිණි ගොඩකට වැටි ගිණිබත් උනාලු ඒ ගෙදර තාත්තගෙ අතින්. අම්මගෙ රෙද්දෙ සමාජවාදේ.

මයිනාගෙ කතා...29 ඔට්ටු ඇල්ලීම

මයිනාගෙ කතා...29 ... ඔට්ටු ඇල්ලීම

                                     ඔට්ටු ගැන මොනවද දන්නෙ, කැසිනො සහ වෙනත් විදිවලින් රජයෙ අනුග්‍රහායෙන් ඔට්ටු ඇල්ලුවට ගමේ ගොඩේ ඔට්ටු පොළට ඉතිං දහාසකුත් එකක් තහාංචි. හැම ගමකම වගෙ මීට අවුරැදු 10කට 12කට කලින් ඔට්ටු පොළවල් තිබුනා. බුරැවා ගැහිල්ල, කුකුල් කෙටවිල්ල වගෙ ඒවා තමයි බහුල වශයෙන් තිබුනෙ. 6 - 5 දැමිල්ලත් තිබුනා පොඩි දාදු කැට දෙකක් හොලවලා දාන සීන් එකක් ඒකේ තිබුනේ. එංගලන්තෙ අශ්වයන්ට මෙහෙ ඉඳන් සල්ලි පුදන ක්‍රමේකුත් තියෙනව හරි ඒක වෙනම කතාවක්.

                                       ඊළඟ එක තමා ජැක්පොට් මැෂිම ලංකාව පුරා නගර වල ඒ කාලේ ඔය මැෂිම හයි කරලා තිබුනා. හික්කඩුවෙත් 2කක්ම තිබුනා අතට රැපියල් 10ක් 20ක් ලැබුනා නං මයිනා ගිහින් ජැක්පොට් එකට පුදලා ආපු සොඳුරැ අතීතයක් මයිනට තිබුනා. පයින්ම හික්කඩුවට ගිහින් අතේ තිබුනු කීය හරි මැෂින් එකට දාලා බලං ඉන්නවා ඉතිං ඒකේ තිරේ දිහෑ. දිනුවා නං එහෙම 2කේ කාසි සර සර ගාලා හැලෙන්නෙ. ඒක නැවැත්තුවෙ ප්‍රේමදාස ආණඩුවෙන් නේ, ඒකට හේතු උනාය කියන්නෙ ප්‍රේම් ලොක්කා හැන්දෑකොරේ විසිට් එකක් දාද්දි පාසල් නිළ  ඇඳුමෙන් ළමයෙක් ඉන්නවලු පාර අයිනෙ. රෑ 8ට විතර මේ ළමයා තනියෙං පාර අයිනෙ ඇයි කියලා බැළුවම කොල්ලා බස් එකේ යන්න ගෙදරින් දීපු සල්ලි වලින් ජැක්පොට් ගහාලා. සල්ලි නැතුව ගෙදර යන්න විදියක් නැතුව තමයි ඉඳලා තියෙන්නෙ. ප්‍රේම් ලොක්කා කොල්ලට ගෙදර යන්න. අවශ්‍ය පහසුකම් එහෙම සලසලා දිලා ගනිපු තීරණය තමයි ලංකාව පුරාම ජැක්පොට් මැෂින් තහනම් කිරිම.

                                     ඕං ඉතිං මයිනලාගෙ ගමෙත් කැලෑ මණ්ඩියක මේ වැඩේ ජයටම කෙරැනා. දවසක මයිනා පුටාර් එකේ නිරික්ෂණ චාරිකාවක යෙදි ඉන්න මොහොතක එකෙක් "ලොකු මල්ලි මාව චුට්ටක් ඉස්සරහාට දාපං" කියලා අර කැලෑ මණ්ඩියට ගියා. ආපු එකේ මොකෑ යන්නෙ නිකං කියලා මයිනත් ඉතිං ඔළුව පොඩ්ඩක් දාලා බැළුවා. හම්මා  ඉතිං 1000ට 500ට කූට්ටම කැපෙන්නෙ. වඩි වෙච්ච උං එහෙම කොළ බෙදාගෙන දඟළනවා. වටේ එවුන් එවුන් පිට ඉදං ඔට්ටු අල්ලනව.

"මේ 100 කළු අයියා දිනයි"

"මේ 200 ලාල් දිනය"

"මේ 200ය 100ට දානව සුනිල් දිනයි"

මයිනගෙ බයිසිකලේ ආපු එකත් දැං ඔට්ටු අල්ලන්න සෙට් උනා. ඊළඟ අත කැපෙන්නෙ ආරි මාමා කියලා පොරකට. මයිනා එක්ක ආපු එකා ඔට්ටු අල්ලන්න හදන්නෙ අනිත් එකාට. මයිනගෙ කට තියන් ඉන්න බැරිකමට   අරෑට කිව්වා

"ආරි මාමාට අල්ලපන්"

ආරි මාමා අතේ තිබිච්ච අන්තිම 1000 තමයි දාලා තියෙන්නෙ. ඒ වෙනකොටත් පැරදිලා කුජීත වෙලා හිටපු ආරී බැළුව නරි බැලිල්ලක්. නිකං හරියට පව් අරැගෙ 100 කියන්න වගෙ. කරැමේ ආරීට කැරකිලා කාඩ් පැක් එකේ උරැමේත් ආරිට ආවා. එතැන් පටන් ඉතිං ආරී දුන්නා වටේටම පිටියම සුද්දයි. ආරී සරම කැහැපොට ගහලා දිනපු සල්ලි ඔක්කෝම දාගෙන යමිං ගමං රැපියල් 500කුත් දීලා ගියා මයිනාට.

අර 500යත් අතේ තියන් මයිනා කල්පනා කරා ඉස්කෝලෙ ඇරිලා ඇවිත් බූරැවා ගහන්න යන්න. ඕං ඔය සිතුවිල්ලෙන් ඉන්දැද්දි මයිනා බුරැවා ගහාන්න යන තැනට යන්න හේතු හොයනවා. කරැමේ කියන්නෙ එකෙක් පයිං ගියෙ නෑ එදා බූරැවා ගහාන පැත්තට. මයිනා  හිතං හිටියෙ ට්‍රාන්ස්පෝර්ට් දෙන මුවාවෙන් ඒ පැත්තට යන්න ඒක හරි ගියෙත් නෑ. ඊළඟ  දවසේ ට්‍රාන්ස්පෝර්ට් එකක් සෙට් උනා. පුටාර්  එකේ හැඬල් එකේ ටියුබ් පටියක් දාලා පොත්  දෙකකුත් ඒකෙ හිර කරං පංති ගිහිල්ලා එන ගමන් තමා හිටියෙ. ආයේ මොනාද ඉතිං මයිනා බූරැ පොලේ තමා කෙලින්ම අරැත් දාගෙන, වැඩෙ නැගලා යනව.
මයිනා දැං ඔට්ටුවක් අල්ලන්න එකෙක් හොයනව. වළියක් නැතුව සල්ලි බේර ගන්න පුළුවං එකෙකුත් වෙන්න එපෑ. මොන ඔට්ටුද  එකෙක් කෑ ගැහුව්වා "පොලීසියෙන්" කියලා. හිටපු ඇයෝ කොහෙද නෑ කාල් ලුවිස්ලා, බෝල්ට්ලා මොක්කුද එතන ඉඳලා දුවපු එවුන් එක්ක. අහිංසක මයිනා කෙසේ දුවමිද  බයිසිකලේ දාලා, අසරණ මයිනා එතනම නැවතුනා. එතන එවුං දුවලා පොලිසියෙන් මයිනව අල්ල ගත්තා එකෙක් දුන්නා කණ වහාලා එකක් හත් දින්නත් තරැ සහ ඉතිරි මන්දාකිණියම සැනින් මැවෙන්න.

"තෝ බූරැවා ගැහුව්වා නේද"

බොහොම අහිංසකතාලෙන් පොළිස් නිළධාරියා දෙස බලාපු මයිනා

"අනේ සර් පංති ගිහින් එද්දි ජොංකොලොස් මගෙ බයිසිකලේ උදුරන් ආවා මම ඒක ගිනියන්න ආවේ"

ජොංකොලොස් හොර පොල් කැඩිම, හොරකම් සහ බූරැවා ගැසිම සම්බන්ධව ඒ පලාතේ නම් දරාපු හාදයෙක්. මතකෙට ආවේ  ඌ උගෙ නම කිව්වා.

"කෝ බයිසිකලේ"

"අර තියෙන්නෙ සර්"
පංති පොත් දෙකත් හැඬල් එකේ, පොලිස් පොරක් පොත් දෙකත් අරං බලලා

"හරි යනවා දැං" කියලා එළවලා දැම්මා.

මයිනා ඉතිං පොලිස් කනේ පාරත් කාලා පැයට එකසිය විස්සට පැදගෙන එනව පුටාර්  එක. හුටා මෙන්න බොළං "ජොන්කොලා" ඒ පැත්තට යනව. ජොන්කොලාව දැක්කෙ නෑ වගෙ මයිනා රෑං ගාලා මාරැ. බූරැ පොලේ එකෙක්වත් අල්ල ගන්න බැරැව ආපු පොලීසියට "ජොංකොලා" මාට්ටු. ආයේ මොනවද ඉතිං අරෑට අම්බානයි ටිකයි වෙන්න දීපු පොලීසියෙන් බූරැවා ගැසිමේ සහා සුදූ පොළ පවත්වාගෙන යෑම ඇතුළු සියළු වැරදි දාලා උසාවියට. හැබැයි ඔය අස්සෙ හිටපු එක පොලිස්කාරයෙක් කියලා උඹ ගැන මෙන්න මෙහෙම කොල්ලෙක් විස්තර කිව්වා කියලා. උසාවියෙන් 20000ක දඩයක් කාපු "ජොංකොලා" දැං බයිසිකල්වල  පංති ගිහින් එන හැම කොල්ලටම වලිය දානව. ඕං ඉතිං එක දවසක මයිනා සහ ජොංකොලා මූණට මූණ මුන ගැහුනා. අල්ල ගත්තා මයිනගෙ බයිසිකලේ හැඬල් එකෙන්

"තෝ නේද එදා පොලිසියට මං ගැන කිව්වෙ. ගහානව #ත්තිගෙ පුතාගෙ කණ පොඩි වෙන්න"

"අනේ ඉතිං #@යි තමයි ජොංකොලස් ගහලා බලපං"

"ඇයි තෝ මට මොනව කරන්නද"

"හුකා ඉතිං බොට ගියපු ගම තමයි. ඇඟට අතක් තියලා බලපං"

සද්දෙ වැඩි වෙද්දි ඕං වටේ පිටේ මිනිස්සුත් ලං උනා. පොඩි රත්තයියා කියලා ඉන්නව එයත් ආවා.

"ජොංකොලොස් පලයං පලයං පොඩි එවුන් එක්ක රංඩු නොවි"

"නෑ පොඩි මල්ලි මු උස්සලා ගහන්න ඕනේ පොළවේ, වයසට නෙවෙයි මුගෙ වැඩ"

වටේ පිටේ මිනිස්සු සෙට් උනා මයිනා ඉතිං හෙණ සෝක මූඩ් එකකුත් දාගෙන අහිංසකයා වගෙ ඉන්නවා. "ජොංකොලස්" ඉතිං වීරයා වෙන්න ට්‍රයි එක ඕං ඉතිං මයිනගෙ අපත ගැංසියෙ එවුන් පස් හය දෙනෙක් ආවා. මයිනා ඉතිං එතන හිටි වැඩිහිටි අණට කීකරැ විණිත දරැවෙක් වගෙ යන්න හදද්දි ජොංකොලොස් බයිසිකලේට ගැහුව්වා පයිං. මයිනා ඉතිං අපතයා පොලොවෙ ගැහුව්වා වගෙ තාර පාර මැද්දෙ. මයිනගෙ මළ අසුහාරදාහාට පැන්නා බයිසිකලේ කේබල් ලොක් පාරක් දුන්නා ජොංකොලාට හිතා ගන්න බැරිවෙන්න.  ඉතිරි අපතයො ටිකත් වැටවල් වලින් ගලවපු පොළු පාරවල් සහා කේබල් පාරවල් දෙනවා ජොංකොලාට. වටේ පිටේ එවුන් බේරන්න හදද්දි පොඩි රත්තයියා එකෙකුටවත් බේරන්න දුන්නෙ නෑ.

"පාඩුවෙ යන්න හදපු කොල්ලට යන්න දුන්නෙ නෑ නේ, ගුටි කාපුවාවෙ" කියලා ජොංකොලා සරමත් දාලා ට්‍රන්ක් එක පිටින්ම තමා දිව්වෙ.   ආරංචිය ගෙදරට ගිහිං මයිනා ගෙදර යන්න කලින්. පියරජු පෙරමගට වඩිනව මොකද උනේ බලන්න.

"මොකද උනේ"

"ජොංකොලා මගදි ගහන්න ආවා"

"වරෙං යන්න" කියලා ආවා වලිය උනු තැනට.  තොරතුරැ වලට අනුව ජොංකොලා වැරදියි. ගියා ජොංකොලාගෙ ගෙදරට ජොංකොලාගෙ  තාත්තට කිව්වා

"මාමේ ජොංකොලාට කියපං මේක මෙතනින් ඉවරයි කියලා ආයෙමත් මගෙ කොල්ලට පාරෙදි හුචං පචං දාලා මම නරක මිනිහ කියන්නත් එපා"

"අනේ බං පුතේ ඌ දන්නෙ නැතුව වෙන්න ඇති, ඌ ගෙදර ආපු ගමන් මම එවන්නං"

ඊට පස්සෙ ජොන්කොලා නොවෙයි මා දෙස බැළුවේ. මම නොවෙයි ජොංකොලා දෙස බැළුවේ. පහු කාලෙක ජොංකොලොස් පොලිස් වෙඩි පහාරින් මිය ගියා. අම්බලන්ගොඩ පොලිසියෙ පොලිස් නිළඳාරින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරිම නිසා. එන්නං ඈ.... බූරැවා ගහාන තැනකට සෙට් වෙයල්ලා ඒක මාරයි.

Saturday, 1 December 2018

මයිනාගෙ කතා...28 ග්‍රීස් යකා

මයිනාගෙ කතා....... 28 ....ග්‍රීස් යකා

මහසෝනා, රිරී යකා, ඔඩ්ඩි යකා, මළ යකා, තොට යකා, ගරා යකා ......... ඔන්න ඔහොම යක්ෂ නාමාවලියක් අපි දන්න ඩිරෙක්ටරියෙ තියෙනව. යකා ගැහුව්වා යකා දැක්කා යකාට බය උනා කියන අතරෙ යක්කු කියලා එකෙක් නෑ බං කියන එවුනුත් ඉන්නව. අහම්බෙන් දවසක මයිනා ඇතුළු අපතයො සොහොනක නිදා ගත්තා. හැබැයි වීරකමට නොවෙයි යාළුකමට, සිමෙන්තියෙන් බැඳපු සොහොනක් උඩ මයිනටත් යමරෙට නින්ද ගියා. අනිත් එවුන්ටත් එහෙමයි, උදේ බල්ලෙක් ඇඟ උඩින් දුවපු නිසයි ඇහැරැනේ නැත්තං තාම නිදි බොළව්.

                            සමහාර කාලවලදි ලංකාවේ එක එක යක්කු  පෙරේතයො ගොඩ බහිනව නේ. සමහාර ඈයෝ ජාතික මට්ටමට යනවා සමහර එවුන්  පළාත් නියොජනය කරනව තවත් සමහාර එකාලා ගම් මට්ටමෙන්ම නවතිනව. කාලේන් කාලෙට ආපු යක්කු අතරෙ රිටිගල ජයසේන කියන්නෙ ජාතික මට්ටමේ ප්‍රසිද්ධ යකෙක්. හැබැයි ඒ යකා ගැනත් ප්‍රශ්ණ පත්‍රයක්ම අපි ඉදිරියෙ ඉතිරි වෙලා. දුටු ගැමුණු සේනාවේ නන්දිමිත්‍ර සහ රිටිගල ජයසේන එකම අයෙක්ද? මහසේන හෙවත් මහසෝනා බවට  පත් වූයේ මොවුන්මද? මහසෝනා යනු යක්ෂ කට්ටුවක යම් පොදු තනතුරක්ද? මේවට උත්තර පස්සෙ හොයමු හරිනේ.



                               මේ කියන කාලේ ග්‍රීස් යකා තමයි සුපර් ස්ටාර්  හැබැයි හොරකමේ යන්න හොරැ බාවිතා කරපු එක්තරා උපක්‍රමයක් විදියටත් ග්‍රීස් යකාව හැඳින් උනා. මයිනගෙ ගමෙත් ඔන්න ග්‍රීස් යකා භීතීකාවක් පැතිරැනා. අර ගෙදර හිටියා මේ ගෙදර ජනේලෙන් එබුනා අතනින් එද්දි කැළෑ වැදුනා. මේ කතා අස්සෙ ඔන්න තනියෙං ගෑනු උදවිය ගමන් බිමන් යෑමත් සීමා උනා. ග්‍රීස් යකා අල්ල ගන්න ට්‍රයි කරපු එවුන් කිව්වෙ ඌව අල්ලන්න බෑ ලිස්සනව ඇඟ පුරාම තෙල් ගාගෙන හිටියෙ කියලා.


                                    යන එනං මං නැතුව මහ පොළවටත් මහ බරක් වෙලා ඉස්කෝලේ ඇරිලා ඇවිත් තියෙන දෙයක් ගිළලා ගෙදරින් පනින කාලෙක තමා හිටියෙ. ග්‍රීස් යකා භීතිකාව බොහොම තදට පැතිරිලා යද්දි සමහර එවුන් ගෙවල් වල ඇසිඩ් ගෙනත් තියා ගත්තා.  තවත් ඈයෝ කඩු පිහි පොළු කුරැඳු කපන කැති සූදානම් කරා. රෑට ග්‍රීස් යක් බලාපොරොත්තුවෙන් හිටි නිසාම ඌ නොවෙයි රෑට ගෙවල් පැත්ත පළාතක ආවේ. හැබැයි පොදු නාන ළිං ළඟ දවල් දවසේ ග්‍රීස්  යකා හක්කලං කරන බවත් නාන නෝනලා බල බල කෙට්ටු වෙනවා කියලත් ආරංචි ආවා.
පොදු ළිං අතරිනුත් එක ළිඳක් තිබ්බා එක පැත්තක අඩි 30ක විතර කන්ද, කන්දත් එක්ක දිගටම අක්කර ගානක කැලෑව. ඔන්න  ඔය කියන ළිඳ ළඟ ග්‍රීස් යකා අත වන වන හිටියා කියලා තමා අරංචි වැඩි පුරම ලැබුනේ.


                                               එක හැන්දාවක නසරාණි නඩේ එකෙක් යෝජනා කරා "කන්දෙ" යන්න. අර ළිඳ ළඟ කන්ද උඩ කොස් ගස් වගයක් ඩොංකා ගස් වගයක් සහා ගොරකා ඇතුළු උගුරෙන් පල්ලෙහාට බස්ස ගන්න පුළුවන් තවත් කැලෑ ගෙඩි තිබුනා. ඒ කාලේ ඩොංකා තිබුනු කාලයක් කට්ටියම නැග්ගා අර කැලෑ කන්දට. ඔය කැළෑවට රිංගද්දි අනිවාරයෙන්ම පිහියක් දෙකක් අරන් යනවා වරකා ගෙඩියක් එහෙම සෙට් උනොත් කන්න. කට්ටියම බිම මයිනා පත ඩො0කා ගහාකට බඩ ගෑවා. ඩොංකා අතු හොළවන කොට ගෙඩි බිමට මයිනත් මේ ක්‍රියාවෙ යෙදි ඉන්නකොට මයිනට පේනව ඈත එකෙක් ඇදුං ගලවනවා.
පහාළ එවුන්ට අතිං කිව්වා කට වහාගෙන හැංගියව් කියලා. ආයේ මොනවද කොමාන්ඩෝ බටයෝ කැලේ, කට්ටියම සිං සිං ගාලා මිසින්. මයිනා බලං ඉන්නව අරැ ඇඳුම් ටික ගළවලා කිතුල් ගහාක් යට හැංගුවා. ගත්තා බෝතලයක් මුළු ඇඟේම ගා ගත්තා මූනෙත් මොනවදෝ ගා ගත්තා පොර එනවා දැං අපි ඉන්න පැත්තට. අරැ ඩොංකා ගහාත් පහු කරන් දිගටම ගියා ළිඳ පැත්තට පහළ හැංගිච්ච එවුන් මයිනා දිහා බලන් ඉන්නව. මයිනා සිං ගලා බැස්සා ගහෙන් අනිත් එවුනුත් අර ළිඳ පැත්තට කවර් වෙවි ගියා. අනේ ඉතිං නාන ගෑණු දිහා බලාගෙන ග්‍රීස් යකා වනවා වැනිල්ලක් කොහොමද ආයේ නෑ දැං කොළඹයි කොළඹ  ළඟයි තමයි.

අපේ අපතයො කඩං පැන්නා ඉතිං ආයේ බල්ලො රැළ වගෙ.

"ඔහෝ හිටු @රියා "
"අම්මට #@%## %#@ #%# "
"අල්ලපිය මුගෙ අම්මට......"

එකෙක් පැනලා ඇල්ලුවා අරෑව කොහෙද ඉතිං අරැ ආඳා වගෙ ලිස්සලා දුවපි. කට්ටියම අතේ තිබුනු පොලු වලින් අරෑට කෙලපි. අනේ ඉතිං අන්ත අසරණ බාවයට පත් වුනු ග්‍රීස් යකා කෑ ගහාපි

"මල්ලි මම ශාන්තයියා ගාහන්න එපා"


හුටා දන්න කියන එකෙක් මූ ඇඟ පුරා තෙල් ගාගෙන මූනත් කළූ කරාන නාන ගැහැණු දිහා බලන්න ඇවිත්. අනේ ඉතිං දහා අතේ වැඳලා වැඳලා අපිව පොරොන්දු කරව ගත්තා කාටවත් කියන්න එපා කියලා. ඇඳුම් තිබුනු තැනට ගිහින් පර්ස් එකෙන් රැපියල් 500කුත් අපිට දීලා ග්‍රීස් යකා ගියා.


ඊට පස්සෙ මාස 3ක් විතර යනකං ග්‍රීස් යකා අපට පිදේනි දුන්නා. ආප්ප බිල්, කොත්තු බිල් ග්‍රීස් යකා ගානේ අපිට ලැබුනු වරප්‍රසාද අතර ඉස්සරහින්ම තිබුනා. කිව යූතු විශේෂම කාරනාව නම් ගමේ උගත් සහ උසස්යැයි සම්මත වැදගත්ම පොරක් ග්‍රීස් යකා විදියට අපෙන් ගුටි කෑමයි. ඕං බං වැඩේ..... එන්නං ඈ......

Monday, 5 November 2018

මයිනාගෙ කතා... 27 ජංගිය

මයිනාගෙ කතා... 27  ජංගිය

ජොකා, පෑන්ටිය, ජංගිය, යට ඇඳුම, අන්ඩර් වෙයාර් එක, මයිනා කූඩුව..... ඕං ඔහොම නම් ගොඩයි නේ අයිටම් එක එකක් උනාට. ඒ කාලේ ස්කෝලෙන් ගුටි කාපු එක හේතුවක්  තමා පටි ජොකා. සුදු සර්ට් එක පටි ජොකාට යට කරාම මරැ එකට තියෙනව. හැබැයි ඉතිං නැවෙද්දි දිග හැරෙද්දි ජොකා එළියට ආවාම ගුරැබවතුන්ගෙන් වේවැල් කසාය ලැබේනව ලෙසටම.

ජංගි කතා අතරේ හොඳම කතාව තියෙන්නෙ  අපේ හිටපු තවත් නසරාණි අපතයෙකුට. තැනක් නොතැනක් නැති වාචාල කටක් තිබුණු ලැජ්ජාවක් කියන එකක් සංසාරෙවත් නොතිබුනු එකෙක් තමා ඌ. හැමදේම විහිළුවට අරගෙන වචාළකම පෙන්නන්න ගිහින් ඌගේ පරිප්පු ලෙසටම කාපු කිහිප දෙනාගෙන් එකෙක් තමා මේ මයිනා. අපරාදේ  කියන්න බෑ ඌ හින්දා ලැබුනු කළු ගල් පාරකින් මැහුං 4ක් දාපු තුවාල කැළලක් තවමත් මේ සිරසේ විරාජමානව තියෙනව.


තොරණක්, පෙරහෑරක්, මියුසිකල් ෂෝ එකක්, ට්‍රිප් එකක් ආදි සියළු තැන්වලදි බඩකටපුරා කන්න පුළුවං විදියෙ ගං පෝරියල් ඉල්ලලා දීපු හාදයෙක්.  එක දවසක්  කෑම ඔඩර් එකක් ඉල්ලලා දුන්නා ගාල්ලෙ දක්ෂිණ නාවික හමුදා කඳවුරෙන්, අන්න කෑම අතිවිශිෂ්ඨයි.  ඒ කෑමෙන් පස්සෙ අද තව වෙනකං එළිමහාන් සංගීත සංදර්ශණ නම් බලන්න නොගියෙමි.   සංසාරෙන් උරැම වෙච්ච ගොංකම කොහොමද කියනව නම් පොලීසියත් එක්කත් කට ගහාගෙන නීතිය කියලා දෙන්න යනව.   එහෙම වෙලාවල් ලැබුණු කනේ පාරවල් සපත්තු පාරවල් එහෙමත් නිමක් නෑ.   ඌට දාපු නම කිව්වොත් මාව මාට්ටු වෙන නිසා ඌගෙ නම කියන්න විදියක් නෑ. එක දවසක් මූ S I කෙනෙකුට කිව්වා "මම යනව මානවහිමිකම් තමුසේ බලනවකො තමුසෙට වෙන දේ" කියලා.   ඒ කාලේ ඔය මානවහිමිකම් කියලා එකක් තිබුනා කියලා දන්නෙත් ඌ කිව්වම. හැබැයි ඉතිං SI උන්නැහෙත් ටිකක් පදිරි උනා අරෑගෙ  ටෝකට.

මේ දවස් වෙද්දි අධ්‍යාපනය ඇතුළු සියළු කටයුතු වලින් ඈත් වෙලා පූර්ණ කාලීන රස්තියාදු සංගමයෙ සාමාජිකත්වය අරගෙන තිබුනේ.  දිනපතා ගලා එන පැමිණිළි වැඩි වෙද්දි ඊට සාපේක්ෂව ගෙදරින් ලැබුනු දඬුවම් එහෙමත් ටිකක් සැර උනා.  අපත ගැංසියම එකට ඉන්න වෙලාවක වඳුරෙක් ගහාක ඉඳං අනිත් ගහාට පනින්නෙ බොහොම පරිසමට.   ගං වැදිච්ච කළු වඳුරැ  රංචුවකට වට කරං දීපු පනිෂ්මන්ට් එකක ප්‍රථිඵළය උනේ අපි දැක්ක ගමං වඳුරෙක්වත්  අහාළ ගං 7ක නොයිඳිම. වඳුරන්ගෙ බය කොතරම්ද කියනව නං අපි දිහා බලාගෙන අනිත් ගහාට පනින්න ගියපු වඳුරො බිමට වැටිලා අත පය කඩා ගනිපු අවස්තා එහෙමත් තිබුනා.


                 ගෙදරින් කන්න දෙයක් දුන්නට අතට කීයක්වත් දෙන්නෙ නෑ නේ. ඕං ඉතිං සෙට් එක තීරණය කරා කොහෙ හරි යන්න. මොනව හරි ගතමනාවක් ලැබෙන දෙයක් කරන්න. අර බිස්නස් කරමු මේ බිස්නස් කරමු කිව්වට එහෙම බිස්නස් කරන්න අපිට කොහෙද දෙයියංගෙ මල්ලි.   අවසානේ තීරණය උනා මොනව හරි දෙයක් කරමු ලැබෙන ඕනෑම දෙයක්.   අන්න ඒ වගෙ වෙළාවක අපේ කොන්තරාත් ප්ලෙන්ට්බාස් අයියා අපි ඉන්න අහාළ පහාළින් යනව.


"ධම්මිකයියෙ"


"සයාං ගොයියො"


"ඩියුලක්ස් අයියා"..   ඇතුළු එකි මෙකි නම් වලින් කෑ ගහාලා අයියව නවත්ත ගත්තා.
"මොකද වාහෙ"


"තමුසේ කොහෙ යන්නෙ"


"යනව බං හතර පස් දෙනෙක් ඕනේ ගෙයක් ඉවර කරන්න තියෙනව ඉක්මනට දෙන්න ඕනේ එකක්"


"කොහෙද"


"කොළඹ බං වත්තල"


"අපි එක්කං යනවකෝ ඕයි"


"අනේ මේ තොපේ වැඩ කෙරිලි"


"සිරාවටම කියන්නෙ අපි එන්නං"


"මම වෙන කාටවත් කතා කරන්නෙ නෑ තොපි 8 දෙනෙක් වරෙව්"


"කොහොමෙයි යන්නෙ"


"හෙට ගාළු කුමාරියෙ යමල්ලා"

මයිනා සහ අපතයන් පසුදා රේල්ලුවෙන් කොළඹට කොළඹින් වත්තලට.   "රෝයල් පර්ල් ගාර්ඩන්"   එහෙමත් නැත්තං මුතුරාජ වෙළ ලෑන්ඩ් සේල් කාරයො මුල් අදීයරෙ ඉඩම් විකිනිමෙන් ඉඩම් ගත්ත ඈයො හදන නිවෙස්. සමහර ගෙවල් බාගෙට හදලා තව සමහාර ඒවගෙ යට තට්ටුව හදලා පදිංචි වෙලා උඩ තට්ටුවෙ වැඩ ඉතිරියි. මෙහෙම මෙහෙම වැඩ ඕං ඉතිං අපේ අපතයොත් පසුදා සිට වැඩ පටන් ගත්තා. වැඩට යක්කු වගෙ තමා බිත්ති කපනවා සුද්ද කරනවා එක දිගට වැඩ එක්කං ආපු එකාටත් පට්ට හැපි. මුං ඉතිං රෑ 7 විතර වෙනකම් වැඩ නේ.   බතක් උයනව කරවළ බැඳුමක් පරිප්පුවක් හදා ගන්නවා කනව වැඩ කරනවා දවස් 10ක්  යද්දි වැඩ ඉවරයි.

ඕං ඉතිං කොන්ත්‍රාත් අයියා ඊට එහා පැත්තෙ  තිබුනු ගේත් කොන්තරාත් ගත්තා. දැං ඉතිං ඒ හරිය ගම කර ගත්තා නිවාඩු පාඩු වෙලාවක අර වගුරක ඉන්න ආඳෙක් ලූලෙක් බට්ටෙක් අල්ලං කිරට මිරිසට රසට හදං කන එකත් පටං ගත්තා. අපි වැඩ කරපු ගෙදරට මීටර් 40ක් 50ක් වගෙ දුරින් තිබුනෙ යට තට්ටුව හදලා පදිංචි වෙච්ච ගෙදරක්. උඩ තට්ටුවේ එළියට ආපු බීම් කම්බි වල වැලක් ගැට ගහාලා යට තට්ටුවෙ ගෙදර නෝනයි මහත්තයයි ළමයෙකුයි එහෙම හිටියා. මතක විදියට මහත්තයා එයාර් ලංකා වැඩ කරපු කෙනෙක් නිල්පාට කාර් එකකින් වැඩට ආවේ ගියෙ. මහත්තයයි නෝනයි දෙන්නම මහාතයි චබි සයිස් ඈං... 


මේ පාත්තයටත් නිකං ඉන්න බැරැව එක දවසක් අපි වත්තල ගිහින් බඩුත් උස්සං එන  වෙලාවක හම්බ වෙලා විස්තර අහාපි.

"මේ මල්ලිලගෙ ගම් පලාත එහෙම"

"අපි හික්කඩුවෙ සර්"

"දකුණේ කොල්ලො ටිකක් නේ"


එහෙම කියලා මහත්තයත් හිතවත් වෙලා ඉතිං උදේට "මෝනිං" පාරක් එහෙම දාගෙන හැන්දෑවට "ගුඩ් නයිට්" කියාගෙන යන තත්වෙට පත් උනා. අපේ වැඩ වල වේගවත් බව දැකපු අලුතින් හැදෙන තව ගෙවල් කිහිපයක වැඩත් අපේ එකාට ලැබුනා. මුතුරාජ වෙළ පේන්ට් කිංග් අපේ එකා උනා අපිට පිංසිද්ධ වෙන්න.  ඕං ඕහොම ඉන්දැද්දි අර මහත්තයගෙ ගෙදර උඩ තට්ටුවේ රෙදි වැලේ පත සයිස් ජංගියක් වනලා. අර අපේ වහුතු වාචාල කට තියෙන එකා කිව්වා.


"බලපල්ලකෝ අර වැලේ නෝනගෙ ජංගියක් වනලා පට්ට ඩිකියක් ඇත්තෙ නේ බං"

"නෑ බං ඒක මහත්තයගෙ එකක්"

"නෑ අඩෝ නෝනගෙ"

"මහත්තයගෙ බොළ"

"නෑ නෑ ඒක නෝනගෙ" අන්තිමට වැඩට හිටි ඈයො දෙපැත්තට බෙදිලා ඔට්ටුවක් දැම්මා රැපියල් 300ක ජංගිය කාගෙද කියලා දැන ගන්න.


එදා හැන්දෑවෙ ඉතිං අර වාචාළ කටා මහාත්තයා එන වෙලාව බලලා පාරට වෙලා හිටියා. අර ගෙදර උඩ තට්ටුවෙ නයිටියකුත් පටලන් නෝනා මොකද්දො වැඩක. ඕං මහාත්තයා එනවා අපේ වාචාලයා පාර අයිනේ. මහාත්තයා එදා පොඩි සොට් එකකුත් දාලා මළකුත් පන්නගෙන එන වෙලාවක්. මහාත්තයා නැවැත්තුවා කාර් එක

"කොහොමද මල්ලිලා"

"හා හොඳයි සර්, සර් මේ පොඩි වැඩක් අහාන්න හිටියෙ"

"මොකද්ද මල්ලි"

"සර් අර උඩ තට්ටුවෙ වනපු ජංගිය සර්ගෙද නෝනගෙද"
සර් ගෙදර දිහා බැළුවා නෝනා නයිටිය පිටිං  සැඳෑ සක්මනෙ

"අම්මට #කන්න @රි බල්ලා, තොට ගෑණුංගෙ  ජංගි බලන්න" බැස්සා කාරෙකෙන් බිමට අල්ල ගත්තා අරැගෙ බෙල්ලෙන්.
"@#% %%^ $€$& චටාස් පටාස්"

කට්ටියක් මහත්තයා බදා ගත්තා අනිත් එවුන් අපේ එකා පැත්තකට ඇද ගත්තා. මේක දැකපු නෝනයි වැඩට ගෙදර ඉන්න ගෑණියි දුවගෙන ආවා. මහත්තයව කාර් එකට නග්ගලා යවන ගමං නෝනා ඇහුව්වා මයිනගෙන්

"මොකද මල්ලි උනේ"

"අනේ මැඩම් අපේ එවුං දෙන්නෙක් ඔට්ටුවක්  දාලා අන්න අර උඩ වැලේ තියෙන අන්ඩර් වෙයාර් එකට, මූ මහත්තයගෙන් ඒක නෝනගෙද මහත්තයගෙද කියලා අහාලා නේ"

අනේ ඉතිං විළියෙන් රතු වෙච්ච නෝනා මයිනට කිට්ටු වෙලා කියාපි.


"ඒක මගෙ එකක් මල්ලි" කියලා.

හැබැයි ඉතිං වාචාලයා පහුවදාම ගමේ ආවා. මහත්තයා අපි දෙස නොබලා එතනින් ගමනේ යෙදුනා. නෝනා නං අහාක බලං හිනා වෙවි යන වග අපි බලං හිටියා. ඒ ගෙදර වැඩ ඉවර කරලා ගමේ ආපු අපත නඩේ ආයෙමත් නොගිය නිසා කොන්තරාත් බුවා ෆුල් නන්නත්තාර උනා. ගිහිං එන්නං ඈ.......

මයිනාගෙ කතා... 26 මැණික් ගැරිල්ල

මයිනාගෙ කතා.... 26... මැණික් ගැරිල්ල...

එක එක කාලවල එක එක කේස් හින්දා ගමේ ඈයෝ ටිකක් අවුල් උනා. විශේෂම හේතුව උනේ නෑ සනුහරේ එකෙකුටම හොස්පිටල් යෑමට ඉඩ සැලැස්සිම නිසා නෑ සනුහරෙම ඈයෝ මයිනට විරැද්ධව නැගි සිටිම. ඒකට ආසන්නතම හේතුව නෑ සනුහරේ එකා අපේ අපත ගැංසියෙ යාව ජීව සමාජිකයෙකුට තනියම සිටින විටදි කන අතගෑම. නෑයා වෙන එකාගෙ යළුවෙකුත් මයිනා සහ සමාගමේ එකෙකුත් එකම කෑල්ලට ට්‍රයි කිරිම හේතුවෙන් නෑයා වෙන එකා මයිනාගෙ අපතයාට පාහර දී එය වහාම නවත්තන ලෙස දැනුම් දීම.

අනේ ඉතිං ගුටි කාපු එකා ඇවිත් අනිත් අපතයන්ට කියලා අරැ ගැහුව්වා බන් කියලා.   ගහාපු එකාට රිටන් එක දෙන්න විදියක් නෑ මයිනගෙ නැන්දගෙම පුතා නිසා. කට්ටියම ඇවිත් මයිනට සීන් එක

"මොකද බං කරන්නෙ මයිනො"

"ඌ නැන්දගෙ පුතා උනාට කමක් නෑ දෙමු"

"අඩෝ අම්මපා කියපං"

ඒ දවස් වෙද්දි හික්කඩුවෙ තොරණක් තිබ්බා. එදින රෑයේ නැන්දාගෙ පුතාට සහ උගෙ යාළුවාට බඩකට පුරා දුන්නා. ඊට දවස් දෙකකට පස්සෙ උං අපේ එකෙකුට තනියම ඉන්න වෙලාවක රිටන් එක දීලා. දැං ගින්න ඇවිලිලා පැතිරිලා යනවා. නැන්දගෙ පුතාව සොයාගෙන ගම පීරාගෙන යද්දි මූ එනවා වීරයා සේ හම්මා ඉතිං ආයෙ කොහොමද කපුටන්ට කුණු මාළුවෙක් සෙට් උනා වගෙ තමා. කුංෆු කරාටේ මරාටේ ගුජරාටි සියල්ල කවලං කරලා අරැට බෙදනවා. අරංචි වෙච්ච හැම එකාම දුවගෙන ආවට බේරන්න කවුරැත් එන්නෙ නැත හේතුව බේරන්න හදන එවුන්ට ගහාන්නම වෙනම 4 දෙනෙක් මුළින්ම යොදවා තැබිම.
                                       ඒ අස්සෙ එක බාප්පෙකුත් ඇවිත් බාප්පව දන්නැති එකෙක් බාප්පටත් පොලු පාරක් දීලා ඇරපි. වැඩේ ලෙඩේ උනා අපේ අම්මා ගෙදර ඉඳන් කොස්ස අරන් ඇවිත් තිබුනා කිලෝමිටර් 2ක් විතර දුරට මට ගහන්න. මයිනටද ඉබ්බටද හූනටද ලේනටද ගෙම්බටද හැමොන්ටම කොසු පාරවල් මව්තුමිය ගානේ. ගුටි කාපු එකා රෝහළට උගේ අනිත් එකා සොයාගෙන  එදා රෑ 10ට පමණ උගෙ ගෙදරට කඩු පොලු පිහි කිණිසි බයිසිකල් චේන් නංචක්කු සමග සන්නද්දව.

  එකෙක් ගිහින් අරැගෙ නම කියලා කතා කරා.  අරැංගෙ තාත්තා එළියට ආවා කෑළි 5හෙ ටෝච් එකත් අරන්. ගැහුව්වා ටෝච් එක ඉන්නවා 15ක් විතර උන්දා දැක්කා කඩු කිහිපයක් අත්වල පුතණ්ඩියගෙ අතපය හතර මුං කපනවා කියලා දැනුනු අප්පා දුන්නා මර හඬක්.

"මෙන්න මගෙ කොල්ලා මරණවො" කියලා.  ගේ ඇතුලේ හිටපු එකා පස්සෙ දොරෙන් පැන්නා එළියට දිව්වා වෙළට පැනලා. ගමේ අහාල පහාල ඈයො පිරැනා කට්ටියම මිසින්.පහුවදා උදේම අරැගෙ අම්මයි තාත්තයි මයිනගෙ ගෙදර.

"අනේ බුදු අයියෙ මොන වරදක් කරාටද මගෙ කොල්ලා මරන්න හදන්නෙ. මායි මගෙ ගෑණියි මරලා ඌවත් මරන්න කියාපං අයියෙ"

හුටා වැඩේ අංඤ්ඤකොරොස් නිදි ඇදෙං පැන්න මයිනා දිව්වා තඩියගෙ ගෙදරට

"තඩියො වැඩේ දෙල් පුංචා අපේ ගෙදරට ඇවිත්"

"හුටා දැං තොපේ තාත්තා අපේ ගෙදරට එනවා යමං වෙන කොහෙ හරි"

අරෑගෙ ගෙදරින් අඟුරැ කෑල්ලක් අරන් හප හපා දත් කූට්ටමත් මැද මැද තව එකෙකුගෙ  ගෙදරට. එහෙට ගිහින් විස්තරෙ කියද්දි ඒ ගෙදර එකාගෙ මාමා

"තොපිටත් උවමනාවක් නැති වැඩනෙ වහෙ කරන්නෙ"  කියලා එළියට බහිද්දි පුංචයි ගෑනියි බයිසිකලෙන් යනවා. අරෑගෙ මාමා ඉතිං

"පුංචයියෙ පුංචයියෙ"  කියලා කතා කරලා ඇහුව්වා   "කොහෙ මේ යන්නෙ" 

"මං යනවා මීටියාගොඩ. ඊයේ රෑ මගෙ කොල්ලා මරන්න ආවා. කඩු අරන් පිසතෝළ අරන් පොලීසියට ගිහිල්ලා දීපල්ලකෝ තොපේ අයූධ"

"කොල්ලො කොල්ලො රංඩුවෙනව බං උඹ ගෙදර පළයං මම උන්ට කියලා ඕවා ඉවර කරන්නං"

"ඇයි උඹ බය උනාද තොපේ එකත් හිටියා ඌ  තමයි පිසතෝලේ තියං හිටියෙ. මාමාගෙ පිසතෝලේ දෙන්නෙ නැතෑ බෑනා පොලීසියට"

"ඔන්න ඕවා අතෑරලා පලයං පුංචයියෙ ගෙදර"

"###%$&^()€&&^{#&$"

"චටාස්" "පටාස්" "ඩිං ඩිං" "ක්හැ කැහ්"

"මෙන්න මරණවො"

"ඊයේ රෑ මගෙ කොල්ලා මරන්න හැදුවා දැං මගෙ මිනිහ මරන්න හදනවෝ"

"පල පොලිසි තොට පුළුවන් දෙයක් කරපිය"  "තෝ පොලිසි ගිහිල්ලා ආයෙමත් මේ ගමට එන්න එපා යන තූත්තුකුඩියක පල"

මාමා දීලා පුංචට මැදෑ කොලා. දැං ඉතිං මයිනට ගෙදර බත් ලැබෙන්නෙ නෑ කියන එක 500% ෂුවර්.  මයිනා සහ තඩියා දස අතේ  කල්පනා කරනව මොකදෑ කරන්නෙ කියලා. තව යාළුවෙකුගෙ ගෙදරට ගිහින් මූනත් හොදගෙන උදේට එහෙං කාලා එහෙට වෙලා හිටියා.

දන්න අඳුරණ හිතවත් අයියෙක් ඉන්වා මූ කරන්නෙ කොළඹ ගෙවල් කොන්තරාත් ක්‍රමයට පේන්ට් කරන එක. මූ ඉතිං අහාපි

"මොකද උඹලා පාතාලේ බ්‍රාන්ච් එකක් ඇරලා කියන්නෙ"

"මොන පාතාලේද ඔයි මෙන්න මේ #%යට දුන්නා දෙකක් ඒක අවුල්"

"දැං මොකද උඹලා කරන්න හදන්නෙ"

"ගෙදර යන්න බෑ ඕයි දැං කොහෙ හරි යනවා"

"කොහෙද තොපි යන්නෙ"

"පොඩ්ඩලගෙ මාමා කෙනෙක් ඉන්නාළු ඔක්කංපිටියෙ එහෙ යනව"

"එහේ මොකටද"

"එහෙ පතල් හාරන්න පුළුවංලු"

"වහෙ පිස්සුද තොපිට එහෙ මදුරැවො ඉන්නව මැලේරියාව හැදෙනවා. පාඩුවේ ඉඳපියව් කොටි පනිනව එහෙට"

"බෑ බෑ අපි යනව එහෙ මැණික් ගරන්න"

"එහෙනං පළයව් තොපි බෙල්ල කපා ගන්න"

එක අපතයෙක් ෂේප් එකේ ගිහින් පොඩි අක්කට කියලා ටී සර්ට් දෙක තුනකුයි කලිසං දෙකකුයි සොපිං බෑග් එකකට දාගෙන ආවා.  දැං මයිනා පස්සෙන් වැටිලා තව එවුං 4 දෙනෙක් ඇඳුම් දෙක තුනකුත් අරං ආපි. පොඩ්ඩගෙ මාමා හොයාගෙන යන හිංදා පොඩ්ඩත් ආවා හැබැයි පොඩ්ඩත් උගෙ ගෙදරට කියන්නෙම නැතුව. ඇඳුම් පැළඳුං උස්සන් ආවට මොකද බස් එකේ යන්නවත් සල්ලි නැත.

මයිනගෙ ලොකු අක්කා ඉන්නෙ හික්කඩුව ටවුන් එක කිට්ටුවම. එකෙකුගෙන් ෆුට් සයිකලයක් ඉල්ලං අක්කලගෙ ගෙදරට ගිහින් රැපියල් 200ක් ඉල්ල ගත්තා. මස්සිනා ගෙදර නෑ එහෙම්ම මස්සිනා හිටපු තැනට ගිහිං තව රැපියල් 200ක් ඉල්ල ගත්තා. මස්සිනාට කිව්වා මම කොහෙ හරි යනව කාටවත් කියන්න එපා ගිහිං ලියුමක් එවන්නං කියලා.

                                    සහානාදාරත් එකතු කරං ගියා කිහාංකො ඔක්කංපිටි. ගෙවල් වල ඈයො දන්නෙ නෑ ගිය  තැනක්. මොණරාගලට ගිහිං ඊට පස්සෙ පරණ ලොරියකින් හදපු බස් එකකින් ඔක්කම්පිටියට. එතන හිටපු කෙනෙකුගෙන් විස්තර අහාගෙන පොඩ්ඩමාමගෙ ගෙදරට. මාමා උන්දැට පුළුවන් විදියට බත් පිඟානකුත් දිලා විස්තරෙ පැහැදිළි කරලා දුන්නා. එක කොටි ප්‍රශ්ණෙ දෙක අලි ප්‍රශණේ තුන වනජීවි ප්‍රශ්ණෙ ආදි ලෙසට පිළිවලට. පහුවදා මාමා සමග ගෝළයො රොත්ත කැලේ මැද්දෙ කිලෝමිටර් 10ක් 12ක් ගිහින් ගෝණියකට උස්සගෙන එන්න පුළුවන් තරං පස් එක තැනකින් හාරගෙන එනවා. සමහරවිට එතන වතුර හිඳුනු ගඟක් වෙන්නත් ඇති.පළවෙනි දවසේ දෙපාරකට පස් කපං ආවා එදා රෑ ඉතිං පොලිසියෙන් ගුටි කාලා වගෙ තමා ඇඟෙ පතේ රැදාව. එකාට එකා කෙඳිරි  ගගා පං පැදුරේ දොයි. එතැන් පටන් දවස් 5ක් විතර එක දිගට ඉල්ලං පස් කපාන ඇවිත්  පොඩි ඇළ පාරක් අයිනෙ ගොඩ ගහනවා. අර  මාමාගෙ මස්සිනා වෙන එකෙක් ඒවා හොදන  වැඩේ කරන්න ගත්තා. පැහැදිළිවම මාමා ඒ වැඩේට කැමති උනේ නෑ. ඒත් ඉතිං කොයි ලොක්කත් ඈඹේණියට පදිරි නේ. කෑලෑවෙ ඉල්ලං පස් කපන ගමං මාමා අපිට කිව්වා 
 "කොල්ලනෙ අරැ හෙණම #රියා ලොකු වාසියක් තිබුනත් ඕකා අපිට දෙන්නෙ නෑ. හෙට යමල්ලා ඉල්ලං පස් අපිත් හොදමු" කියලා.

ඉල්ලං පස් ගෙනත් දාන තැන හොද හොද හිටපු එකා නෑ. අර මාමාට දැං පට්ට සැකයි.

"අරැට මොනවම හරි හම්බ උනා නැත්තං ඌ මේක දාලා යන්නෑ බං"   කියලා මාමාත් හරිම දුකෙන් ගෙදර ගියා අපිත් එක්ක. ඉල්ලං හෝදපු එකා ගැන අහාද්දි මාමාගෙ ගෑණි කියාපි.



"අයියා මම ඉල්ලං හොදනවට කැමති නෑ කියලා මල්ලි ගියා යන්න"

හැබැයි ඒ වෙලාවෙ මාමට ආපු කේන්තියට ගෑණිගෙ බෙල්ල කපන සයිස් එකක් තිබුනේ. එදා හවස ගිහින් ඉල්ලං පස් හෝදන වැඩේ මාමත් එක්ක එකතු වෙලා අපිම කරා. මැණික් ගැන දැනුමක් නැති නිසා වෙනසක් ඇති සියළු ගල් මාමා ළඟට ගිහින් දෙනව. රෑට මාමා මූන ගලවපු ටෝච් එළියෙන් අර ගල් බලනවා. වැඩකට ඇති දෙයක් ලැබුනේ නම් නෑ ඒත් ඔය පොඩි ගල් කෑළි දිලා ඒ මනුස්සයා රැපියල් 1000ක් 500ක් අරන් ආවට  අපිත් ඒක එයාටම තියා ගන්න කිව්වා. ඔහොම ගිහින් සති 2කට විතර පස්සෙ සියඹලා ඇටේක ප්‍රමාණෙක රතු පාට ගලක් අහු උනා. මාමාට පට්ට හැපි ඉතිං මාමා අපේ  කොල්ලො දෙන්නෙකුත් එක්ක ගිහින් ඒ ගල විකුනුව රැපියල් 55000කට. මාමා සල්ලි සම සමව හැමෝටම බේදුවා. හැබැයි ඉතිං මයිනා ඇතුලු නඩේ ඔය සල්ලි වලින් කොටසක් ආයෙමත් මාමට දුන්නා. ගෙදර ගෑණිත් විස්සොප කරන් උන්දෑ අපිට කරන සේවයට සළකන්නත් එපැයි.

ඇවිල්ලා ගෙවුණු සති තුනකට පස්සෙ මුහුදු මාළු කෑල්ලක් කාලා ගමේ විදියට බත් වේලක් කෑවේ එදා තමයි. ගෙදරට අවශ්‍ය බඩුත් ඔක්කොම මොණරාගලටම ගිහින් අරන් ඇවිත් අපිම උයලා පිහලා කුස්සියෙ කටයුතුත් කරලා නැන්දවත් ෂේප් කර ගන්න පුළුවන් උනා එදා නම්. ඊළඟ දවසෙ සුපුරැදු  පරිදි ඉල්ලං පස් කපං එන්න කැලේට. පළවෙනි සැරේ පස් කපං ආවා දෙවැනි සැරෙට කැලේ කිලෝ මිටර් 5ක් විතර දුරදි වෙන පස් කපං එන්න ගියපු එවුං දුවගෙන එනවා පේනව. මාමා එකෙකුගෙං ඇහුව්වා

"හිච්චි මල්ලි මොකෑ බං"

"කොටි ඇවිල්ලා අයියෙ දුවපං" කිව්වා.

බෝල්ට් නං මොකෙද්ද අපිත් එක්ක අපිනේ රනර්ලා.

කොටි නිසා ඇති උනු මරණ බයත් හිත දරන් දැං මාමගෙ ගෙදර. අපරාදේ කියන්න බෑ ඒ වෙද්දි අප්‍රිකන් කාරයො වගෙ සොඳුරැ කළු පැහැයට හැරිලා. අත්වල කර ගැට ඇවිත්, හම කබර හමක් වගෙ වෙලා. දවස් 3කට 4කට පස්සෙ අරංචි උනා ආමි එකෙන් කැලේට බැහැලා කොටි හොයනව කියලා.   ඊටත් දවස් දෙක තුනකට පස්සෙ ආයෙමත් කැලේට රිංගලා වෙන තැනකින් ඉල්ලං පස් කපං එන්න පටන් ගත්තා. 

                                                    ඕං ඉතිං පොඩ්ඩගෙ තාත්තා හිටි අඩියෙ කඩා පාත් උනා. වැඩේ කියන්නෙ උන්දෑ දැකපු හැටියෙ මයිනා කිරි හට්ටියක් විතර හිනා කටක් දැම්මා මුන්දෑ යංතං හිනාවක් විතරක් දාලා ගෙට ගියා. අනේ ඉතිං මයිනට හෙණ අප්සට් ඇයි යකෝ ගමේ ඉන්දැද්දි මුන්දැ මයිනට මාර ආදරෙයි.මයිනා ගේ පිටිපස්සෙ හිටපු එවුන්ට කිව්වා.

"පොඩ්ඩා උඹලගෙ තාත්තා ආවා බං මා එක්ක කතා කරේවත් නෑ නේ"

"අපේ තාත්තා උඹ එක්ක කතා නොකර ඉඳිද බං යමං බලන්න"

අපතයො ටික උන්දෑ ළඟට ගියා. ටිකක් වෙලා බලං හිටියා


"ඈ බොළව් තොපිට මොකෑ මේ වෙලා තියෙන්නෙ. ලොකු පුතේ උඹ හිනා වෙලත් මට  අඳුර ගන්න බැරි උනා. හෙටම යමල්ලා ආපහු ගමේ මොනවත් අවුළක් නෑ"

"අනේ අයියෙ හෙට යන්න එපා අනිද්දා යන්න කොල්ලො ටිකත් අරන්"  අර මාමා බොහොම බැගෑපත්ව ඉල්ලා සිටියා. ඊළඟ දවසේ උදේන්ම නැගිටලා මාමා එකතු කරපු ගල් වගෙකුත් අරන් පොඩ්ඩගෙ තාත්තා එක්කම ගියා. අපි ටිකත් පට ගාලා කැලෑවට රිංගලා ඉල්ලං පස් ගෝණි 6කුත් ගෙනත් දාලා නාගෙන කොරගෙන ඇඟෙ පොල්තෙල් පාරකුත් ගාගෙන හිටියා. මාමත් ආවා මූනත් හිනාවකින් පිරිලා. නැන්දත් සැමං ටින් එකකුත් එක්ක බත් හදලා තිබුනා.

මාමා එදා රෑ හැමොගෙම අත්වලට රැපියල් 27000 ගානේ දුන්නා. එදා අපිට කිව්වා අපි ආපු මුල්ම දවස්වල ගෙනාපු ඉල්ලං වල තිබිලා මාමගෙ මස්සිනාට ලක්ෂ 12ක ගලක් හම්බ වෙලා තියෙනව. ඌ කරපු වැඩේට නැවත ඌ එක්ක කතා කරොත් එහෙම ගෑණීත් එළවනවා කියලයි කිව්වේ.

කට්ටියම ඉතිං ඊළඟ දවසෙ ගමට ආවා. ගම සන්සුන් වෙලා තිබුනට අපි ගමට ආවම සමහර ඈයොන්ට හරි අවුල්. අප්පොච්චිටත් අවුළ් සහිත හැපි ඇයි ඉතිං අප්‍රිකන් කාරයෙක් වගෙ එකෙක් නේ ඉන්නෙ. දවස් 5කට 6කට පස්සෙ ඔක්කම්පිටියෙ මාමා හදිස්සියෙම ආවා නැන්දයි ළමයි දෙන්නා එක්කම. අපි දාලා ආපු ඉල්ලං පස්වල තිබිලා  ලක්ෂ 7ක ගලක් හම්බ වෙලා. අපේ කොටස දෙන්නයි ඇවිත් තිබුනේ. හැබැයි අපි කිසිම කෙනෙක් ශත 5ක් නොගන්න තීරණය කරා. ඒ සල්ලි වලින් මාමට ගෙයක් හදා ගන්න කියලා  උපදෙසුත් දීලා අපිට පුළුවන් උපරිමයෙන් සළකලා යැව්වා. ඊට පස්සෙ මොකද්දො හේතුවකට ගමේ ඉන්න හිතුනෙත් නෑ.