Friday 30 August 2019

මයිනාගෙ කතා .... 55 කුක්කුඩෝල්!!!


මයිනාගෙ  කතා .... 55... කුක්කුඩෝල්!!!

                                    මයිනගෙ කුළුඳුල් අවංක අකළංක ප්‍රේමයෙ  හිමිකාරිය උනේ කුක්කුඩෝල්. අපරාදේ කියන්න  බෑ  ගමේ බාෂාවෙන් කියනව නං එළ හරකි,  කරොත්  කරන්නෙ ගොං වැඩක්. පොතේ දැනුම විභාග වගෙ දේවල් වලට කොතරම් දක්ෂ  උනත් හිටි ගමන්  කරන ගොං වැඩ නිසා  එක්කො ගෙවල් වලින් අම්බානකට කන්න වෙනව නැත්තං වෙන මොකා එක්ක හරි ඇරගන්න වෙනවා.  

                                            සා.පෙළ  පාස් වෙලා  ගල්ලෙ  ඉස්කෝලෙකට  උසස්පෙළට යන්න ගත්තම මයිනටත්  සෙනසුරාදා  ඉරිදා  දවස් දෙක  ගාල්ලට ගිහින් කුක්කුඩෝල් බලන්න අවස්ථාව ලැබුනා.ඊට අමතරව ස්කෝලේ  ඇරිලා එන හවසක පෙම්වත් දුම්රිය ගමනකටත්  ඉඩ ලැබුනා, ගාල්ලෙ ඉඳලා හික්කඩුවට එනකම්. සමහර දවසක  අමතර පංති වැඩිපුර පැය ගානක් පංති වගෙ දේවල් ඉතිං දෙන්නගෙම කැමැත්තට සිද්ධ උනා. ධර්මපාළ පාර්ක් එකේ  හරි කොටු තාප්පෙ තැනක කොහේ හරි පෙම් සුව විඳිමත් සිද්ධ උනා.



        කුක්කුඩෝල්ගෙ ගෙදරින් වගේම මයිනගෙ ගෙදරිනුත් වැටුනු තහංචි නිසා මයිනා ඉතිං බොහොම පරිසමින් තමා හිටියෙ. ඇයි බොළව් ඔයතරම් කුරුඳු පොලු පාරවල් කොසු පාරවල් ඉදල් පාරවල් කෑව හැකිය?
                              ඕං  ඔහොම  කාලය ගෙවිලා යද්දි එක දවසක්  කුක්කුඩෝල්ට අමතර පංතියක් දාලා ඉගැන්වීමක් කරා. ඒ පංතිය ඉවර වෙලා එන ගමන් කුක්කුට කිව්වා "මාතර-කොළඹ" බස් එකක නැගලා  හික්කඩුවෙන්  බැහැලා යං කියලා. අනේ ඉතිං මේ ඊරී මේ කතාව අහන්නෙ නැතුව "නෑ නෑ අපි ස්ලෝ බස් එහෙක යං" කියලා අම්බලන්ගොඩ හික්කඩුව  බස් එකක නැගලා පෙම් මුල්ලෙ  වාඩිඋනා. කොන්දා සෙනග පටවනවා බස් එක නවත්තං, හම්මේ ඉතිං කුක්කුඩෝල්ගේ ගෙදරට  ගෙවල් දෙකක් එහා පැත්තෙ ගෙදරක  ගෑණියෙක් නැග්ගා බස් එකට!
                                ඒ ගෑනි තමා ඒ ගමේ සමෘද්ධි  නියාමක! අපරාදේ කියන්න බෑ නියම රොයිටර් සේවය. මේ ගෑණි දැක්කා දෙන්නා බස් එකේ ඉන්නව. අනේ ඉතිං අර නිව්ස් රිපොර්ටර් දිහා මයිනා බැළුවා අවිහිංසක බැල්මක්. කුක්කුඩෝල්  දිහා බලපු අර ගෑණි බැහැලා ගියා බස් එකෙන්. අනේ අද බඩු හරි කියලා දැන ගනිපු  මයිනා හිත හදාගෙන බස් එකේ ආවා.  හික්කඩුවට ඇවිත් මයිනා කිව්වා "පරිස්සමට  පළයං මගෙ අම්මා"කියලා කුක්කුඩෝල්ව යවලා  මයිනා චුට්ටක් ටවුන් එක වටේ කැරකිලා  එහෙම ගම පැත්තට එන්න ආවා.

                                        ඕං ඉතිං ස්ටේෂන් එක මැද්දෙ ඉන්නව  තඩියයි  කට්ටයි. උං දෙන්නත් ඇදන් රේල් පාර  දිගෙ  එනවා. අර  ගොං  වැස්සි  කෙලින්ම  ගෙදර  යන්නෙ නැතුව  වැල්ලවත්ත පාරෙ  යාළුවෙකුගෙ ගෙදරට  ගිහිල්ලා. අපිට  මීටර 50ක් විතර  ඈතින්  මේකිත්  රේල් පාරට ගොඩ  උනා, අපි අයෙමත් හැරිලා යන්නයෑ මේක පස්සෙන්ම ආවා. වෙඩිකාපු ඊරී වගේ කුක්කුඩෝලගෙ අම්මා එනවා පේනව පාළමත් පහුකරං පැයට 240ක වේගෙන් ඉස්සරහ පැත්තෙන්, අම්මා ආපු ගමං දුන්නා  කුක්කුඩෝල්ට කනේ පාරක්.  අනේ මයිනා  අම්මගෙයි දූගෙයි ප්‍රශ්ණ වලට මැදි වෙන්නෑ  මොකේ, මයිනයි අරුං දෙන්නයි ඉදිරියටම.

                   කුක්කුගෙ අම්මා  ආවා  මයිනගෙ  ඉස්සරහාට,
"තෝ මතක තියා ගනිං කපල මේ ගඟට  දැම්මත් මේකි තොට දෙන්නෙ නෑ"කියලා  කිව්වා. වෙන්න නැන්දම්මගෙ ඉස්සරහ මයිනා  නිහඬව නිසළව ඉන්නව. අර තඩි ඇඟක්  තිබුනට මොලේ ටිකක් අඩුවෙන් පාවිච්චිය  ගනිපු තඩියා කියාපි,
"කිඹුලෙක් වෙලා ඇවිත් කෑළි ටික හරි කයි"  කියලා. නැන්දම්මට මළ පුල් ඕවර් ඉතිං  ආයෙමත් ගිහින් කුක්කුඩෝල්ට තඩි බානව. මයිනා ඉතිං අහිංසක ලීලාවෙන් කිව්වා 
"නැන්දෙ  එයාට  ගහන්න එපා!"
"තෝ  කවුද බොළ එහෙම කියන්න? තෝ  මේකිගෙ මිනිහද?"
හුටා ජෝන් කිව්වලු කට්ටා මයිනයි තඩියයි  ඇදං එතනින් මාරු උනා.  

                               දැං ඉතිං කුක්කුඩෝල්ගෙ අම්මට කේළම කියපු  සමෘද්ධි නියාමක කෙරෙහි සෙනෙහස උතුරනවා. මේ  සෙනෙහස  වැඩි වීමේ  ප්‍රථිඵළය උනේ  මේකිට අමතක නොවන පාඩමක් ඉගැන්වීම.
ඒ වෙනුවෙන්  පෙරමුණ ගත්  මිත්‍රයෙක්  සමෘද්ධි නියාමකට එරෙහිව ගැහුව්වා  පෙත්සමක්. ඔය පෙත්සමට විවිධ අත් අකුරු යොදා  ගනිමින් ගමේ එවුන්නෙ නම් සහ ලිපිනය සමග අපිම ලියා අත්සන් කොට ලැබෙන්න සැලැස්සුවා  අදාල  අමාත්‍යංශයට. ඕං ඉතිං වැඩේ පත්තු උනා  අරකිගෙ සේවය අත්හිටුවා පරික්ෂණ  පැවැත්තුනා.  ඔය  අල්ල පනල්ලෙ එක දවසක සමෘද්ධි නියාමක ආපු වෙලාවක කුක්කුඩෝල් කියලා "තමුසේ කේළම් කිය කිය ඉන්නවකො  මයිනා කරයි තමුසෙට හොඳ වැඩක්"කියලා. 

            සමෘද්ධි නියාමක නම් දේශපාලඥයන් පස්සෙන් ගිහින් ජොබ් එක හදා ගත්තා.හැබැයි අදටත් ඒ සමෘද්ධි නියාමක  මයිනා සමග තරහයි අවුරුදු විසි ගානක්  ගිහිල්ලත්.ඒ සමෘද්ධි නියාමකට ආපු විවාහ  යෝජනා කිහිපෙකුත් තඩියා විසින් අංජබජල්  කිරිම මයිනාගෙ ගිණුමටම බැර උනු නිසා ඒකි  වැඩියෙන් වෛර බැඳගත්තා. 

                  ඔය වළිය ගෙදරට ආරංචිවිම නිසා රංජනි මාතාව විසින් ලබාදුන් කොසු සංග්‍රහය අතිවිශිෂ්ඨයි පිංවතුනි.ගෙදර පිහිදන කොස්සයි කුස්සිය පිහිදන කොස්සයි දෙකම කැඩුනා දීපු දීමට.ඉන්පසු මයිනා බොහෝම සාර්ථක කොසු නිපදවන්නෙක් බවට පත් උනා.කොස්ස බැඳිමට ගන්නා මිට ඉතාම බාල වර්ගයකින් යොදා ගන්නත් අමතක කරේ නෑ.  ඔන්න  ඉතිං මයිනගෙ ලව් එකේ තව කතාවක් කිව්වා ඈං....

2 comments:

  1. අයියෝ මයිනෝ, වෙනදා වගේම හිනාවෙලා පණ ගියා මේක කියවලා. දැන් කෝ ඒ කුක්කුඩෝල්?

    ReplyDelete
  2. දැන් රංජනි මතාවට හිතෙනවා ඇති නේද මයිනාට කුක්කුඩොලේ බදින්න දුන්නනා නම් හොදයි කියලා

    ReplyDelete