මයිනාගෙ කතා...59... කිඹුල් දූව
මයිනා ඒ කාලේ කැලේ කොලේ හැදිච්ච එකා නෙව. ගම් පලාතේ තිබුනු ළඳු කැලෑ වේවා, මහ කැලෑ වේවා සොහොන් පිට්ටනි වේවා ඔය කොයි තැනත් මයිනා හොඳ හැටි දන්නවා. නිත්‍ය සාමාජිකත්වය අරං තිබුනු හොර කුරැම්බා ප්ලේස්, අඹ ගස් තිබුනු තැන් කජු පුහූලං ගස් ඔය කොතැනත් මයිනාගෙ වගෙ තමා. ගස් පීදෙන කාලේ ගෙඩි හැදෙන කාලේ ගෙඩි කඩන තාලේ එහෙම මයිනා දන්නව ටක්කෙටම.
මයිනලගෙ ගැංසියට අමතරව අනිත් ගැංසිවල එවුං කැලෑ වදිද්දි මයිනගෙන් අහානවා
"අඩෝ පංසල් වත්තෙ කොයි ගහෙද බං වතුර රස"
"මයිනා අඹ ටිකක් කඩා ගන්න ඕනේ කොහෙද බං මේ දවස්වල තියෙන්නෙ"
"අඩෝ පංසල් වත්තෙ කොයි ගහෙද බං වතුර රස"
"මයිනා අඹ ටිකක් කඩා ගන්න ඕනේ කොහෙද බං මේ දවස්වල තියෙන්නෙ"
"මයිනො දානෙට ඇඹරැල්ලා ටිකක් ඕනේ, කොහෙන්ද බං කඩා ගන්නෙ"
ඕං ඔහොම මහ පුදුම දැනුමක් තිබුනා ගස් වැල් ගැන ඌරෑවරිගෙ තිසාහාමිට වගෙ. මාර්තු මාසේ කජු පුහුළං කොහෙද තියෙන්නෙ, ජුනි මාසේ අඹ කොහෙද තියෙන්නෙ, ජූලි මාසේ ඩොංගා කොහෙද තියෙන්නෙ ආදි වශයෙන්. ගොඩාක් පළතුරැ වර්ග නම් තිබුනේ කළුපේ කියන ගම අවට. තොටගමුව, සීනීගම, වැරැල්ලාන කියන ගම් 3ම තිබුනේ මුහුදට කිට්ටුව නිසා ඒ ගම්වල තිබ්බෙ පොල් ගස් පමණයි. මලවැන්න කියන ගමේ එවුනුත් එක්ක අනිත් ගම්වල එවුන් පයුරැ පාසානං තිබ්බෙත් අඩුවෙන් නිසා කැලෑ වදින්න හොඳම ගම උනේ කළුපේ.
කළුපේ කියන ගම කෙළවරට වෙන්න රංගළු ඔය ගලාගෙන ගියා. පටන් ගත්ත තැන හරියටම නොදන්න රංගළූ ඔය තොටගමුවෙන් මුහුදට වැටෙන උඩුමුල්ල ගඟට සම්බන්ධ උනා එක තැනකදි. රංගළු ඔයට ආසන්නව තිබුනු සමහර තැන් හැඳින් වුනු නම් එක්ක මේ රංගළු ඔය අතීතයෙ කිඹුලන් එක්ක කොච්චර සම්බන්ධකම් තිබුනද කියලා හිතා ගන්න පුළුවන්.
"කිඹුලා මළ දෙනිය" , "කිඹුල් වල" , "කිඹුල් දූව" , "කිඹුල් කොටුව" ආදි වශයෙන් තමයි නම් තිබුනේ. කිඹුල් දූව කියන්නෙ රංගළු ඔයෙන් එහා පැත්තෙ තිබුණු දූපතක්. මීටර් 30ක් විතර පළල ඔයෙන් එහා පැත්තට පීනලා ගියාම තියෙන වගුරැ බිමේ කිලෝමිටර් එකහාමාරක් විතර ගියාම කිඹුල් දූවට යන්න පුළූවන්. කිඹුල් දූව විශේෂ වෙන එක කාරණාවක් තමයි කිඹුලන් බිත්තර දාන්නෙ මේ දූපතේළු. පණ තියෙන එකෙක් නොයන මේ දූපතෙ වර්ඝ මීටර් 500ක් විතර ඇති. හැබැයි ඉතිං දූපත පුරාම තිබුනේ කජු පුහුළුන්.
මේ කියන කාලේ එක්තරා පලාත්සභා මන්ත්‍රිවරයෙක් කළුපේ ගමේ කෙළවරකට වෙන්න තිබුනු අංගංකන්ද කියන පාළු කලෑවක් දුප්පත් මිනිසුන්ට බෙදලා දුන්නා. ඒ අංගංක්නද ඉඩම් ලබා ගත්ත මිනිස්සු ඒ ඉඩම් එළි පෙහෙළි කරලා පදිංචි වෙන්න පටන් ගත්තා. ඉස්සරලා කියපු කිඹුල් දූවට යන්න නම් අංගංකන්ද හරහා යන්න පුළුවන් ඒ පාර ළඟයි. එතනින් ගිහිල්ලත් රංගළු ඔය තරණය කරලා කිඹුල් දූවට යන්න පුළුවන්. ඕං ඔය අලුත හදන ගෙවල් වලට ලී දඬු කපන්න අර වගුරැ බිමට ගියපු අපේ එක නසරාණියෙක් ඈතින් තියෙන කිඹුල් දූවේ කජු පුහුළං දැකලා. මූ ඉතිං ඇවිත් අපිට කිව්වා පැහිලා ඉදිලා බිමට නැවිලා බර වෙලා අතූ වරෙල්ලා යන්න කජු පුහුළං කඩන්න කිඹුල් දූවේ කියලා.
ඊට පසු එළඹුනු සෙනසුරාදාවේ මයිනයි ආරංචිය අරං ආපු නසරාණියයි තවත් අපතයො 3 දෙනෙකුයි කිඹුල් දූව බලා පිටත් උනා. මඩොල් දූවට ගියපු උපාලියි ජින්නයි වගෙ අපතයො පස් දෙනාම රංගළු ඔය තරණය කරලා වගුරැ බිමේ වැටි වැටි මඩ නාගෙන කඩොල් ගස් අස්සෙන්, කැරන් පඳුරැ මත්තෙන්, කදුරැ ගස් අස්සෙන්, කිරළ මුල් උඩින් පැන පැන කිඹුල් දූවට. කියන්න සංතෝෂයි දුපත පුරාවටම කජු ගස් 8කින් විතර වැහුනු වපසරිය පුරාම කජු පුහුළං ඉදිලා. බිම පුරාම කජු ඇට වැටිලා, දැං කට්ටියම කජු ඇට අහුළනවා ඉදිච්ච පුහුලං කඩනව වැඩ ගොඩයි.
පැයකට හමාරකට පස්සෙ යමල්ලා කියලා කිඹුල් දූවෙන් පිට වෙලා එනවා. සද්දෙ දාගෙන කදුරැ ගෙඩි වලින් ගහ ගන්න ගමන් ඔය ලඟට සම්ප්‍රාප්ත උනා. ඉස්සරලම ආපු එකා නැග්ගා ඔය අයිනෙ තිබුනු කිරළ ගහාකට ඊළඟට ආපු එකා ජබොං ගාලා ඔයට පැනපි. ඒත් එක්කම ඊට ටිකක් එහාට වෙන්න ජබොං ගාලා වතුරට පනින සද්දයක් ඇහුනා. කිරළ ගහ උඩ හිටපු එකා කෑ ගහාපි "කිඹුලා අඩෝ ගොඩට පීනපිය" කියලා. වතුරට පැනපු එකා ඊට වඩා දෙගුණයක් වේගෙන් ආයෙමත් ගොඩට ගොඩ හිටපු සුපර් මෑන්ලා ස්පයිඩර් මෑන්ලට වඩා වේගෙන් ඒ කිට්ටුව පාත තිබුනු ගස් උඩට. දැං ඉතිං ඔයෙන් අනිත් පැත්තට යන්න බෑ කිඹුලා වතුරෙ. පැය 3ක් විතර කදුරැ ගස් කිරළ ගස් කඩොල් ගස් මතට වී ඉන්නව.
ඕං එහෙම ගස් උඩට වෙලා #රි කාපු රිළව් වගෙ ඉන්න වෙලාවේ අළුතින් ඉඩම් හම්බ වෙලා ගෙවල් හදන එකෙක් අඟුළකුත් පැදගෙන එනවා ඔය දිගෙ. කඩොල් ගස් වගෙකුත් කපාගෙන අඟුලෙ පටවන් එන එකාට කිව්වා "අනේ අයියෙ අපිව ඔයෙන් එහා පැත්තට දාන්නකෝ" කියලා. ගස් උඩට වෙලා හිටපු එවුං අඟුළට නග්ගාන එන ගමං අරු ඉතිං විස්තර අහනවා. අපිත් ඉතිං ගොං අලි වගෙ අප්පගෙද අම්මගෙද විස්තර සමග ගෙදර දොර වත්ත පිටිය ගැනත් විස්තර කිව්වා. පසුදා හවස අප්පොච්චි පේර කෝට්ටක් කපාන දෙයියනේ කියලා වැඩ ඇල්ලුවා අපරාදේ කියන්න බෑ ඉතිං පිට පැලෙන්න. අර අඟුලෙන් එක්ක ආපු එකා තාත්තට ඇවිත් කේළම කියලා.
"පුතා කිඹුලෙක් කන්න හැදුවා මම තමයි බේර ගත්තෙ" කියලා. අනේ ඉතිං ඒ කතාව අහාලා මල පැනපු අප්පච්චා මූ කිඹුලෙක් කෑවා නං කියලා හිතලා තමා අර පේර කෝටු කැඩෙනකං ගැහුව්වෙ. අනේ ඉතිං අම්මබානයි ටිකයි වෙන්න ගුටි කාලා ඉන්න අස්සෙ මයිනගෙ මලත් ඕවර් වෙලා මයිනා කියාපි "හෙට උදේ මම යනව කිඹුල් දූවට කිඹුලට කන්න" කියලා. අසු හාරදාසට නැවතත් කිපි උරණ වු පිය රජානෝ "ඈ බොළ තෝ මොකටද හෙට වෙනකං ඉන්නෙ දැම්ම පළ එහෙනං" කියලා දීලා ඇරපි පයිං එකක්. මැදෑ කොලා කියලා බාප්පලගෙ ගෙවල් පැත්තට ගිහින් බාප්පව ටියුන් කරලා තාත්තට බන්නවන්න එවලා රෑට එහෙං කාලා එහෙම නිදා ගත්තා. ඔන්න ඔහොමයි මයිනා කිඹුල් දූපතට ගියෙ. හැබැයි දැං නං ඒ පාළතක කිඹුලෙක් බෙහෙතකටවත් හොයන්න නෑ. අළුතින් ජනාවාස බිහි උනාට පස්සෙ ඒ අවට කැලෑවල හිටපු සියළු සතුන්ට මිනිස්සු ඉදිරියෙ පරාද වෙන්න උනා. අද දවස වෙද්දි ඉස්සර තිබුනු ළඳු කැලෑ එහෙම නම් දැන් නෑ. සුනාමියෙන් පස්සෙ මුහුදු සීමාවෙ හිටපු අයට අළුතින් නිවාස හැදුනේ මේ කැලෑ කපලා ඒ මත. අතීත මතක විතරක් ඉතිරි වෙලා අදත් ඒ අතීත මතකවල සුන්දරත්වයෙ විතරක් සැරිසරලා මානසික සතුටක් ලැබිම තමයි ඉතිරි වෙලා තියෙන්නෙ.
No comments:
Post a Comment