Saturday 23 May 2020

#මයිනාගෙකතා ...84... බ්ලැක්මේල්

#මයිනාගෙකතා ...84... බ්ලැක්මේල්....

                                ලොකු ලොකු පොරවල් සමහර වෙලවෙට බ්ලැක්මේල් වෙන්නෙ බොහොම පොඩි එවුං අතිං. ටෙලිෆෝන් විඩියො, ටෙලිෆෝන් කෝල් සමහර එවුංගෙ ජීවිත උඩු යටිකුරු කරනව.  ඉස්සර නම් සමහර ෆොටෝ එකකින් පුළුවන් කෙනෙකුට සියදිවි හානි කර ගන්න තැනට පත් කරන්න. ස්මාර්ට් ෆෝන් අන්තර්ජාළය නැති කාලේ ඔය ෆොටෝ එකක් කියන්නෙ පුදුම විදියෙ ආයුධයක්. අපේ රටේ හිටපු ජනාධිපති බිරිඳකගෙ ටෙනිස් ගහන ෆොටෝවක් ගත්තා කියලා නෙව අර මාධ්‍යවේදියෙකුටත් වැළිගම යන්න උනේ.

                                 ගහෙ, කොලේ, කැලේ, ඇලේ, වෙළේ ආදි තැන්වල හක්කලං කොරන හාදයන්ට එක එක අංජබජල් සීන් මාට්ටු වෙනව. ඔයවගෙ සීන් එකක් මාට්ටු උනාම මාස 2ක 3කට ලොතරැයියක් ඇදුනා වගෙ තමයි. කොත්තු බිල් , ආප්ප බිල් වගෙම තව තව බොහො දේ වාසි විදියට ලැබුනා. එහෙම සෙට් වෙච්ච එකෙක් ගැන කලින් ලියලත් ඇති ග්‍රීස් යකා කියලා. එක දවසක හවස් යාමේ 4ට විතර කට්ටියටම ආවා කුරුම්බා බීමේ දොළදුකක්. එක එක තැන්වල තිබුනු ගස් ගැන කතා කරලා අවසානෙට ආපු තීරනේ උනේ අරුංගෙ වත්තෙ කුන්දිරා ගහ. හැබැයි ටිකක් අවුල් කන්ද ගැට්ටෙ ගහ තිබ්බෙ, එහා පැත්තෙ ගෙදර එවුං එළියට ආවොත් බඩු මාට්ටු. වෙන දෙයක් වෙද්දාවෙ කියලා සෙට් එකම ගියා කුරුම්බා කඩන්න. පිරිසෙන් වැඩි දෙනෙක් ළඳු කැළෑවෙ පින්න ගස් අස්සෙ කැප්පිටිය ගස් අස්සෙ ස්ථානගත උනා. ගහට නගින්නෙ මයිනා, කඩලා බිමට දාන ගෙඩි අල්ලන්නෙ තඩියා. මයිනා ඕං හෙමිහිට ගෙඩිය ගෙඩිය කඩලා තඩියට දානව. තඩිය නොකර සද්ද දාන ගෙඩි අල්ලලා බිමින් තියනව.

                                 පොල් ගහ තියෙන්නෙ පොඩි කඳුගැටයක් උඩ, එතනින් පහළ ගෙදර කෙල්ල පිටි පස්සෙ දොරෙන් දඩේ බඩේ සිං ගාලා එළියට ආවා. කන්ද උඩහට වෙන්න දිගට ළඳු කැලේ පහළ ඉන්න එවුන්ට උඩ හරියට පේන්නෙ නෑ. හැබැයි උසට තියෙන පොල්ගස් පේනව පහළට. මයිනා අනිත් උන්ටත් අතින් සිග්නල් එකක් දුන්න නිහඬ වෙයව් කියල. අර එළියට ආපු එකි උංගෙ ගෙදරටයි කන්දටයි අතරින් තියෙන කොටසට ආවා. පට ගාලා ගත්තා සිකරට් එකක් පත්තු කරා හිටු ගාලා අදිනව. ඕකි ටිකක් පොළවට උඩින් ගිය එකියක් ඒක නිසා මයිනලගෙ බ්ලැක් ලිස්ට් එකේ හිටියේ. මයිනා පොල් ගහ උඩ ඉඳන්ම කෑ ගැහුව්වා "මම දැක්කො" කියලා. අරකි උඩ බැළුවා පැනලා දිව්වා, ඕකි දන්නව මයිනලගෙ සෙට් එක දැන ගත්තා කියන්නෙ පාරෙ බැහැලා හමාරයි කියලා. ගේ ඇතුළට දුවපු එකී ආයමත් දුවගෙන ඇවිත් පොල් ගහ දෙසට වැඳලා ගෙට දිව්වා.

                                           පහළ හිටපු එවුන්ට මාර අවුළ මයිනා මොනවද දැක්කෙ කියලා. හැම එකාම අහනව මොනවයි බං දැක්කෙ කියලා. අරකි සිකරට් බිව්වා කියන්නයෑ මුන්ට "ආතල් එකට සද්දයක් දැම්මා බං" කියලා වැඩේ යට ගැහුව්වා. ඊළඟ දවසේ අර පොළවට උඩින් ගියපු එකි බොහොම විමසිල්ලෙන් පාර දෙස බළ බළ එනව. මයිනා සහ පිරිස තාප්ප කෑල්ලක් උඩ ඉන්නව මේකි "ලොකූ පොඩ්ඩක් එන්නකො" කිව්වා නිකං මැළවිලා ගිය ස්වභාවයෙන්. අනිත් අපතයො කෑ ගහනව "හම්මට ලොකූ ඈ..." "හා...හා.. ඇදං පළයංකො" "ළඟදිම කන්න වෙන සයිස් එකක් තියෙන්නෙ මයිනට" "හිටපං කුක්ඩොල්ට කියන්නං"
                                           මයිනා ඉතිං අරකි ඉන්න තැනට ගියා. මේකි අඬන්න ඔන්න මෙන්න තියං අහනව "ඔයා කාට හරි කිව්වද" "නෑ හලෝ පිස්සුද, මම කාටවත් කියන්නෑ" "සත්තයි කියන්න" කියලා මේකි අත දික් කරපි. අනිත් අපතයංගෙ හිතේ මොකක් හරි වෙන සීන් එකක් තමයි කියලා. වෙනදට දෙස නොබලා පාරේ යන එකි අද මයිනා ඉස්සරහ අසරණ වෙලා බලන් ඉන්නව. මයිනත් අරකිගෙ අත උඩිං අත තියලා "සත්තයි කාටවත් කිව්වෙ නෑ" කිව්වා. ඕං ඉතිං අරකිගෙ ඈලී මෑලි ගතිය නැති වෙලා හිනාවක් ආවා මූණට. "මං කාටවත් කියන්නෑ හලෝ බය නැතුව ඉන්නව" කිව්වම මේකි "තැංක්‍යු" කියාගෙන ගියා. "තැංක්‍යු විතරක් නම් මදියි හොඳේ" කියාගෙන මයිනා නැවත අපතයො අතරට. ඕං ඉතිං කතා ගොඩයි උං අස්සෙ.... ඊට පස්සෙ ඉතිං කාළයක් යනකම් මයිනගෙ කල්ල මරේ තමයි. එක එක කැවිළි වර්ග ඉඳ හිට කේක්, වත්තෙ හැදෙන පළතුරු ගෙඩිය වගෙ දේවල් මාස 3ක් විත ලැබුනා. අපතයන්ගෙ කතා හිංදා මයිනම ඒවා නවත්තලා දැම්මා නැත්තං වෙන ජංජාලයක් වෙනව.

                             ඊළඟ එක ඡන්දයක් දවසක රෑ සෙට් එකම ඡන්ද ප්‍රථිඵළ බලන්න එකෙකුගෙ ගෙදරට සෙට් උනා. ඒත් ඉතිං රෑ 2ට විතර මයිනට ගෙදර යන්න ඕනේ කියලා එන්න ආවා. හිටපු ගෙදර එකා මයිනට ටෝර්ච් එක දුන්නා මෙකත් අරං පළයං කියලා. මයිනා ඉතිං පාර දිගට හතර අතට ගෙවල් වලට ටෝර්ච් එක ගගහ එනව. එක ගෙදරක් තියෙනව එකම ඉඩමේ ගෙවල් 2කක් ගෙවල් දෙක අතරේ පරතරය මීටර් 20ක් විතර. එක ගෙදරක ඉන්නෙ හබියා රට ඉන්න අක්කා කෙනෙක්, අනිත් ගෙදර අක්කගෙ නෑනයි නැන්දම්මයි. ඊට වටේ තියෙන ගෙවල් තියෙන්නෙ ඈතින් ඈතින්. හබියා රට ඉන්න අක්කගෙ ගෙදර තියෙන්නෙ නැන්දම්මගෙ ගෙදරට එහා පැත්තෙන්. අක්කගෙ ගෙදර කවුරු හරි යනව නම් යන්න ඕනේ නැන්දම්මගෙ ගෙ ඉස්සරහින්. හැබැයි තාප්පයක් තියෙනව ඔතනින් පැන්නොත් අක්කගෙ ගෙදර යන්නත් පුළුවන්. ඒ තාප්පෙ ඉද්ද මල් වතුසුද්ද මල් දිගට වවලා තියෙන්නෙ. තාප්පෙන් පැනලා මල් පඳුරුවලට කවර් වෙලා අක්කගෙ ගෙයි ජනේළයක් ළඟටත් යන්න පුළුවන්. එතන ලයිට් කණුවෙ ලයිට් එක හවස මයිනලා දාලා ගියෙ. මයිනා බැළුවා ලයිට් එක ඕෆ් වෙලා. මයිනා ලයිට් කණුව ළඟට ඇවිත් ස්විච් එකට ටෝර්ච් එක ගහලා බැළුවා ස්විච් එක ඕෆ්. මයිනා ලයිට් කණුවේ ස්විච් එක ඔන් කරලා ටෝර්ච් එක අර ගෙදර පැත්තට ගැහුව්වා. අර හබියා රට අක්කගෙ ගෙදර ඉද්ද මල් පඳුරු පැත්තෙ ජනේලෙන් ෂෝටක් ගහපු එකෙක් එළියට පැනපි.

                                   මයිනා ටෝර්ච් එක ඕෆ් කරලා ලයිට් කණුව යටට ආවා. ලයිට් කණුවෙ ලයිට් එළිය යටට වෙලා මයිනා බලං හිටියා ජනෙලෙන් පැනපු එකා තාප්පෙන් පනිනකං. සද්දයක් බද්දයක් නෑ මයිනා හොඳටම දැක්කා එකෙක් ජනෙලෙන් පැන්නා ඊට පස්සෙ ජනෙලේ වහගත්තා. විනාඩි 5ක් 10ක් බැළුවා දැම්මා සද්දයක්.... "තෝ ඔතනින් එළියට වරෙන් නැත්තං මං කෑ ගහනව" කියලා. අනේ ඉතිං ගමේ ඉන්න ත්‍රීවීලර් පොරක්, අර අක්කලගෙ ගෙදර ප්‍රවහණ කටයුතු කරන්නෙ එකා. අරූ අත් දෙකත් එකතු කරන් වැඳගෙනම එනවා "අනේ මයිනෝ කෑ ගහන්න එපා බං" කියාගෙන.
"මං බං ඡන්දෙ බලන්න ආවා"
"අනේ තෝ උක, ඒක වෙන්නෑ ජනෙලෙන් පැනලා ආවේ"
"අනේ බං හරි ඉතිං කාටවත් කියන්න එපා චාටර් උනොත් ගමේ ඉඳලා ඉවරයි"
"මම කාටවත් කියන්නෑ උඹ පළයංකෝ" කියලා මයිනා ආවා ගෙදර.

එදා ඡන්ද ජය සමරණ එවුංගෙන් ආතල් එකක් ගන්න කියලා හිතං පාර පැත්තට එද්දි අර අක්කා එනව මයිනලගෙ ගෙවල් පැත්තට. අර අක්කා ඉතිං මයිනා දැකපු හැටියෙ "ලොකු මල්ලි මම ඔයාව බලන්න තමයි ගියේ" කිව්වා.
"ඇයි අක්කෙ මොකද්ද උවමනාව"
"අනේ මල්ලි කකුල් දෙක අල්ලලා වඳින්නං කාටවත් කියන්න නං එපා"
"නෑ අක්කෙ මම කාටවත් කියන්නෑ"
"මම ඔයාට ඕන උදව්වක් කරන්නං හොඳ මල්ලි නේ"
"සත්තයි කියන්නෑ අක්කෙ තමුසෙ බය නැතුව ඉන්නවකො, හැබැයි ඔය වැඩේ වැරදියි හොඳේ" කියාගෙන මයිනත් ගියා. එදා පටන් මාස ගාණං යනකං තව පල්ලමක් සෙට් උනා, අපරාදේ කියන්න බෑ ATM කාඩ් එකක් පාස්වර්ඩ් එක එක්කම හම්බ උනා වගෙ තමයි. හැන්දෑවට පාර පැත්තට යද්දි "මල්ලි කොහෙද යන්නෙ" , "ටවුන් එක පැත්තට යනව අක්කෙ කොත්තුවක කන්න කියලා". "අනේ මල්ලි මටත් ආප්ප ටිකක් ගෙනත් දෙන්න" කියලා අක්කා 500ය 1000 දෙනව. ඉතුරු මයිනට තමා.... හොඳම වැඩේ අර තාප්පෙන් පැනපු එකා අක්කගෙ නෑනට සෙට් වෙලා උන්දෙන්නගෙ ලව් එකට අක්කා හරස් වීම. ඒත් ඉතිං උන් දෙන්නා බැන්දා අක්කා අරුං දෙන්නා දෙස බළ බළ දුකෙන් කාළය ගත කලා. මයිනා තව තව බ්ලැක්මේල් සීන් කරලා ගාණ කපා ගත්තා එදිනෙදා වියදම්වලට. ඒවා පස්සෙ කියන්නං..... ඈ...
____මයිනා____

No comments:

Post a Comment