Sunday, 15 April 2018

මයිනාගෙ කතා... 4 හරං කහ

                                               ගෑණු කියන ජාතිය ලෝකෙ කොතැන හිටියත් කොහොම හිටියත් උන්දලගෙ ගති සිරිත් සහ සිතුම් පැතුම් කොයි ක්‍රමේකින් හරි සමාන වෙනවා. ස්වබාවයෙන්ම පිරිමි සතා කොයි කාට චන්ඩි පාට් දැම්මත් ගෑණු සතා ළඟ පදිරියි.   විලාසිතා කිරිමට ප්‍රමුඛස්තානය දෙන මුන්දලා ඉතිං අතීතයෙ ඉඳලා අද දක්වාම කරපු ගොංකම්වල සිමාවකුත් නෑ. "කුංකුම, චන්දන, අංජන තවරා චාන්දනි සිනාසුනා" එහෙම කිව්වට මෙකප් උලා ගත්තම කොයි සක්කර වට්ටමත් හූකෑස් තමා. 
  
                                                         පෙරකල රජ බිසෝවරැ එහෙම එක එක ජාතියෙ එවා උලා ගත්තැයි කියනවනේ හැඩට ඉන්න.  ඡවි කළ්‍යාණියෙන් ඉහළින්ම හිටපු අපේ ගෑණු දැකපු පෘතුගීසිකාරයෙ එහෙම අංඤ්ඤකොරොස් උනාලු. එහෙම අංඤ්ඤකොරොස් වෙච්ච එකෙක් නොවෑ "ගෝවේ ගෑණු පරා....දයි" කියලා කිව්වෙ. රවණා රජ්ජුරැවන්ට අයිති අශෝක වාටිකාව ගෑණුන්ගෙ රැව වඩවන බවක් කවුදො කිව්වා වගෙ මතකයි. 
                                                     විශේෂයෙන්ම කහ කියන්නෙ හොඳ ආලේපනයක් රැව වඩවන්න. සදුන් ගල ගා මුහුනේ අතුල්ල ගනපු එක නම් අපි ගැටව් කාලේ ගෑණු පරාණ හොර රහසෙන්ම කරපු වැඩක්. අර ලව්ලි මේ ලව්ලි එතකොට නිවියා වගෙම වියලි සමට, තෙල් සමට, කබර හමට වගෙ විවිධ ඒවට විවිධ විදියට දැන් ක්‍රිම් තියෙන්නෙ. 
                                                       මයිනගෙ ගමේ හිටියා ගෑණු පරාණ කිහිපයක් ලස්සණ වීමේ උණක් තිබුණු.. අනේද කියන්නෙ උන්දලා ඒ වෙනුවෙන් නොකරපු දෙයක් නෑ. සදුන් ගෑවා දෙහි ඇඹුලෙන් ගල ගා, යෝගට් ගෑවා, අමු කහ එහෙම සිනිඳු වෙන්න අඹරලා ගෑවා. ඕං එක දවසක් ලයිට් කපපු දාක මහ කළුවරෙ පොඩි දඩං බිඩිං සද්දයක් ඇහුනා. වටෙ පිටේ ඈයෝ ටෝච් එහෙම අරන් බැළුවා අවුළක් නෑ සියල්ලො සතුටින් විසිර ගියහ. විනාඩියක් ගියෙ නෑ බුදු අම්මො කියලා සද්දයක් ඇහුනා එක ගෙදරකින්. අනේ අම්මෙ මේං ඒ ගෙදර මාමා හතරගාතේ අටපලෙ දාලා වැටිලා ඉන්නව. ගෙදර හිටපු එක ගෑණු පරාණයක් සුදු හඳුන් වගයක් මුනේ ගාගෙන ඉඳලා. කළුවරෙ ගේ ඇතුලට ආපු මාමා ටෝච් එළියෙන් දෝණයැන්දගෙ මුහුණ දැකලා  බය වෙලා.
මයිනගෙ ගමේ උන්නා එක ගෑණු පරාණයක් සුදු වෙන්න නොකර දෙයක් නෑ. දවල් 12 වෙද්දි පොදු ළිඳ ළගට එන ඒ ඇත්ති හවස 3-4 වෙනකම් නාපු එක තමා කලේ. කසද බඳින්න උවමනා වයසෙ උනත් ඒ හෙණේට කර ගහන්න ගම් පලාතෙ නම් කවුරැත් ආවේ නෑ. ඒත් ඉතිං උන්දැ නම් කිව්වෙ "මට හරියන කොල්ලෙක් කොහෙද මෙ ගම් හතේ" කියලයි.
 සමහර දවසක ඒ අක්කා නාන්න යන පොදු ළිඳ පාරෙ අතරමග මයිනා ඇතුලු අපත නඩෙත් මුණ ගැහෙනව. ඕං එක දවසක අක්කා එහෙම ළිඳට යද්දි අපතයො සෙට් එක අතරමග. අක්කා නාන්න අරන් යන පනිට්ටුවෙ දාගෙන ආපු රෙදි ඇතුලෙ තිබිලා පත්තර කොළ ගුළියක් වැටුනා. මයිනා ඉතිං "අක්කෙ ඔයාගෙ පනිට්ටුවෙන් මොකද්ද වැටුනා" කිව්වා. අර අක්කත් "අනේ මගෙ කහ එක" කියලා අතට ගත්තා. මයිනගෙ වලත්ත කටට බ්‍රේක් නැතුව ගියා "අරං කහද අක්කෙ" කියල ඇහුණා. අර බොන්ඩිත් අහාපි "අරං කහ මූණට හොඳයිද මල්ලි" කියලා. ඇත්තට මයිනට ඕන උනේ "අමු කහාද" කියල අහන්නයි. අර මයිනගෙ එක අපත යාළුවෙක් කියාපි "අරං කහ සතියයි ගාන්න ඕනෙ මාර විදියට සුදු වෙන්නෙ" කියලා. 
                                       අනේ ඉතිං ඒක ඇහුනු හැටියෙ අර හොන්තුවට අරං කහ ඕන උනා. අනේ කොහෙද මල්ලි තියෙන්නෙ කියලා අහපු අක්කට අර අපතයා කිව්වෙ නෑතෑ අර තියෙන්නෙ අතන කියලා. අපේ ගම් පලාතේ ළඳු කැලෑවල කොතනත් තියෙන්නෙ බෙහෙත් ජාති නොවෑ.
එහා පැත්තෙ තිබුනු වල් ඉඟුරැ පඳුරක් පෙන්නපු අපත යාළුව අක්කගෙ ඉල්ලිම හින්දම අර පඳුරෙන් අල ටිකකුත් ගලවලා දුන්නා. සිනිදු වෙන්න අඹරලා රෑට මූනේ ගාන්න උපදෙසත් යාළු අපතයගෙන්.........

 අනේ ඉතිං පසුදා උදෑසන අර අක්කා සහ මෑණියන් වහන්සෙ අපේ ගෙදර. කාළකණ්ණි! යන ගෞරව නාමයෙන්ම උදේ පාන්දර පැමිණි මේ මරාලේ මොකද්ද බලන්න මයිනත් එළියට ආවා. හුටා අර අක්කගෙ මූණ බඹරු ඇනලා වගෙ. මයිනා දැන ගත්තා කෙලියා හුටස් කියලා. 
 "බලපං අයියෙ මු මේකිට අරං කහ කියලා වල් ඉඟරැ වගයක් දිලා මූනේ ගාන්න". 
අර මුහුණ දැකලා පස්වනක් ප්‍රිතියෙන් පිනා ගියපු අපේ අක්කා එක සැරෙට කියපි "වල් ඉඟුරැයි අරං කහයි අඳුරන්නෙත් නැත්තෙ ඔයා පොඩි බබෙක්ද අනේ" කියලා. ප්‍රශ්ණය වෙන පැත්තකට ඇදිලා වෙනත් ගාල ගොට්ටියක් බවට පත්වෙද්දි ගමේ ඈයොන්ගෙ සාදර අනුග්‍රහයෙන් මූණ ඩබල් වෙලා ආපු අක්කා වැරදිකරු උනා. තාත්තා මයිනට දමා ගහපු මග් එක වැදුනා නම් මැහුම් 5ක් 6ක් දාන්න වෙනව. 
                                                               එදා හවස අක්කාගෙ පෞද්ගළික ධනයෙන්‍ මයිනගෙ අපතයො සෙට් එකට හැළප පාටියක් හම්බුනා. අපේ අක්කා කිව්වෙ හොඳ වැඩේ ඔය සොබනීට තමුසෙලා කරේ. අනේ අර අරං කහ ගාපු අක්කා නම් අද දැක්කත් ඉවත බලාගෙන තමයි ගමන. ............... .. 

කඩප්පුලි විශ්වනාත .....මයිනා..... අයෙත් එන්නං ඈං..... පුළු පුළුවන් වෙලාවට බෙහෙත් පැලෑටියක් එහෙම අඳුන ගනිල්ලා... නැත්තං වල් ඉඟුරැ මූනේ ගාගෙන කස කස හිටපල්ලා.

10 comments:

  1. සුබ නව වසරක්.
    අරං කහ වෙනුවට වල් ඉඟුරු ගාපු කතාව කිව්වාම මටත් පරණ කතාවක් මතක් උනා . 1984-86 වකවානුවේ මම සේවය කල ආයතනයේ සිටි මිතුරෙකු නිතරම සෙම් අමාරුවෙන් පීඩා වින්දා . එකල වයස 22-24 පමණ වූ අපට, අපේ අංශ ප්‍රධානියා වැඩිහිටියෙකු, පියෙකු මෙන් ඔවදන් උපදෙස් දෙන පුද්ගලයෙකු මෙන්ම ජොලි ගුඩ් පොරක්ද වුවා . මේ සෙම් රෝගයට අපේ ලොක්කාගේ උපදෙස නම් "කෙම් ප්‍රතිකාරයක් " ලෙස කතා නොකර ගොස් සස්සඳ වැලකින් මුලක් ගලවා එය අමුවෙන්ම කෑ යුතු බවයි. මිතුරන් කිසිවෙකු සස්සඳ හඳුනන්නේ නැති උනත් මම සස්සඳ දැන සිටියා පමණක් නොව අපේ ආයතනයේම එක තැනක සස්සඳ වැලක් තිබුන මතකයකුත් තිබුනා. මම ප්‍රසිද්ධ වෙද පරම්පරාවකින් පැවතෙන්නෙකු නිසා කිසිවෙකුට සැකයක් තිබුනේත් නැහැ. ඒ අනුව අප දෙදෙනා කතාබහකින් තොරව සස්සඳ වැල තිබුන ස්ථානයට ගොස් සොයා බැලූවත් මට සස්සඳ වැල හමු උනේ නැහැ . තවදුරටත් ප්‍රමාද වීම සැකයට තුඩු දෙන නිසා එතනම ගස් වැල් රාශියක් අස්සේ තිබු පෝටා වැලක මුලක් අතින් පාදා මම ඉවතට උනා . ම'මිතුරා එතැන හොඳින් හාරා මුලක් එලියට ගෙන එහි වැලි පස් අතින් පිරිසිදු කර ඉතාම අප්‍රසන්න මුහුණකින් යුතුව ඒක කාලා දැම්මා .
    සතියකට දෙකකට පසු මගේ මිතුරා අපේ ලොක්කාට කිව්වා ""සර් ගේ කෙම හරිගියේ නැහැ වගෙයි , මගේ සෙම අඩුවක් නැහැනේ ??
    එවිට ලොක්කා කිව්වේ "එළුවෙක් වාගේ පෝටා වැල් කෑවට කොහොමද මිනිහෝ ලෙඩ හොඳ වෙන්නේ ?? කියායි . මේ අවසාන වාක්‍යය කියැවෙන කොටම වාගේ මම 100m ඔලිම්පික් ෆයිනල් එක ආරම්භ කළා

    ReplyDelete
    Replies
    1. කොහොමද නියඟලා වැලක මුල පාදලා දුන්න නම්.

      Delete
  2. Replies
    1. ඒකනේ කොල්ලො උනාම එහෙමයි ඉන්න ඕනෙ

      Delete
  3. හම්මෝ ඒ...........ක

    ReplyDelete
  4. වදකහ ටිකක් දෙන්න තිබුනේ.

    ReplyDelete